287. එක්තරා බ්‍රාහ්මණ කෙනකුන්ගේ වත

star_outline

තවද බ්‍රාහ්මණ ලක්‍ෂණයම හඟවනු නිසා එක්තරා බ්‍රාහ්මණ කෙනකුන් ගේ වත හා උග්ගසේන සිටු පුත්‍රයන් ගේ[1] වත කියමු.

කෙ සේ ද යත් -

ඒ වස්තු දෙකින් බ්‍රාහ්මණ වස්තුයෙහි ඒ බමුණු තමා බ්‍රාහ්මණ ජාතියෙහි උපන් පමණක් මුත් ‘මහණ ගොයුම් නො එක් කුලෙන් අවුත් තමාගේ සස්නෙහි මහණ වූවන්ට බ්‍රාහ්මණ ය’යි කිය යි. උන් හැමට කියන බමුණු කම මට ත් කිය නො හැකි දැ’යි සිතාගෙන බුදුන් කරා ගොසින් තමා සිතූ සිතුවිල්ල කී ය.

බුදුහුත් බමුණු ජාතියෙහි උපන් පමණෙකින් බමුණු වැවහාර ලබන පමණක් මුත් බ්‍රාහ්මණ ලක්‍ෂණ නො වන නියාව වදාරන සේක් ‘යම් කෙනෙක් සකෙලෙස්හු වූ නම් බමුණු කුලෙහි උපන් පමණකට ‘පින්වත, පින්වත’යි කී පමණක් ගෙන ‘භොවාදී’ යයි කියත් මුත් බ්‍රාහ්මණ ව්‍යවහාර ය නිර්ව්‍යාජයෙන් රහතන්ට ම වන හෙයින් උන්ට නො කියමි. රාගාදි කෙලෙස් කසළක් නැති කාමූපාදානාදී චතුර්විධ උපාදානයෙන් ගැන්මෙක් හෝ නොහොත් පිළිසිඳ ගැන්මෙක් හෝ නැත්තවුන්ට ම බ්‍රාහ්මණ ය යි කියමි. තව ද යම් කෙනෙක් සසර නමැති මහා කණුවෙහි බඳනා තෘෂ්ණා නමැති බහන් සුන් බැවින් සසර භය ත් සිඳ පූ ද, උන්ට බ්‍රාහ්මණ යයි කියමි’යි වදාළ සේක. මේ දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ඉස ගිනි ඇවිළියක්හු ඒ ගිනි නිවන්ට වන වෙළෙවියක් මෙන් භවක්‍ෂයට ම වෙළෙවි විය යුතු.

_________

  1. උග්ගසේන වත’ මෙ තැන නැත.