279. අනඳ මහ තෙරුන් වහන්සේගේ වත

star_outline

තව ද ගුණ ශෝභාව තිබැදී රූප, ශෝභාවෙනුත් බුදුන් ම අධික නියාව හඟවන්ට අනඳ මහ තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

පසේනදී කොසොල් රජ්ජුරුවෝ වස් නිමි දවස් සව් බරණ ලා සැරහී ගෙන විහාරයට ගියහ. ඒ වේලාට කාළුදායි මහ තෙරුන් වහන්සේ ධ්‍යානයට සම වැදලා විහාර ය කෙළවර වැඩහුන් සේක. කාළුදායි ය යන නම පමණක් මුත් තමන් වහන්සේ ඉතා හෙළලු සේක. එ වේලාට හිරත් ගල හී සඳ ත් පැන නැංග. අනඳ මහ තෙරුන් වහන්සේ බස්නා වූ හිරෙහි ශෝභාව ත් නැඟෙන සඳෙහි ශෝභාවත් රජ්ජුරුවන්ගේ ශරීර ශෝභාවත් කාළුදායි මහ තෙරුන් වහන්සේගේ ශරීර ශෝභාව ත් දැක බුදුන්ගේ ශරීර ශෝභාව ත් දුටු සේක. ඒ හැම ශෝභාව ම සර්වඥ ශෝභාව කරා පැමිණ නිශ්ශෝභාවි ය. අනඳ මහතෙරුන් වහන්සේ බුදුන් වැඳලා ‘ස්වාමීනි, හිර ශෝභාවට ත් සඳ ශෝභාවට ත් රජ්ජුරුවන්ගේ හා කාළුදායි මහ තෙරුන් වහන්සේගේ ශරීර ශෝභාවට ත් වඩා මුඹ වහන්සේගේ ශරීර ශෝභාව ම මට යහපතැ’යි කී සේක.

බුදුහු ඒ අසා ඒ මුල් කොට බණ වදාරන සේක් ‘හෙම්බා ආනන්‍දයෙනි, හිර තෙමේ දාවල් ම බබළයි. රෑ ව යන්නා ගිය මග කවරේ ද බව ත් නොදැනෙයි. සඳත් පඤ්චොපක්ලේශ විනිර්මුක්ත වී නම් රෑ දවස ම බබළයි. දාවල් දවසට කවර මගක ගිය බව ත් නොදැනෙයි. රජ්ජුරුවෝ ආභරණ ලා සැරහී සිවුරඟ සෙනඟ පිරිවරා සිටියෝ හොබිති. අප්‍රසිද්ධ ලෙසින් සිටියොත් නො හොබිති. රහත්හු ත් ධ්‍යාන සමාපත්තිය ඇතුළත හොබනා ලෙස සෙසු විට හොබිනෝ නොවෙති. සර්වඥවරයන්ට රෑය’යි කියා නැත. දාවල් ය කියා ත් නැත. හැම වේලේ ම තමන්ගේ ශීල තේජසින් නිශ්ශීලයන් මැඬ ගුණ තෙදින් නිර්ගුණින් මැඬ, ප්‍රඥා තේජසින් මන්‍ද බුද්ධීන් මැඬ, ‘කුශල තේජසින් අකුසලුන් මැඬ, ධර්‍ම තේජසින් අධර්ම ය මැඬ, නිරන්තර ව ආයුඃ කල්ප ය මුලුල්ලෙහි බබළතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් ශීල තෙජසින් - ගුණ තෙජසින් – ප්‍රඥා තෙජසින් – කුශල තෙජසින් යුතු ව මුළු ලොව බබුළුවන්ට උත්සාහ කටයුතු.