285. කොවුන් බමුණකුගේ වස්තුව

star_outline

තව ද කුහක ප්‍රතිපදාවෙහි නපුර දක්වන්ට කොවුන් බමුණකු ගේ වත කියමු.

කෙසේද යත්-

එ තෙම විසල් මහ නුවර වාසල ළඟ එක් කුඹුක් ගසකට නැඟී ලා දෙ පයින් අත්තක් බදා ගෙන ඉස බිම බල්වා ලා එලෙන්නේ ‘මට කිඹුල් වන් දෙනුන් සියයක් දෙව. පාදපරිචාරිකාවන් දෙව. ඉදින් නු දුනු නම් කඩා ගෙන හී මිය මේ නුවර පාළු කෙරෙමි’ කියයි. බුදුහු ත් වහන්දෑ පිරිවරා නුවරට සිඟා වඩනා කල්හිත් ඔහු වවුලකු මෙන් එලෙන්නා දැක සිඟා පියා වඩනා කලත් බැඳ එල්වා පී එකක්හු මෙන් එලෙන්නහු දුටු සේක. නුවර ඇත්තෝ ත් ‘මේ උදාසන පටන් මෙලෙස කිය කියා එලෙන්නේ කඩා ගෙන හී මිය ගොසින් මේ නුවර නු නුවර කෙළේ නමුත් ය’යී සිතා ලා නුවර නසී දෝ යන භයින් යමක් යමක් ඉල්වී නම් යකුන් කොයි වුවත් යක් දෙස්සන්ට කරන සංග්‍රහ මෙන් ගුණ කුම් වුව ත් කුහක ප්‍රතිපදාව දැකම දෙන්නාහ. එයි ත් බැස පියා හැම ම හැර ගෙන නික්මිණ.

වහන්දෑ ද වෙහෙර උවසර සිම දී දෙනුන් හඬන්නා සේ හඬ හඬා යන්නාහු දැක හැඳින ගෙන ‘බමුණ, ඉල්වූ ඉල්වූ දෙය ලදු දැ’යි විචාරා ‘එ සේ ය, ලදුම්හ’යි කී කල්හි බුදුන්ට ත් එ පවත දැන්වූ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, තුලූ කොවුන් දැන් මතු නොවන්නේ වේද? යට ත් කොවුන් ම වේ දැ’යි වදාරා ‘දැන් තමා සේ ම අඥානයන් කොවුන් කමින් බදා ඇවිද්දි. පෙර නුවණැත්ත වුනුත් බදන්ට උත්සාහ කොට ත් බදා ගත නොහිණි’යි වදාරා ඉකුත් වත් දක්වන සේක්-

යට ගිය දවස කසී රට එක් ගමක් නිසා සැදෑයෙකින් නො ව ජීවිකා වෘත්ති ය නිසා තවුස් වෙස් ගත් එක් සොරෙක් වෙසෙයි. එක් උපාසක කුලයෙක් ගුණයක් ඇතැ’යි සිතා කවුඩු බෝයකට කරන උපස්ථානයක් මෙන් උපස්ථාන කෙරෙති. තමන්ගේ දරු මලු කෙනකුන්ට දෙන දෙයක් මෙන් කන බොන දෙයින් දාවලට ත් කොටසක් දෙති. සවස එක් කොටසක් තබා ලා දෙවන දවස් උදාසන දෙති. එක් දවසක් සවස ගෝ මසක් ලදින් යහපත් කොට පිසවා ලා ඉන් කොටසක් තබ්බවා ලා දෙවන දවස් ඕ හට සොර කමට යන්ට දෙන දෙයක් මෙන් දුන්හ. එයි ත් ගෝ මස් කාලා රස දැන ගෙන ‘මේ කුමන මසෙක් දැ’යි විචාරා ගෝ මස් නියාව දැන මිරිස් ලුණු ආදිය සිඟා ගෙන පන්සලට ගෙන ගොසින් එක් තැනෙක තබා ලා හුන්හ.

පන්සලට ආසන්නයෙහි එක් තුඹසෙක ගෝ රජ්ජුරු කෙනෙක් වසන්නෝ කලින් කල සැබෑ තවුසෙකැ’යි සිතා ගෙන සොර තවුසා වඳිනට එති. එ දවස් ඒ සොර ද ගෝ රජ්ජුරුවන් මරණු නිසා දණ්ඩක් සඟවා තබා ලා තුඹස ආසන්නයෙහි නිඳන බඳුව ලා හුන්හ. ගෝ රජ්ජුරුවෝ ද තුඹසින් නික්ම ලා ඌ ළඟට එන තැනැත්තෝ ම ඌ එබි කමට හුන් ලෙස ම දැක ජාති ය තිරිසන් වුව ත් නුවණ තිරිසන් නො වන හෙයින් තමන් මරන්ට හුන් නියාව දැන ගෙන එ දවස් ගමන තබා පීහ. කුළු දුල්ලා ත් ඒ නියාව දැන ලා මරණු නිසා මහ දණ්ඩක් දමා ලීය. පව් වළහන සේ දන්නවුන්ට දඬු වැළහීම බැරි නො වන හෙයින් දමාලූ දණ්ඩ වළහා පීහ. නොහොත් ගෝ රජ්ජුරුවන්ගේ කුශලානුභාවයෙන් දඬු කඩ ඉවත්ව හිණ. ගෝ රජ්ජුරුවෝ තුඹසට වැද ලා හිස මෑත් කොට ලා ආ පස්ස බලන්නාහු සොරට තවුසා සිටිය වුට-

“සමණං තං මඤ්ඤමානො - උපගජඤ්ඡිං අසඤ්ඤතං,

සො මං දණ්ඩෙන පාහාසි - යථා අස්සමණො තථා,

කිං තෙ ජටාහි දුම්මෙධ - කිං තෙ අජිනසාටියා,

අබ්භන්තරං තෙ ගහණං - බාහිරං පරිමජ්ජසි.”

යනු හෙයින් ‘තා ගුණයක් ඇතැ’යි සිතා තා කරා අයිමි. තෙපි දැන් අප මරන්ට ආරම්භ කළහ. නුවණ නැති තැනැත්තව, එ බඳු ගුණයක් නැතිව හිසට බර කොට දළ මඬුලු ඔසවාත් කම් කිම්ද? කුණු ලබ්බෙක ඇතුලක් සේ අදහස නපුරු කල අසුචින් පිරුණු කළයක් පිටත සිත්තම් කරන්නා සේ පිටත පිරිමසා ඇවිදීමෙන් කම් කිම්ද? තිලින් පරලොව පිරිමැසි ය නො හැක්කේ වේ දැ’යි කීවු ය. කුළු දුළුලු ද තමාට හැල් සාල් ඇති නියාව ත් මාළුවක් ඉදි කරතත් මිරිස් ආදි වූ කුළු බඩු ඇති නියාවත් කියා ලා ඉදින් පොලඹා ගත හැකි කෙනකුනැ’යි සිතා -

“එහි ගොධෙ! නිවත්තස්සු - භුඤ්ජ සාලිනමොදනං,

තෙලං ලොණඤ්ච මෙ අත්‍ථි - පහූතං මය්හ පිප්ඵලී”

යනු කිවු ය. ගෝ රජ්ජුරුවෝ ද ඒ අසා නිවන් රසයේ මුත් සෙසු රසයෙක ඇලුම් නැති නියාව ත් ඌ එලෙස කීව ත් තමන් දුරු බා යනු කැමති නියාව ත් හඟවන්ට -

“එස භීය්‍යො පවෙක්ඛාමි - වම්මිකං සතපොරිසං,

තෙලං ලොණඤ්ච කිං තෙහි - අහිතං මය්හ පිප්ඵලී”

යනු කිවු ය. මෙ සේ ද කියා ලා ‘හෙම්බල, මම මෙ තෙක් කල් පරසිත් දන්නා නුවණ මට නැති හෙයින් තා ගුණයක් ඇතැ’යි සිතා තා කරා එළඹියෙමි. තමා දමා ලූ දණ්ඩ මා කරා අවුත් තාගේ තරම හඟවාපී ය. ආදි ගුණ ලවයක් ඇත්තෙහි වී නමුත් මා මරණු නිසා දඬු කඩ දැමූ වේලෙහි පටන් දර දණ්ඩේ මොළොක් ගුණ ය නැත්තා සේම තාගේ සිතත් ගුණ රස නැත. තා සේ වූ සැදෑ නැති පවිටුන් දළ මඬුලු උසුලනු බලා ත් වසුන් උසුලා ඇවිදීම යහපත. අඳුන් දිවි සම් පෙරවීම් බලාත් කැණහිල් සම් පෙරවීම් යහපත තවුස් වෙස් ගැන්මෙන් පිටත ම පිරිමසා ඇවිදිනා පමණක් මුත් පිළියෙන් වැසුව මනා ලජ්ජා ස්ථාන ය එළි ව තිබිය දී මූණ පමණක් වසා ඇවිදිනා සේ පිරිමැසුව මනා සිත් සතන් පිරිමසා ගත නො හෙයි. මේ වක් පටන් තා අපට හැයි දැ’යි කීහ.

බුදුහු මේ ඉකුත් වත ගෙන හැර දක්වා ලා ‘එ කල ඒ කොවුන් තවුසා නම් මේ වවුල් තපස් කරන තැනැත්තෝ ය. ගෝ රජ්ජුරුවෝ නම් මම් ම ය’යි වදාරා ලා බණ වදාරන සේක් නැතක් දවසෙක කියා ලූ දෙයක් සිත තබා ගත නුහුණුවන්ට පෙරළා සඳහන් කරවන්නාක් මෙන් බෝධිසත්‍ව අවස්ථාවෙහි කියා ලූ-

‘කිං තෙ ජටාහි දුම්මෙධ - කිං තෙ අජීන සාටියා,

අබ්භන්තරං තෙ ගහණං - බාහිරං පරිමජ්ජසි’

යන මේ ගාථාව ම වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කුහක ප්‍රතිපදාවකින් දවස් නො යවා අවඞ්ක අකුටිල ලෙස දවස් ගැළවිය යුතු.

__________