තව ද ගුරු භක්තියෙහි යහපත දක්වන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
උන් වහන්සේ අස්සජි මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ තැන් පටන් අස්සජි මහ තෙරුන් වහන්සේ යම් තැනෙක වෙසෙතී ඇසූ සේක් නම් සැතපෙන කල ඒ දිග වැඳ ලා ඒ දිගට හිස ලා ලා සැතපෙන සේක. වහන්දෑ ද ඒ දැක ආද්‍යන්ත ඔබ අතිනුත් විචාරා නො පියා ‘බ්‍රාහ්මණ ලෙසට දෘෂ්ටි ය නො හළ නියා වේ ද? අද දක්වා ත් දික් වැඳීම හරනේ නැතැ’යි සිතා ගෙන එ පවත් බුදුන්ට දැන්වූ සේක.
බුදුහු ත් මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘සැබෑද? තෙපි දික් වැඳ ඇවිදු දැ’යි විචාරා ‘ස්වාමීනි, මා දෘෂ්ටිගතික ව දික් වඳනා නියාත් නොවඳනා නියා ත් ඔබ ම දැන වදාර ත් මා කියන්නේ කිම් දැ’යි කී කල්හි ‘හෙම්බා මහණෙනි, මූ තුමූ දික් වඳනෝ නොවෙති. යම් දිගක අස්සජි මහ තෙරුන් වෙසෙතී දත්තු නම් උන්ගේ බණ අසා තමන් සෝවාන් වූ හෙයින් උන් ඇදුරු ව සිටි හෙයින් උන් වඳිතී’ වදාරා බණ වදාරන සේක් ‘සත්‍වයෝ තුමූ යම් කෙනකුන් කෙරෙන් බුදු වදන් අසා දත්තු නම් ඌ ගිනි දෙවියා පුදන බමුණන් ඒ ගිනි දෙවියාට කරන ආදර මෙන් ආදර සම්භාවනා ඇති ව වැන්ද මැනැවැ යි පිදුව මැනැවැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ගුරු ප්‍රත්‍යාක්ඛ්‍යාන ය නො කොට ගුරු භක්ති ඇති ව විසිය යුතු.