තව ද බාහිත පාපිත්‍වයෙන් බ්‍රාහ්මණවත් මුත් සෙසු ලෙසකින් බ්‍රාහ්මණ නොවන නියාව හඟවන්ට දුළුලු බමුණාන කෙනකුන් ගේ වස්තුව කියමු.
කෙසේද යත් -
ඌ තුමූ ‘මම උභය කුල පරිශුද්ධ වූ බ්‍රාහ්මණයෙමි. මහණ ගොයුම්හු තමන්ගේ සවුවන්ට බමුණු ව්‍යවහාර කරන කල මා ජාති බ්‍රාහ්මණයාට ත් මෙ ලෙස ම කොළෝ නම් යහපතැ’යි සිතා ලා බුදුන් කරා ගොසින් එ පවත් කිවු ය. බුදුහු ඒ අසා ‘හෙම්බල බමුණ, තෙල විචර තරමක් හැර ගෙන මම බමුණු ව්‍යවහාර නො කෙරෙමී’ වදාරා ඒ වැවහාරයට නිස්සවුන් වදාරන සේක් ‘ජාති පමණෙකින් හා ගෝත්‍ර පමණෙකින් හා දළ මඬුලු බැඳීම් පමණෙකින් හා වැවහාර පමණක් මුත් බ්‍රාහ්මණ නම් නො වෙති. යම් කෙනකුන් කෙරෙහි සොළොස් ආකාරයෙකින් දැන සිටියා වූ චතුරාර්යය සත්‍ය ය ඇත් නම් ආර්‍ය්‍ය ජාතීන් යහපත් ජාති ඇත්තෝත් ඌ මය, බ්‍රාහ්මණ වන්නෝ ත් ඌ ම ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
හෙයින් නුවණැත්තවුන් විසින් ශීල සමෘද්ධ්‍යාදී ගුණෙහි ම පිහිටා භවක්‍ෂයට යත්න කරත් මුත් කුහක ප්‍රතිපදා වශයෙන් දළ මඬුලු දැරීම් ආදියට උත්සාහ නො කටයුතු.