27. බාලනක්ඛත්ත වත

star_outline

තව ද නුවණ නැත්තවුන් තමන්ගේ නුවණ නැතිකම නිසා පමා ව වසන නියාව ත් නුවණැත්තවුන් තමන්ගේ නුවණ නිසා නො පමා ව වසන නියාව ත් දක්වන්ට බාලනක්ඛත්ත වත දක්වමු.

කෙසේ ද යත්:-

එක් සමයෙක සැවැත් නුවර නුවණ නැති අඥාන ජනයෝ එක් ව ගෙන හළු ත් ගොමත් දැලිත් ඇඟ ගා ගෙන සතියක් මුළුල්ලෙහි ගෙයක් ගෙයක් පාසා ගොසින් අසභ්‍ය[1] තෙපුල් කියා ඇවිදිනාහ. එසේ බණන්නාහු මවු-පියන් පටන් නෑයන් කෙරෙහි වේව යි සිල්වත් ගුණවත් තැන් කෙරෙහි වේව යි ලජ්ජාවක් නො කෙරෙති. ඒ සතිය මුළුල්ලෙහි නො කා නො බී බැරි හෙයින් කන-බොන වේලාව හැර සෙසු හැම වේලෙහි ම ගුණ ඇත්තවුන් කන වැකෙන්ට ම නො තරම් බස් ම කියා ඇවිදිති. යම් කෙනෙක් පින් වඩනා දෙයක් නො වන හෙයින් අසනු නොකැමැත්තෝ වූ නම් මිල යවති. ඒ මිල හැර ගෙන උන් උන්ගේ ගෙවල් ළඟින් ඔබ්බට පලා යෙති. සැවැත් නුවර පස් කෙළක් විතර ආර්‍ය්‍ය ශ්‍රාවක උපාසකවරු බුදුන් කරා ගොසින් ‘ස්වාමිනි, මේ සතියෙහි සහපිරිවරින් නුවරට සිඟා වඩනට කැමැත්තේ ය. වෙහෙර ම රඳා වැඩ හිඳිනා බව ය, අපි දන් එවම්හ’යි ආරාධනා කොට ලා දනු ත් ගණයට බාවති. තුමූ තුමූ ත් ගෙවලින් පිටත් නො වෙති.

ඒ කෙළි වියරු සතියකින් නිමි කල්හි අටවැනි දවස් බුදුන් පවරා සහපිරිවරින් නුවරට ගෙන ගොස් මහදන් දීලා එකත් පස්ව හිඳ ‘ස්වාමීනි, මේ සත් දවස උන් හැමට කෙසේ ගියත් අපට ගිය නියාව ඉතා දුක. නපුරු වියරු බණන්නවුන් කට එළෙන විවර ය. අසන්නවුන් කන් පැළී යන විතර ය. බණන්නෝ බිණි මෙහි ත් අසන්නෝ ඇසීමෙහිත් ලජ්ජාවක් ම නැත්තෝ ය. මුඹ වහන්සේලා ත් නුවරට සිඟා වැඩිය නුදුන්නේ අමා තුබූ වළඳ වස ඕනා සේ නපුරු බස් කන හී යෙති’යි සිතා ය. අපි ත් ලජ්ජාවෙන් ම ගෙන් පිට ත් නුවුම්හ’යි කිවුය.

බුදුහු උන්ගේ බස් අසා ‘අඥානයෝ මෙ ලෝ නොදැන ගිනි තැපීමෙන් වන අඵාසු නො සලකා යම්තම් ඵාසුවක් පිණිස ගිනි තපිනවුන් මෙන් පමා වෙති. පමා ව අකුසල්හි හැසිර ආස්වාද වුන් කලට වඩා බොහෝ කලක් අපාය දුක් විඳිති. නුවණැත්තෝ තුමූ අපි ත් රැකෙම්හ යි ඇසුරු කළවුනු ත් රකුම්හ යි වස්තුවක් තබා රක්නා සේ ප්‍රථමධ්‍යාන ප්‍රථම මාර්ගාදි වූ ලොවී ලොවුතුරා ගුණ ලබම්හ යිනො පමා වීමෙහි අනුසස් දක්නාහු උතුම් ධනයක් මෙන් පින් කම්හි නොපමා බව රකිති’ වදාළ සේක.

චුල්ලපන්ථක වස්තුව අසා ත් මේ වස්තුව අසා ත් බොහෝ දෙන නිවන් පුර වැද සැනහුණාවු ය. එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ඇත් පියෙහි සියලු පියවර ඇතුළත් ව සිටිනා සේ සියලු කුශල ය අප්‍රමාද පදයෙහි ඇතුළත් බැවින් පින්කම අප්‍රමාද ව අකුසලින් දුරු ව කුසල් සෙවුනාවුන් විසින් සිත් සතන් පිරිසිදු කට යුතු.

  1. අසබ්හ