තව ද ක්‍ෂමායෙහි යහපත දක්වන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
එක් තැනක රැස්ව හුන්නා වූ බොහෝ දෙන ‘අනේ අපගේ ධර්‍ම සෙනෙවි ස්වාමීන් ගේ ක්‍ෂමාව යහපත. ශුචි අශුචි නිඃක්‍ෂෙපයෙහි අනුනය ප්‍රතිඝ රහිත පෘථිවිය මෙන් බිණුවා වුන් කෙරෙහි ත් සම අදහස් ඇති සේක’ යනාදීන් ගුණ කීහ. එක් මිසදිටු ගත් බමුණෙක් ‘නො කිපෙන්නෝ කවුරුදැ’යි විචාරා ධම්සෙනෙවි ස්වාමීන් නියාව අසා ‘කුප්පවා පියන කෙනෙක් නැත් දැ’යි විචාරා නැතැ යි කී කල්හි ‘එ සේ වී නම් මම කුප්පවා පියමී’ කීය. ‘පිළිවන් වී නම් කුප්පවා පියව’යි කී කල්හි වන් නාට පිළිවන් වේ දැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ සිඟා වැඩි ගමනේ දැක පිටි පස්සෙන් අවුත් ලා පිඩි පිටට අතුල් පහරක් ගසා අනන්ත කාලයකට අකුසල් සිද්ධ කොට ගත.
මහ තෙරුන් වහන්සේ පිටි පස්ස බලා පියන පමණකු ත් නැති ව කර්‍ම ප්‍රත්‍යවේක්‍ෂාව කෙරෙමින් වැඩ පී සේක. බමුණාගේ ඇඟ මුළුල්ලේ දාහ වැද ගත. ඒ තෙමේ ඔබගේ තරම අනුන්ගේ බසින් හදහා ගත නොහිණි නමුත් ගසා පී පහරට නො කිපි හෙයින් එවිට අදහා ගෙන ‘අනේ මුන් වහන්සේ යහපත් සේකැ’ යි වැඳගෙන වැද හෙව, ‘කමන් නෑ ස්වාමීනි’යි කියා ලා ‘හැයි, කුමක් දැ’යි විචාළ කල්හි ‘මුඹ වහන්සේගේ සහනය බලන්ට පහරක් ගසා පීමි’යි කීහ. ‘කමා කෙළෙමි’ වදාළ සේක. ‘ඉදින් ක්‍ෂමා කළොත් මාගේ ගෙයි වැඩ හිඳ වළඳන්ට වුව මැනැවැ’යි කියා ලා ආරාධනා කොට පාත්‍ර ය ඉල්වා ගත. මහ තෙරුන් වහන්සේත් පාත්‍ර ය දෙවූ සේක.
බමුණු ත් මහ තෙරුන් වහන්සේ ගෙයි දී වැළඳ වී ය. පහර ගැසූ නියාව දැක මිනිස්සු මුසුප්පු ව අපගේ නිරපරාධ ස්වාමි දරුවාණන්ට පහර ගසා පී ය. මු ගෙන් දඩ පමණෙකින් යවන්ට යුක්ති නැත. මතු එ බන්දක් නොකරන ලෙසට මරා ම’ පියම්හ’යි පොළු මුඟුරු හැර ගෙන බමුණාගේ ගෙදොරට ගියහ. මහ තෙරුන් වහන්සේත් වළඳා ලා වඩනා සේක් පාත්‍රය බමුණානන් අතට දෙවාලූ සේක. මිනිස්සුත් මහ තෙරුන් වහන්සේ කැටි ව යන්න වූ දැක ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ පාත්‍ර ය අතට හැර ගෙන බමුණා රඳවා පුව මැනැවැ’යි කිවු ය. ‘කුමක් නිසා දැ’යි විචාළ කල්හි ‘මේ මුඹ වහන්සේට පහරක් ගැසීය. ඌට කළමනා දෑ ඇති හෙයිනැ’යි කීහ. ‘කුමක්ද? තුලූ ගැසුයේ තොපට ද අපට දැ’යි විචාළ සේක. මුඹ වහන්සේට ය’යි කිවු ය. ‘එ සේ වී නම් මා ගසන විට ගසා පියා පසු ව ක්‍ෂමා කරවා ගත. තෙපි යව’යි කියා මිනිසුන් යවා පියා බමුණා ත් මරණින් ගළවා පියා විහාරයට වැඩි සේක.
වහන්දෑ ද තමන් වහන්සේ එකාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පාරමිතා නොපිරූ හෙයින් ‘ධම් සෙනෙවි ස්වාමීන් කුමක් කළ නියා ද? යම් බමුණකුගෙන් පහරක් ලත් සේ ක් වී නම් ඒ බමුණාගේ ගෙයිදී ම වැළඳූ සේක. ඔබට පහර ගැසූ තැනක් හකුළුවා ලන්ට නුවූ හෙයින් අනික් කොතැනක නවතී ද? මරා ම ඇවිදිනේ වේ දැ’යි කී සේක. බුදුහු ත් ඒ අසා වදාරා ‘මහණෙනි, සැබෑ බමුණෙක් වී නම් බමුණන් කුමට මරා ද? බමුණන් මැරූයේ නො බමුණු හෙයින. ක්‍රෝධය නම් අනැගැමි මගින් ම නැති වෙයි. වදාරා ලා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් රහත් වූ නම් තමන් රහත් නියාවට රහතන්ට වුවත් කාට වුව ත් නො ගසති. පුරාකෘත කර්‍මානුරූපව යමෙක් තමන්ට ගසාපූ නම් අනැගැමි මගින් ම කෝපය සුන් හෙයින් උන්ට කෝපත් නොකෙරෙති. යම් කෙනෙක් රහතන් මරත් නම් මම උන් නවතනු නිසා උන්ට නින්‍දා කෙරෙමි.
යම් කෙනෙක් රහතන් පහළ වූ නම් අනික් ලෙසකින් නවතා නොලා උන් මරත් නම් එයි ත් යහපතක් නොවෙයි. අනුන් නිසා කළත් ඒ පාප ය තමාට ම ය. යම් කෙනෙක් රහතන්ට බණන්නවුන් දැක නිකම් නවතො ත් මුත් තුමූ නො බෙණෙත් නම් මරන්නවුන් දැක මාලුකම් කියා නවතත් මුත් තුමූ උන් නො මරත් නම් ඌ රහතන්ට ත් ඒ ගුණෙන් අඩු නො වෙති. යම් කෙනෙක් ක්‍රෝධ අදහසින් නවති ත් නම් එයි ත් යහපත. යම් යම් ලෙසකින් ක්‍රෝධයෙන් නවති ත් නම් ඵයිනු ත් සසර දුකිනුත් නවති’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්‍ෂමාපර ව අක්‍ෂමාවෙහි ආදීනව එක්වන් සලකා අනුසස් එකොළොසක් විතර ඇති මෛත්‍රී ඇති ව විසිය යුතු.