තව ද බ්‍රාහ්මණ ලක්‍ෂණය ත් ශ්‍රමණ ලක්‍ෂණය ත් ප්‍රව්‍රජ්‍යා ලක්‍ෂණයත් එක් කොට දක්වනු නිසා එක්තරා පැවිදි කෙනකුන්ගේ වත දක්වමු.
කෙසේද යත් -
එක් බමුණාන කෙනෙක් තීර්ථායතනයෙහි පැවිදි ව ‘මහණ ගොයුම් තමාගේ සවුවන්ට පැවිදි බැවහාර කෙරෙති. මම ත් පැවිද්දෙමි. මට ත් බැවහාර එලෙස කළ මනා වේ දැ’යි සිතා බුදුන් කරා එළඹ තමන්ට ත් එ ලෙස ම බැවහාර කරන්ට කිවු ය. බුදුහු ‘මම එ බඳු ගුණයක් නැති ව වෙස් ගත් පමණෙකින් සිංහ සම පෙරෙවි පමණෙකින් කැණහිලුන්ට සිංහ බැවහාර කට නො හැක්කා සේ ම තොප තරමුන්ට පැවිදි බැවහාර නො කෙරෙමී’ වදාරා ලා ‘යම් හෙයකින් රාගාදී කිලුටු තමා කෙරෙන් පිට ත් කළ හෙයින් බ්‍රාහ්මණ වේ ද, අකුසලු ත් සන්හිඳවීමෙන් ශ්‍රමණ යයි කියනු ලැබේ ද, එ සේ ම රාගාදී කිලුටු දුරු කළ හෙයින් එ ලෙස කළ කෙනෙක් පැවිදි නම් වෙති. තොප වැන්නවුන්ට ඒ බැවහාර කට නොහැක්කැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ පැවිද්දාණෝ සෝවාන් වූහ. සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පැවිදි වෙස් ගෙන ත් නො ගෙනත් පාපයෙන් ම දුරු වන්ට උත්සාහ කටයුතු.