තව ද යම් තම් විතර වුව ත් භාවනාමය කුසලය භවක්‍ෂයට මහා ප්‍රයෝජන නියාව දක්වන්නට චුල්ලපන්ථක නම් තෙරුන් වහන්සේගේ වස්තුව කියමු.
කෙසේ ද යත්:
රජ ගහා නුවර මහා සම්පත් ඇති සිටාණ කෙනකුන්ගේ දුවණි කෙනෙක් වැඩි විය පැමිණි කල දෙ මවු පියන් විසින් සත් මාල් පායෙක උඩු මාලේ ලා රක්නා ලබනුව ත් සිතට ලූ රකවලක් නැති හෙයින් යෞවන මදයෙන් මත් ව පුරුෂයන් කෙරෙහි ලොල් ව කුලජ කෙනකුන් නො ලදින් තමන්ගේ ම ගෙයි කොල්ලකු හා සහවාස ය කොට ‘මෙ තැන රඳා හිඳ මේ අප ගේ අකාරිය අනික් කෙනෙක් දත්තු නම් යහපත් නොවෙ’යි සිතා කොල්ලණුවන්ට ‘අප මෙ තැන රඳා හිඳිනට නො පිළිවන. ඉදින් අපගේ මවු පිය දෙ දෙන මේ දත්තු නම් තමන් කළ තරමට මේ පිටි පෑ තිබෙන හෙයින් දරු කමු ත් වාල් කමු ත් පසු කොට කළ වරදට තරම් ලෙසින් කඩ කඩ කොට කපා දමා පියති. දුරකට පලා ගොසින් වසහම්’ යි කීවු ය. කියා ලා තමන් නිස්සාර වුව ත් සාරවස්තු ගෙන යන විතරක් හැර ගෙන ආදි හළ වාසලින් නික්ම දුරු බාම පලා ගොසින් එක් තැනෙක රඳා හුන්හ.
එ සේ වසන කල කොල්ලණුවන්ට දාව සිටු දුවණියන් බඩ ක්‍රියා දෝෂයෙන් උන් තමන් නපුරු වුව ත් මුතු බෙල්ලන් බඩ මාහැඟි මුතු ඇතිවන්නා සේ දරු කෙනෙක් ඇති වූහ. ඒ සිටු දුවණියෝ ද දරු ගැබ මුහුකුරා ගොසින් වදනට අවස්ථාවෙහි අර මූට කියන්නෝ ‘දරු ගැබ ත් මුහුකුරා ගියේ ය. නෑයන් සියන් නැති තෙන දී දරුවන් වැදිම නිසා තොපටත් අට්ටාල අපට ත් දුක. දෙ මවුපියන්ගේ ඔබට ම යම්හ’ යි කුස උපන් දරුවන් ක්‍රියා විරෝධි නැති කළාක් මෙන් කිවු ය. දරු ඒ අසා ‘ඉදින් මම මුන්දෑගේ බසින් ඔබ ගියෙම් නම් ජීවිත ය නැතැ’යි යන භයින් ‘අද යම්හ, සෙට යම්හ’යි කියා ම කල් යවයි. සිටු දුවණියෝ ‘මේ තමාගේ වරද මහත් සෙයින් යන්ට මැළිය. දෙමවුපියෝ නම් දරුවන්ගේ කෙ තෙක් නුගුණ වුවත් හිත කමින් අඩුවක් නැත්තෝ ය. මේ යේව යි නො යේව යි මම යෙමි’ සිතා ලා ඌ ගෙන් බැහැරක් ගිය කල ගෙයි ඉද්ද ඊල යහපත් කොට තබාලා තමන් දෙමවුපියන්ගේ ඔබ යන නියාව ඉක්බිති ගෙවලට කියාලා නික්මුණවූ ය. බැහැර ගිය දරු ද ගෙට අවුත් සිටු දුවණියන් නො දැක ඉක් බිති ගෙවල ඇත්තවුන් විචාරා ‘දෙමවු පියන්ගේ ඔබ ගියෝ ය’යි කී කල්හි ගිය දුවණියන්ගෙන් සාරාවන අසා ගෙන් වා ගණිත් දෝ හෝ යි යන භයින් උන් රඳවනු නිසා වහා ලුහුබඳවා ගෙන ගොසින් අතර මඟදී ම දිට.
සිටු දියණියෝ ත් එ තැනදී ම වදාපු ය. වැදූ යේ ත් කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි ශ්‍රාවක බොධියට පිරූ පැරුම් ඇති සසර දුක් ගෙවා නිවන්පුර වදනට ආසන්නව සිටි මහ පිණැති පුතණු කෙනකුන. කොල්ලණුවනු ත් ‘දරුවන් වදන නිසා ම වේද ඔබ නික්මුණේ. සොයා යන බෙහෙද පෙරමඟ සම්භවූවා සේ ඒ අතුරු මඟ දී ම සිද්ධ වූ පසු මෙ විට කළ මනා කුමක් දැ’යි ගමනේ ම රුචි නැති ව විචාළ කල්හි ඉතිකින් ඔබ ගොසිනු ත් කුමක්ද? කවර යහපතක් අසන්ට යමෝ ද? රඳා හුන් තෙනට යම්හ’ යි දෙන්න ම එක් සිත්ව නැවත රඳා ගියහ. උපන් කුමාරයන්ට ද මඟ දී උපන් සෙයින් මඟට ත් පන්ථ යනු මගධ ව්‍යවහාර හෙයින් පන්ථක ය යි නම් තුබූහ. ඒ කුමාරයන් පිය ඔසවා ඇවිදිනා කලට පෙරළා ත් දරු කෙනෙක් සිටු දුවණියන් බඩ පිහිටියහ. ඒ දරු ගබත් මූකුරා ගිය කලට ගමන් සැරූ නියාත් අර මූ මැළි ව කල් යවූ නියා ත් සිටු දුවණියන් නික්ම අතුරු මඟදී ම ආදි සේ ම තමන්:
‘නිහීයති පුරිසො නිහීන සෙවි
න ච හායෙථ කදාචි තුල්‍යසෙවි,
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං
තස්මා අත්තනො උත්තරිං භජෙථ.
යන්නෙහි නො පිහිටා තෙල ලෙස වුවත් පෙරළා ත් මහපිණැති පුතණු කෙනකුන් වැදූ නියා ත් දෙමවුපියන්ගේ ඔබ නො ගොසින් පෙරළා රැඳුණු නියා ත් ආදි ලෙසින් ම දත යුතු. මුන් ගොසින් රැඳුණු ලෙස නම් උපන් දරුවන් දෙන්නා ත් සසර ගමන් නැති ව නිවන් පුරෙහි රඳන ලෙසට ය. ඒ කුමාරයනු ත් මගදී ම උපන් හෙයින් පළමු උපන් තැනැත්තවුන්ට මහාපන්ථක ය යි නම් තබාලා පසු උපන් තැනැත්තවුන්ට චුල්ලපන්ථක නම් තබා ලූ ය. මෙ සේ නම් තබාලා දරු දෙන්නා ත් හැර ගෙන පෙර රඳා හුන් තැනට ම ගියහ.
එ සේ ගොසින් වසන කල මහා පන්ථක කුමාරයෝ එක් ව කෙළන කුඩා සුඟුන් සිළිපිය, මාලුපිය, [1]මයිල්, මුතුන් ආදීන්ගේ පවත් කියනු අසා මෑණියන්ට ‘සෙසු කුඩා කොල්ලෝ තමන් තමන්ගේ නෑයන් සියන්ගේ පවත් කියති. මුඹ දෙන්නා මුත් අපගේ නෑ කෙනකුන් නැති නියා දැ’යි විචාළෝ ය. ‘පුත, එ සේ ය. තොපගේ නෑයෝ මොබ නැත. රජගහ නුවර මහා ධන සිටාණෝ තොප දෙන්නාගේ මුත්තණුවෝ ය. ඔබ තොපගේ නෑයෝ බොහෝ යයි කිවූ ය. කුමාරයෝ ඒ අසා පින් කළ නියාව මහත් හෙයින් ‘එ සේ කළ ඔබ නො යමෝනැ’යි විචාළෝ ය. නො යන කාරණ ය තත්‍ව වශයෙන් මෑණියන් කීව ත් බිජුවට මූකුරා ගිය කලට කුකුළු පැටවුන් මෑත් වන්ට සිතන්නා සේ අර්හත්‍වයට උපනිශ්‍රයක් මූකුරන හෙයින් කුමාරයෝත් ඔබ ම යන්ට තරයෝ ය. මෑණියෝ ද තමන්ගේ නිකෘෂ්ට අකුශල කර්‍මයට පුතුන්ගේ උත්කෘෂ්ට කුශල කර්‍ම ය බල හෙයින් අදහස් මිරිකා ගත නො හී කොල්ලණුවන්ට කියන්නෝ ‘මේ දරුවෝ මුතුන් මිත්තන් ළඟට යම්හ යි, එක්වන් කියති. අප දෙ මවුපියෝ අප කළ වරදට උරණ වත් මුත් මරා–පියා මස් කාපිය ත් ද, අප ගේ වරද ඇති හෙයින් අපට කුමක් කෙරෙත් නමුත් තමන් ගේ මුණුබුරන්ට කුමක් කෙරෙද්ද, එව, මේ දරුවන් ඔබ ගෙන යම්හ’යි කිවු ය.
ඒ අසා එතෙම ‘මම ඒ මුදළිවරුන් මූණ නො පෙනෙමි. මුඹ හැම කැඳවා ගෙන යන්ට පිළිවනැ’යි කිවු ය. කවර ලෙසකින් වේව යි මුන් මුන්ගේ මුතුන් මිත්තන් දක්නට වුව මැනවැ’යි කියා ලා දෙන්න ම කුමාරවරුන් දෙදෙනා හැර ගෙන රජගහා නුවර කරා ගොසින් නුවරින් පිටත ශාලාවෙක සැතපී ලා සිටු දුවණියෝ තුමූම ආදි කොට නොගොසින් දරු දෙන්නා ත් කැඳවා ගෙන තමන් ආ නියාව දෙ මවු-පියන්ට කියා යවු ය.
දෙ මවුපියෝ ද ඒ අසා තමන් ඉතා ව්‍යවස්ථිත හෙයින් ‘සසර ඇවිදිනාවුන්ට කිසි කලෙක දෙ මවුපිය ව හා කිසිකලෙක දරුව නුවූ කෙනෙක් සසර අක් මුල් නැත්තා සේ ම නැත. අප ගේ තරමට තමන් කළ කටයුත්ත තමන්ට ම තරම් වත් මුත් අපට තරම් නො වෙයි. තුමූ අපගේ මූණ දකින්ට ආදි ම නැති වූ ලජ්ජාව හෙයින් එත් නමුත් අප හැම ලජ්ජාවට හිඳිනවුන් හෙයින් තමන් මූණ දකින්ට බැරි ය. බල[2] එකෙක් නම් දරු වූ පමණකට ගිය තැනක රැකෙන නියායෙන් වස්තුවක් එවාලම්හ. ඒ හැරගෙන තමන්ගේ නිකෘෂ්ට අදහස් ලෙසට සම්භ වූ තැනැත්තහු හැරගෙන ගොසින් කැමැති ලෙස රැකෙන බව ය. දරුවන් දෙන්නා දා තැන්[3] නපුරු වුව ධෙනු න්‍යායෙන් උපන් තැන් යහපත් හෙයින් ඒ භාග ය හැරගෙන වුව ත් වඩම්හ. උන් පමණක් අපට එවා පිව මැනැවැ’යි වස්තු දී ගළවා ගන්නා සේ වස්තු යවූහ. උයි ත් අසා යවූ සම්පත් තුමූ හැර ගෙන දරු සම්පත ගියවුන් හා කැටි ව දෙ මවුපියන්ට යවූහ.
කුමාරවරු දෙන්න ත් මුතුන් මිත්තන් අතුරෙහි වැඩෙති. ඉන් චුල්ලපන්ථක කුමාරයෝ ඉතා බාලයෝ ය. මහා පන්ථක කුමාරයෝ මුත්තණුවන් ලා කැටි ව ගොසින් බුදුන් ගෙන් බණ අසති. එක් වන් යෑමෙන් බණ අසා බුදුනු ත් දැක සසර දුකින් මිදෙනු නිසා මහණ වන්ට සිතාපී ය. සිතාලා මුත්තණුවන්ට ‘මුඛ වහන්සේ අනුදත්තොත් මහණවනු කැමැත්තෙමි’යි කිවුය. මුණුබුරු කුමක් කියවු ද; කොට ගත හෙවු නම් රට ඇත්තන් මුළුල්ලගේ මහණ වීමට ත් වඩා තොපගේ මහණ වීම මට යහපතැ යි කියලා බුදුන් ළඟට ගෙන ගොසින් ‘සිටාණෙනි, දරුමුණුබුරු කෙනකුන් ලැබ පූදැ’ යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, මූ මාගේ මුනුබුරාණෝ ය. මුඹ වහන්සේ ළඟ මහණ වනු කැමැත්තෝ ය’යි කිවු ය. බුදුහු එක්තරා භික්ෂු කෙනකුන් වහන්සේ කැඳවා ලා තුලුන් මහණ කරව යි වදාළ සේක. උන් වහන්සේ ත් තචපඤ්චකය කියවාලා මහණ කළ සේක.
උන් වහන්සේ ද බොහෝ බුදු වදන් ඉගෙන විසි හවුරුදු පිරෙන්නා ම මාලු පැවිදි ව ගෙන ග්‍රන්ථ ධුර ය ඉගෙන නිමි හෙයින් විවසුන් ධුර ය පුරන සේක් රහත් ව ආර්‍ය්‍ය ජාතියට පැමිණ පිය පක්‍ෂයෙහි අඩුවත් හැර තෘෂ්ණා දෘශත්‍වයෙනුත් මිදුණු සේක. ධ්‍යාන සමාපත්ති සුවෙන් හා ඵල සමාපත්ති සුවෙන් හා දවස් යවන සේක් එක් දවසක් ‘මේ මා ලත් නිවන් රස[4] අපගේ මලණුවන් චුල්ලපන්ථකයන්ට ත්, දෙන්ට පිළිවන් දෝ හෝ යි සිතා මුතුන් සිටාණන් ළඟට ගොසින් ‘මහ සිටාණෙනි, කැමැත්තහු නම් මම චුල්ලපන්ථක කුමාරයන් මහණ කෙරෙමියි කී සේක. සිටාණෝ තමන් සස්නෙහි පැහැද වසන හෙයිනුත් මූ පුතණුවෝ දැ’යි විචාළවුන්ට ‘රටින් ගිය දුවණියන්ගේ පුතණුවෝ ය’යි කියන්ට ලජ්ජා ඇති වත් සුව සේ ම මහණ වන්ට අනුදත්හ.
මහාපන්ථක තෙරුන්වහන්සේ ද චුල්ලපන්ථක කුමාරයන් මහණ කළ සේක. මහණ වන්නා ම බත් කෑ කලට බඩ සාය නැති වන්නා සේ, පැන් පූ කලට පැන් පවස් නැතිවන්නා සේ වැසි වට කලට ගිම් නැතිවන්නා සේ, ගොයම් දා ගෙන කුඹුරු සේන් හළ කලට වැට-කොටු නැතිවන්නා සේ, නියඟ තර කලට හෝ ආදියෙහි පැන් නැති වන්නා සේ, ත්‍රි හේතුක හෙයින් ඇති නුවණ පසු ව කලෙක දී ඇති වත ත් අකුශල කර්‍ම බලයකින් නුවණ නැති විය. එ සේ හෙයින් පදයෙන් වී නම් සතර පදයක් පමණ වූත් අකුරු ගණනින් වී නම් ගාථාව තමා වංශස්ථ වෘත්තයෙහි ගාථාව හෙයින් අටසාළිසක් පමණ වූත්-
“පදුමං යථා කොකනදං සුගන්ධං
පාතො සියා ඵුල්ලමවීතගන්ධං,
අඞ්ගීරසං පස්ස විරොචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”
යන ගාථාව සාර මසකිනු ත් උගත නො හෙන දෑ ය. කවර කල වුවත් නුවණ මඳ තැනට වෙහෙසෙන්ට පිළිවන් බව මුත් කවර කුමකුත් තෙලෙ උගන්ට බැරි සැටි ය.
මුන්දෑ මහණ වෙලා මෙසේ නුවණ නැතිවන්ට කාරණ කවරේද යත්:- මේ චුල්ලපන්ථක සාමණේරයන් දෑ කසුප් බුදුන් සමයෙහි මහණව මහා නුවණැති ව නුවණ මඳ නමෙක් පාළි උගන්නා නියාව අසා සමහර නුවණැති කෙනකුන්ට ඇති නුවණ නිසා මී හං වලින් දුනුකේ ගස් නැගෙන්නා සේ දී ලාපු තැනින් හී තණ නැගෙන්නා සේ, තල මුරුවට ලූ තැනින් හත් තන ගස් නැගෙන්නා සේ, එබඳු උද්දාම ගුණයක් ඇතිවන හෙයින් අන්ධ ගතික නම් ලජ්ජා වන තරම් ව සිනාසී වේසා ලූ දෑය. ඒ නම ත් කරමින් සිටි අකුරු වේසීම නිසා තබා පී සේක. ඒ අකුශල ය ද අවසරයක් බලා ඇවිදින්නේ මේ තැනට සම්භව ගොසින් නුවණ නැති කරවාපී ය. එ සේ හෙයින් ගාථාව උගන්නා ගමනේ මුල පද ය ඉගෙන දෙවන පදයට ගිය කල මුල පද ය සලකුණු නැති වෙයි. තුන් වන පදයට ගිය කල දෙවන පදය සලකුණු නැති වෙයි. සතර වන පදයට ගිය කල තුන්වන පදය සලකුණු නැති වෙයි. පෙරළා මුල පදයට යන කල සතර පදය ම සලකුණු නැති වෙයි. මෙ ලෙසින් එක ගාථා උගන්ට සාර මසක් ගියේ ය.
මහා පන්ථක තෙරුන් වහන්සේද ගාථාව පමණකු ත් මලණුවන් වහන්සේට උගන්වා නොහී එක ගාථාව සාර මසකින් උගත නො හෙන තෙපි ලක්‍ෂ ගණන් පමණ වූ තෙවළා බුදු වදන් කෙතෙක් කලිනු ත් උගත හෙවු ද? හෙම්බා, මේ ග්‍රන්ථ ධුර පූරණ ය නම් පද වසයෙන් සැට දහසක් පද හෝ ගාථා වසයෙන් ගාථා පසළොස් දහසක් එක ශ්‍රැතීන් ධරන්ට සමර්ථ වූ අනඳ මහ තෙරුන් වහන්සේ සේ ම මහා නුවණැති තෙනට මුත් බැරි ය. ප්‍රතිපත්තියට ත් ප්‍රති වේධයට ත් මූල කාරණ වූ පර්යාප්තිය උගත නො හෙන කල පිළිවෙත් පුරන්නේ ත් කෙසේද? පිළිවෙතින් ලද මනා මාර්‍ග ඵල උපදවන්නේ ත් කෙසේ ද? ඒ හැම නැති කල ශාසනයේ රඳා ත් ප්‍රයෝජන කවරේ ද? ශාසනයෙන් යව’යි වදාළ සේක. උන් වහන්සේ ද ශාසනයෙහි ඇලු ම් ඇති බැවින් බෑණන් වහන්සේ එලෙස කීව ත් යන්ට මැළි සේක.
එ කල මහා පන්ථක තෙරුන් වහන්සේ වෙහෙරට ගෙනවුත් දුන් බත් හැම තෙනට බෙදා දෙන සේක. අභය රාජ කුමාරයන් විසින් වඩා වර්ධනය කරණ ලද ජීවකයෝ පිදිය යුතු සුවඳ මල් ආදිය ගෙන්වා ගෙන තමන්ගේ අඹ උයන වැඩ හුන් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැඳ පුදා සදහම් අසා ගෙන මහාපන්ථක තෙරුන් වහන්සේ කරා ගොසින් බුදුන් ලඟ වහන් දෑ කෙතෙක් දෙනා වහන්සේ දැ යි විචාරා පන්සියයක් දෙනා වහන්සේ යැ යි කී කල්හි ‘සෙට, ස්වාමීනි, බුදු පාමොක් සහ පන්සියය හැරගෙන අපගේ මාළිගාවට සිඟා වඩනේ යහපතැ’යි කිවු ය. ‘උපාසකයෙනි, චුල්ලපන්ථකයන් නුවණ මඳ හෙයින් ශාසනයට යෝග්‍ය නොවන්නා උන් හැර සෙසු තැනට කළ ආරාධනා ඉවසම්හ’යි වදාළ සේක.
චුල්ලපන්ථක හෙරණු දෑ ද ඒ අසා ‘අපගේ බෑණන් වහන්සේ මෙ තෙක් දෙනා වහන්සේට කළ ආරාධනාව මා හැර ඉවසන සේක. එ සේ වන්නේ මා කෙරෙහි සිත බිඳී තිබෙන හෙයින. බෑණන් වහන්සේගේ අදහස් පමණකුත් පසුබැස තිබෙන කල ශාසනයෙහි රැඳීමෙන් ප්‍රයෝජන කිම්ද? ශාසනික ව කටයුතු වූ ශීල සංරක්‍ෂණ ය බැරි වුවත් ගිහි ව දානාදී වූ පින්කම් කෙරෙමි සිතා හරනට සිතන සිවුරුත් පින් කමෙහි ම යොද දෙවන දවස් උදාසන ම සිවුරු හරනට නික්මුණු සේක.
බුදුහු ද දවස් පතා දොළොස් කෙළ ලක්‍ෂයක් අර්හත් ඵල සමාපත්තියට හා දොළොස්කෙළ ලක්‍ෂයක් මහාකරුණා සමාපත්ති යට හා සම වදනා හෙයින් දවස මුළුල්ලෙන් කැටි ව සූවිසි කෙළ ලක්‍ෂයක් පමණ සමවතින් නැගී අලුයම ලොව බලන සේක් මේ කාරණ ය දැක පළමු කොට ම වැඩ චුල්ලපන්ථක හෙරණුන් දෑ සිවුරු හරනට නික්මුණු මඟ දොරටුව කෙරේ සක්මන් කොට වැඩ සිටි සේක. චුල්ලපන්ථක හෙරණුදෑ ද බුදුන් දැකලා සිවුරු හැරීමට බලවත් බාධා හෙයින් ගොසින් බුදුන් වැඳලා සිටි සේක. බුදු රජුන් වහන්සේ නො දත් බඳුව වලා ‘හැයි, චුල්ල පන්ථකයෙනි, සිඟා යන වේලකුත් නො වත් අරාධනා ත් ඇත. මේ වේලේ කොයි යවු දැ’යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, අප ගේ බෑණන් වහන්සේ ශාසනයෙන් නෙරනා හෙයින් සිවුරු භරනට නික්මුණු නියා ය’යි වදාළ සේක.
ඒ අසා බුදුහු ‘හැයි, චුල්ලපන්ථකයෙනි, තොපගේ මහණ වීම කවුරුන් මහණ කළ ත් මා මුල් ව වුව. ශාසනය ත් මාගේ බව මුත් තොපගේ බෑණන්ගේ නොව ත් උන්ගේ කීමෙන් මාගේ කීමක් නැති ව තොප යන්නේ හැයි ද? ශක්‍ර සම්පත්තීන් බ්‍රහ්ම සම්පත්තීන් පිරිහෙන්නා සේ සිවුරු හැරීමෙන් ප්‍රයෝජන නැත. එක් බමුණකු තමාගේ දුව සරණ දෙන ගමනේ වෙළෙඹියන් වෙහෙසන්ට කියා ලූ බස බස් කොට සිතා ගෙන අනුන් නො පැළඳි මල් පළඳවන්ට සිතා කිසි කලෙක ත් නැති ව තිබෙන දිඹුල් මල් සොයා ඇවිද ආයාස ගත් කල බුදුන් නූපන් කලෙක නැති ව තිබෙන බව මුත් බුදුන් ඇති සමයේ ඇති ව තිබෙන නිවන් නිසා ගන්නා ආයාස ය යහපත් බැවින් උන් ළඟ රඳන්ට බැරි වුව ත් තෙපි මා ළඟ රඳව. උගන්වා ලන ක්‍රම නො දැන එක ගාථාව සාර මසකින් උගන්වා ගත නුහුණුවා මම අද පෙර වරු ඇතුළත තෙවළා බුදු වදන් උගන්වා ගත නොහිණිම් නම් එ දා යා නො හැකි ද? තෙපි රඳව යි මොළොක් බසු ත් වදාරා ලා බස මොළොකට නොඅඩු ඉතා මොළකැටි අතින් උන් වහන්සේගේ හිස ත් පිරිමැඳ කැඳවා ගෙන ගොසින් ගඳ කිළි පෙර මාලේ නිවන් පුර යන්ට ආදියෙන් යන ගමනේ නැඟෙනහිරට මූණ ලා හිඳුවා ලා අතිශුභ්‍ර වූ කඩ සිහිත්තක් මවා ලා “චුල්ලපන්ථකයෙනි, තෙපි තෙල කඩරෙද්ද අල්වා ගෙන හිඳ ‘රජොහරණං’ යන විචරක් කියව’යි මුදු මලක් හා සමාන සුදු කඩරෙද්ද දෙවා ලා සිඟා වඩනට කල්වූ කල්හි මහණ ගණ පිරිවරා ජීවකයන්ගේ මාළිගාවට වැඩ පනවන ලද බුදු හස්නෙහි වැඩ හුන් සේක.
චුල්ලපන්ථක හෙරණුන්දෑ ද සසුන් අදහස රහත් මඟ නුවණ ආලෝක පතුරුවමින් පහළ වීමට කාරණ ව නැඟෙන හිරට මූණ ලා හිඳ කඩරෙද්ද පිරිමැඳ මැඳ චාරිත්‍රානුකූල කොට වදාළ රජොහරණ භාවනාවට පටන් ගත් සේක. පිරිමඳිමින් හින්ද දී ම ඩාදිය වැද ගෙන කඩ රෙද්ද කිලුටු විය. හෙරණුන්දෑ ද සිතන දෑ ‘දුක් පත් වුවත් ජාතිමතුන්ගේ ජාතිය යහපත් සේ මේ තමා රෙදි වුව ත් පෑයෙන් යහපත් ව තිබී මේ කුණු අත් බැව නිසා ආදි ලෙස හැර අනික් ලෙසට පැමිණියේ ය. ප්‍රත්‍යයසමුත්පන්නය නම් කවරේ වුව ත් මෙ තෙක් ම ය යි
භාවනාවට පටන් ගත් සේක.
බුදුහු චුල්ල පන්ථකයන්ගේ සිත විවසුන් වැඩීමට පැමිණි ය යි දැන වදාරා අවශ්‍ය කට යුත්තකට මිනිසුන් යවා නිහඬ නැති හෙයින් තමා ම යන්නා සේ ශරීරයෙන් රස්කඳක් උන්වහන්සේ වැඩ හුන් තෙනට විහිදුවා තමන් වහන්සේ ම වැඩියා කොට හඟවා ‘හෙම්බා, චුල්ලපන්ථකයෙනි, තෙපි මේ කඩ රෙද්ද පමණක් කිලුටු වූවා කොට නො සිතව. තොපගේ සිත් සතන රාගාදී වූ කසළ බෙහෙව. රජ ය’යි කියා ධූලි පමණකට නම් නො වෙයි. රාග ද්වේෂ, මොහ තුනට ත් නම් මය. යම් කෙනෙක් ඇඟ වැද ගත් ධූලි සෝධා පී කලට නිකසළයෝ ද, එ මෙන් ම සන්තානවර්ති වූ කෙලෙස් ඩා කුණු මාර්‍ග ඥාන ජලයෙන් සෝධා පූ නම් බුදු සස්නෙහි නිකසළ ව වසන්නාහු යයි මේ අර්ථ ය හඟවා -
“රාගො රජො න ච පන රෙණු වුච්චති,
රාගස්සෙතං අධිවචනං රජොති;
එතං රජං විප්පජහිත්‍ව භික්ඛවො,
විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
දොසො රජො න ච පන රෙණු වුච්චති,
දොසස්සෙතං අධිවචනං රජොති;
එතං රජං විප්පජහිත්‍ව භික්ඛවො,
විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
මොහො රජො න ච පන රෙණු වුච්චති,
මොහස්සෙතං අධිවචනං රජොති;
එතං රජං විප්පජහිත්‍ව භික්ඛවො,
විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.”
යන ගාථා තුන වදාළ සේක. ගාථා කෙළවර දෝ හෝ නො හොත් ගාථා වදාරා අන්තයෙහි එක ගාථාව සාර මසකිනු ත් උගන්ට නැති නුවණ තෙවලා බුදු වදන් දිවග ලෙළෙන සේ වන පොත් වන තරම් නුවණත් ඇති ව, සිවුපිළිසිඹියා පත් රහත් වීමෙන් චුල්ලපන්ථක තෙරුන් වහන්සේ අසූ මහ සවුවන් වහන්සේට ඇතුළත් වූ සේක.
මෙ සේ උදවු වුව භාවනා වැටහෙන්ට ත් රහත් වන්ට ත් හේතු කවරේ ද යත්:- මුන් වහන්සේ පෙර එක් සමයෙක රජ ව ඉපැද නුවර පැදකුණු කරණ ගමනේ නළලින් ඩා වැගිරෙන හෙයින් සළු පටින් නළල පිස පී සේක. සළුව දැළි වස්නක් සේ කිලුටු විය. ඒ දැක ‘මේ කුණු ශරීරයක් නිසා මෙ සේ වූ සළුව මෙ ලෙස විය. අනිස-දුක-අනතැ යි අනිත්‍යතාව සිතට නැඟූ සේක. ඒ භාවනාව ම හළු යට සැඟ වී තුබූ ගිනි හඟුරක් හළු ඉවත් ව පෙරළා ත් ගිනි ඇති වීමට කාරණ වන්නා සේ දැනු ත් රහත් වීමට කාරණ වි ය.
ජීවකයෝද බුදුන්ට දක්ෂිණොදකය එළවා ලූහ. බුදුහු ‘හැ යි ජීවකයෙනි, වෙහෙර සඟහු ඇත්තෝ වෙත් දැ’යි වදාරා අතින් පාත්‍රය වසා ගත් සේක. එ වේලෙහි මහා පන්ථක තෙරුන් වහන්සේ මලණුවන් වහන්සේ සිවුරු හරනට ගිය ගමනේ කාරණ නමැති නකත් නැති හෙයින් විහාරයේ රැඳුණු නියාවත් සිවුරු නො හළ නියාව ත් ආවර්ජන ය නොකළ හෙයින් නො දැන වෙහෙර වහන්දෑ නැති සේක් වේ දැ’යි කී සේක. බුදුහු අසාත් ‘ඇත, ජීවකයෙනි’යි වදාළ සේක. ජීවකයෝ එවිට එක් කෙනකුන් බණවා ලා ‘වෙහෙර වහන්දෑ ඇති නැති නියාව විමසා එව’යි කිවුය. එ වේලෙහි චුල්ලපන්ථක තෙරුන් වහන්සේ ‛බුදුන් වෙහෙර වහන්දෑ ඇතැ’යි වදාළ ත් තමන් වහන්සේ සලකා නො බලා වෙහෙර වහන්දෑ නැතැ යි අපගේ බෑණන් වහන්සේ වදාළ සේක. බෑණන් වහන්සේ වදාළ ලෙසට නැති ලෙසක් නො හඟවා බුදුන් වදාළ ලෙසින් ඇති නියාව හඟවමි’යි:-
‘සහස්සක්ඛත්තුමත්තානං - නිම්මිනිත්‍වාන පන්ථකො,
නිසීදි අම්බවනෙ රම්මෙ - යාවකාලප්පවෙදනා.’
යනු හෙයින් සඟ දහසක් මවා සියලු අඹ උයන වහන්දෑගෙන් පුරා ලූ සේක. ඉන් සමහර තැන් සිවුරු ගෙත්තම් කරණ සේක. සමහර තැන් පඬු කකාරා සිවුරු රඳන සේක. සමහර තැන් හදාරන සේක. ඒ ගිය තැනැත්තෝ ද වෙහෙර රැස් ව හුන් බොහෝ වහන්දෑ දැක ගොසින් වෙහෙර බොහෝ වහන්දෑ වැඩ උන් නියාව ජීවකයන්ට කිවු ය. ඉක් බිත්තෙන් බුදුහු වෙහෙරට ගිය තැනැත්තවුන් ම බණවා ලා චුල්ලපන්ථක තෙරුන් වහන්සේගේ සෘද්ධ්‍යානුභාවය පහළ කරන්ට ‘චුල්ලපන්ථකයන්ට අප කැඳ වූ නියාව කියව’යි වදාළ සේක. උයි ත් ගොසින් ‘බුදුහු වුල්ලපන්ථක ස්වාමීන් කැඳවා එවූ සේකැ’යි කිවු ය. උන් වහන්සේ ගේ ම ඍධ්‍යානුභාවය හෙයින් ‘අපි චුල්ලපන්ථක යම්හ’යි දහසක් දෙනා වහන්සේ ම බැණ නැඟී සේක. ගිය තැනැත්තෝ ද පෙරළා ගොසින් හැම තැනම චුල්ලපන්ථක නම් සේකැ’යි බුදුන්ට දැන් වූ හ.
‘එසේ වී නම් තොපි.ගොසින් පළමු කොට යම් කෙනෙක් මම චුල්ලපන්ථක යෙමි’යි කිවු නම් උන් අත අල්වා ගනුව. සෙස්සෝ අතුරුදන් වෙති’යි වදාළ සේක. උයි ත් එ ලෙස ම කළහ. සඟ දහස ම අතුරුදන් වූ සේක. චුල්ලපන්ථක තෙරුන් වහන්සේ ගිය තැනැත්තවුන් ලා කැටි ව වැඩි සේක. බුදුහු වළඳා අන්තයෙහි ජීවකයන් බණවා ලා ‘ජීවකයෙනි, අනුමෙවෙනි බණට චුල්ලපන්ථකයන් ආරාධනා කරව. ඌ බණ කියති’යි වදාළ සේක. ජීවකයෝත් ඔබට ම ආරාධනා කළහ. ඔබ ද සිංහනාද කරණ සිංහ පැටවක්හු මෙන් පෙරවරු පමණෙක උගත් ධර්‍ම ය, බොහෝ නියාව හඟවා බොහෝ බණ වදාළ සේක.
බුදුහු හුනස්නෙන් නැඟී සඟ ගණ පිරිවරා වෙහෙරට වැඩ ගඳ කිළි කෙළවර පෙර මාලේ වැඩ සිට භික්ෂූන් වහන්සේට සුගතෝවාද දී කමටහනු ත් වදාරා ඒ ඒ තැනට යවා වදාරා නො එක් සුවඳින් සුවඳ ගන්වන ලද ගඳ කිළියට වැඩ දකුණැලයෙන් සැතපී වදාළ සේක.
ඉක්බිත්තෙන් සවස් වේලාවේ වහන්දෑ ද අවුත් රැස් ව රත් පළසකින් කළ තිරයක් අදනා කලක් පරිද්දෙන් ධම් සෙබෙහි වැඩ හිඳ බුදුන්ගේ ගුණ කථාවට පටන් ගත් සේක. ‘ඇවැත්නි, මහා පන්ථක තෙරුන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේගේ අදහස් පමණකුත් දැන ගත නො හී එක ගාථාව සාර මසක් විචරකිනු ත් උගත නො හෙති යි නුවණ නැත්තෝ ය යි විහාරයෙන් නෙරපී සේක. බුදුහු තමන් වහන්සේ නෙරිය මනා කෙනකුන් මුත් නො නෙරිය මනාවුන් දන්නා හෙයින් පෙර වරු ඇතුළත සිවු පිළිසිඹියා පත් රහත් කැරවූ සේක. සිවුපිළිසිඹියා පත් එවා ලීමෙන් ම තෙවළා බුදු වදනු ත් පෙරවරුයෙන් ම උගන්වා ලූ සේක. අනේ සර්වඥවරයන්ගේ තරමක් ඉතා බලවත් නියා ය’යි කී සේක. බුදුහු ධම් සෙබෙහි පැවැති මේ කථාව දිව කනින් අසා වදාරා මා ඔබ යාම යුතු යයි බුද්ධ සෙය්‍යාවෙන් නැඟී අලතාපිඬෙක නැඟී පබළු දළුවක් වැනි ව ඉතා රතු වූ හඳනා සිවුර තිමඬුලු වසා වැලැඳ රන් පර්‍වතයක් විදුලියකින් වෙළනා කලක් මෙන් පටි දා බැඳ මහ මෙර රත්වලාවෙකින් වසන කලක් පරිද්දෙන් සුගත් පවුල් සිවුරු පෙර ව, ගඳකිළියෙන් නික්ම උතුම් වූ මතැතක්හුගේ දෝ හෝ නොහොත් සිංහරාජයකුගේ ගමන් බඳු වූ ලීලොපෙත ගමනින් හා නො එක් බුද්ධානුභාවයෙන් යුක්ත ව ධම් සබයට වැඩ නො එක් ලෙසින් සදන ලද වට මළු මධ්‍යයෙහි පනවන ලද බුදුහස්නට නැගී සවනක් රස් විහිදවීමෙන් මුහුදු කුස අළලමින් යුගඳුරු මුදුනෙහි වොරජනා ළහිරු මඬලක් මෙන් වැඩ හුන් සේක.
බුදුන් එ තැනට වඩනා ම බුදු වන දවස් මූද රළ නැති වුවා සේම වහන්දෑගේ කථාවත් තිබිණ. බුදුහු ත් කරුණාවෙන් මොළොක් සිතින් වැඩ හුන් සඟ පිරිස බලා පියා ‘මේ පිරිස ද රන් නැවක් මැඳි කොට පිපී වැනී ගිය රත්නෙළුම් වනයක් සේ ඉතා හොබති. එක කෙනකුන්ගේ ත් අත සොලවා ලීමෙක් වේව යි පය සොලවා ලීමෙක් වේව යි කැස පීමෙක් වේව යි නැත. හැම දෙන මාගේ තෙදින් හැකිළ හිඳිති. මාගේ බුද්ධානුභාවයෙන් මුන්ගේ ගුණානුභාව ය වැසිණ. මම ආයුඃ කල්ප ය මුළුල්ලෙහි ත් බසක් බැණ නො නැඟෙම් නම් පළමු කොට කථාවක් උපදවා ලන කෙනෙක් නැත. නිවනටත් මා ම පළමු වූවා සේ බණ කීමට ත් මා ම පළමු වූවා සේ කථාවට ත් මම් ම පළමු වෙමි’යි සිතා වදාරා බ්‍රහ්ම නාද ය සේ මනහර වූ කට හඬින් වහන්දෑ බණවාලා ‘මහණෙනි, මෙ තැනට මා එන්නාට පළමු කුමන කථාවක් කොට කොට හුනු දැ යි අඩාළ ව තුබුයේ කවර කථාවෙක් නිමවා දී ලන්ට ය’යි වදාරා චුල්ල පන්ථක තෙරුන් වහන්සේ පිළිබඳ කථාව නියාව කී කල්හි ‘මහණෙනි, චුල්ල පන්ථකයන් නුවණ නැති වූයේත් උන්ටමා පිහිට වූයේ ත් දැන් මතු නො වෙයි. යට ගිය දවස ත් මෙයට ත් වඩා නුවණ නැති වූ ය. දැන් ලොවුතුරා සැපතට හිමි කෙළෙමි. පෙර ලොවි සැපතට හිමි කෙළෙමි’ වදාරා ඒ කට යුත්ත විස්තර කොට අසනු කැමැති වහන්දෑගේ ආරාධනාවෙන් ඉකුත් වත් ගෙන හැර දක්වන සේක්:
යට ගිය දවස බරණැස වසන එක් කුල දරුවාණ කෙනෙක් ශිල්ප උගන්නා නිසා තක්සලා නුවර ගොසින් සිල්ප උගන්වන්නා වූ ගුරුන්ට මිළයක් දීලා ශිල්ප උගන්ට තමන් බල නැති හෙයින් ගුරුන්ට දාවල් දවස මෙහෙවර කොට ලා ලද ලද අවසරයෙහි ශිල්ප උගණිති. ආචාරීන්ට මෙහෙයෙන් උපකාරී කම මහත. මෙහෙයට උපදෙස් මුත් ශිල්පයට නුවණ නැති හෙයින් ශිල්ප උගත නොහෙති. ආචාරීහු ද මූ මට හිත පක්‍ෂයෝ ය. මාගේ හිත කමුත් පෙනෙන්නෙ ශිල්පයක් උගන් වාලූවෝතිනැ’යි. බොහෝ උත්සාහ කොටත් උගන්වා ගත නො හෙති. උයි ත් බොහෝ දවස් වැස පියා කිසි දෙයකුත් උගත නො හී මුසුප්පු ව පියා යෙමි’ කියා ආචාරීන්ට කිවු ය.
ආචාරීන් කිසිවක් උගන්වා ගත නුහුණු හෙයින් තුමූ ත් මුසුප්පු ව පියා ‘අවශ්‍යයෙන් මුන්ට මා පිහිටක් වන්ට වුව මැනැවැ’ යි ලුහුඬු කොට මන්ත්‍රයක් බැඳ ලා වලට කැඳවා ගෙන ගොසින් ‘ගැසිණ, ගැසිණ, කුමක් නිසා සැලෙයි ද? මම වැළි ත් තා දනිමි. යන මේ මන්ත්‍රය උගන්වා ලා නො එක් වාරයෙහි ආසෙවන ය කරවා වන පොත් දැ යි විචාරා ‘එසේ ය, වන පොතැ’යි කී කල්හි නුවණ නැත්තවුන් උත්සාහයෙන් උගත් දෙය වන පොත් නො හැරෙන්නේ ය’යි සිතා මඟට සාලක් බතකුත් ලවා ලා “යව, ගොසින් තෙල මන්ත්‍රයෙහි ආනුභාවයෙන් රැකෙව. වන පොත් නො වැගිරෙන්ට එක් වන් ‘පිරිවාව’යි විධාන කොට ලා යවූහ. උන් බරණැසට ගිය කල ම පුතු ශිල්ප ඉගෙන අවු ය යි මෑණියෝ බොහෝ සාද කොළෝ ය.
එ කල බරණැස් රජ්ජුරුවෝ තමන්ගේ නො මැදහත් කමෙක් ඇද්දෝ හෝ යි පරීක්‍ෂා කරන්නෝ කිසිත් අඩුවක් නොදැක ‘තමාගේ වරද තමාට නො දැනෙයි. දැනෙන්නේ අනුන්ට ය. නුවර විමසමී’ සිතා අප්‍රසිද්ධ සැටියෙකින් නික්ම “බත් කාලා වැද හෙව, මිනිසුන් කරණ කථා අසමි. ඉදින් අධර්මිෂ්ඨයෙන් රාජ්ජය කෙරෙම් නම් ‘රජ්ජුරු කෙනකුන්ගේ අධර්මිෂ්ඨ කමෙක. බොහෝ ගහට වුණුම්හ’යි නුගුණ කියති. ඉදින් දැහැමින් රජ ය කෙරෙම් නම් ‘අනේ අපගේ රජ්ජුරුවන් වහන්සේට ආයු බොහෝ වන සේක්ව’යි කියා ආ වඩති. ඒ මා දත මනා වේදැ’යි ඒ ඒ දෙනාගේ බිතක් කන්වල ඇවිද කියන බණන කථා අසති.
ඒ වේලාවට උමං සොරු ගෙය දෙකකට මැදින් එක උමගින් දෙ ගෙට ම වැද්ද හැකි කොට උමං බිඳිති. රජ්ජුරුවෝ උන් දැක මුවා ව ලා සිටියෝ ය. උන් උමඟ බිඳ පියා ගෙට වැද බඩු සමන්වන[5] කල මන්ත්‍ර ය ඉගෙන ආ තැනැත්තෝ පිබිද පියා ‘ගැසෙවුණ,[6] ගැසෙවුණ, කුමක් නිසා ගැසෙවු ද? කෙ සේ සඟවා කළත් මම තොප දනිමී’ යන මන්ත්‍ර ය පිරිවාති, සොරුද ඒ අසා ‘මූ අප දත්හ. වූයේ විකාශයෙකැ’යි මන්ත්‍රය දන්නා තැනැත්තෝ මන්ත්‍රයෙහි අර්ථ ය දනිත්ව යි නො දනිත්ව යි තුමූ මන්ත්‍රයෙහි අර්ථ ය සොයා සොර කම් දත්තා සේ ම දැන ගෙන ඇඳ ගෙන ආ පිළි පමණකු ත් දමා පියා ඉස් ලූ අත ගියහ. රජ්ජුරුවෝ එ ගෙන් කිසිවකුත් නො ගෙන සොරුන් යන්නවුන් දැක සොරුන් හසු කරන්නට නො නවත ත් මන්ත්‍ර ය පිරිවූ නියාවත් අසා මන්ත්‍රයෙහි අර්ථ තමන්ට හැඟුණු හෙයින් නුවර ත් විමසා නිමවා පියා රජ ගෙට ම ගියහ. රාත්‍රි ය පාන් වූ කල්හි එකකු කැඳවා ලා ‘අසවල් වීථියේ යම් ගෙයකට උමගෙක් බිඳලා තුබූ යේ ද, ඒ ගෙයි තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන ආ එකෙක් ඇත. ඌ කැඳවා ගෙන එව’යි කියා විධාන කොළෝ ය. එයි ත් ගොසින් රජ්ජුරුවන් වහන්සේ කැඳ වූ සේකැ’යි කියා ලා කැඳවා ගෙන ගියේ ය.
රජ්ජුරුවෝ උන් දැක ‘තෙපි තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන අවුදැ’යි විචාරා ‘එසේ ය’යි කී කල්හි ‘අපට ත් ඒ ශිල්ප ය දෙව’යි කිවු ය. ‘යහපත, සරි හස්නෙක හිඳ උගත මැනැවැ’යි සැඩොල් ව උපන් බෝසතුන් සොරා අඹ කඩන්ට රජ්ජුරුවන්ගේ මඟුල් උයන අඹ ගසකට නැඟී අඹ කඩමින් සිට රජ්ජුරුවන් සල වට මත්තෙහි හිඳ පුරෝහිතයන් බිම හිඳුවා ලා ශිල්ප උගන්නා දැක ඒ අධර්‍ම ය ඉවසා ගත නොහී සොර කම ත් ප්‍රකාශ කොට ගසින් බිමට පැන පියා රජ්ජුරුවන්ට කී බණ අසා දත්තා සේ කිවු ය.රජ්ජුරුවෝ ත් එ ලෙස ම කොට මන්ත්‍ර ය ඉගෙන ගෙන මේ ගුරු පූජා ය යි මසු දහසක් දුන්හ. මන්ත්‍රානුභාවයත් එ කලට විතරෙක් පෙනිණ.
එකල සෙනෙවිරද්දු රජ්ජුරුවන්ගේ අන්දම් තබන කර නැවෑමියාට අන්දම් තබන්නේ කවරදා දැ යි විචාරා සෙට හෝ අනික්දා ය යි කී කල්හි මසු දහසක් අත්ලස් කොට දීලා ‘මාගේ කටයුත්තෙක් ඇතැ’යි කිවු ය. ‘කුමක් දැ’යි විචාළ කල්හි ‘රජ්ජුරුවන් අන්දම් තබන ගමනේ කර ය යහපත් කොට අත පැස පියා බොටුව කපාපු නම් තෙපි සෙනෙවිරත් වව, මම රජ වෙමි’යි කිවු ය. උයි ත් ජාතීන් කුම් වුව ත් නපුරු අදහසින් සරි හෙයින් ගිවිස්සෝ ය. රජ්ජුරුවන් අන්දම් තබන දවස් සුවඳ පැනින් දැළි තෙමා පියා කර ය අත පැස පියා නළල් කෙළවර අල්වා ගෙන දැළි මඳක් කපා බහා ‘කරයේ කැපීම තව නපුර. එක විටින් ම බොටුවේ නහර කපා පියමි’යි නැවත ත් කරයේ මුවා ත් නඟ’යි. එ වේලේ රජ්ජුරුවෝ තමන් උගත් මන්ත්‍ර ය සලකුණු කොට පියා ‘සැලෙයින[7], සැලෙයින, කුමක් නිසා සැලෙයි ද? මම වැළි ත් දනිමි’ කිවු ය. ඒ කියන්නා ම කරනැවෑමියා ඇඟින් ඩා බිඳ ගෙන ලා රජ්ජුරුවන් වහන්සේ ත් අපගේ දුර්‍මන්ත්‍රණ ය දත් සේකැ’යි බා ගොසින් කර ය බිමට දමා පියා වැඳ ගෙන හොත්තේ ය.
රජ්ජුරුවන් නම් බොහෝ සේ පින් පමණ නුවණ හෙයින් ‘හැයි, කොල, මා රජ නියාව ත් නො දනී දැ’යි භය ගන්වා කියා ලූහ. එයිත් තරයේ භය ගෙන පියා ‘ස්වාමීනි, අභය දෙවුව මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ‘තෝ නො බා කියව’යි කිවු ය. අභ ය ඉල්වා ගැන්මෙන් භය නැති ව සෙනෙවිරදුන් අත්ලස් දුන් නියා ව ත් කළ කථාව ත් මුළුල්ල ම කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා ආචාරීන් නිසා දිවි ලදිමී සිතා, සෙනෙවිරදුන් ගෙන්වා ලා ‘හැයි, සෙනෙවිරදිනි, අපගෙන් තොප නො ලත් සංග්‍රහ කවරේද? ධර්මිෂ්ඨ ව රජකම් කරණ හෙයින් මම තොප නො මරවමි. මාගේ රට නො ඉඳුව’යි රටින් නෙරපියා ආචාරීන් ගෙන්වාගෙන ‘මුඹ නිසා දිවි ලදිමී. සෙනෙවිරදුන් කරනවෑමියාට නිළ කළ සෙනෙවිරත් පට ආචාරීන්ට දෙවා මහ පෙරහරින් සෙනෙවිරත් කළහ. ඒ සෙනෙවිරත් වූ තැනැත්තෝ දැන් චුල්ලපන්ථක තෙරහු ය. දිසා පාමොක් ආචාරී නම් මම ය.
‘එ සේ හෙයින් එ වක ත් මුන්ට පිහිට වීමී’යි වදාරා නැවත එක් දවසක් මේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේගේ කථාව පැවැති කල්හි තමන් වහන්සේ චුල්ල නම් සිටු ව උපන් කල්හි මුන් වහන්සේ චුල්ලන්තේවාසික ව තමන් වහන්සේගේ කථාවෙන් මළ මීයකු හැර ගෙන පිළි පිරිමසා තබා විකුණන්නවුන් බළලුන් ඇති කරණ හෙයින් බළලුන් ඇති ගෙයකට ඒ මීයා දීලා හූ මල් කෙන්දක් හැර ගෙන සරඬු අඹරා මූණු මල් ගොතා ගෙන ඒ දීලා උක් පැණි හැර ගෙන උක් පැණි ලා පැන් වත් කොට දීලා මාලා කාරීන්ගෙන් ඉද්ද මල් හැර ඒ දීලා දෙ තුන් මස්සක් හැර ගෙන ඒ දෙ තුන් මස්සෙනු ත් මල් හැර ගෙන ඉන් දස විසි මස්සක් හැර ගෙන යනාදීන් ක්‍රම ක්‍රමයෙන් දෙලක්‍ෂයක් විතර සම්පත් එක මීයා මුල් ව ලදින් කෙලවර සිටුතනතුරු ත් ලත් නියාව හහවමින් චුල්ලසෙට්ඨි ජාතකය වදාරා චුල්ලන්තෙවාසිකයා නම් චුල්ලපන්ථක තෙරුන් වහන්සේ නියාව වදාළ සේක.
නැවත එක් දවසක් මෙ ම කථාව උපන් කල්හි බණ වදාරන බුදුහු කසුප් බුදුන් සමයෙහි ලාබත් පාත්‍ර විස්සක් විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි දන් දී ඒ පින් කමින් දෙව් ලොව ඉපැද අපගේ බුදුන් දක්වා බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව සැපත් වළඳා අපගේ බුදුන් සමයෙහි වෙදෙහ රට සද්ධම්මකොස නම් නුවර සිටු කුලෙහි ඉපැද පුතුන් සත් දෙනකු හා දූන් සත් දෙනකු හා යේළීන් සත් දෙනකු ත් ඇති ව පොවන දෙනුන් සත් විසි දහසක් හා ගොන් තුන්දාසක් හා එක් ව ගෙරි සරක් තිස් දහසක් විතර ඇති ධනිය සිටාණන් මෙන් යම් කෙනෙක් තමන්ගේ සරක් සම්පතක් ඇති හෙයින් උන් බිය පත් ව රැක ගන්නා නිසා ලිහිණි ආදි වූ පක්ෂීන් ගස් අක්වල කදලු බඳනා නියා ත් කකුළුවන් දිය ගාවා බිල ඇස් වාලා ගොසින් ගොඩත බිල කරණ නියාවත් දැක ඒ තමා වැසි ලකුණු හෙයින් වතුරු ගහට නැති ගොඩ රටවල ගාල් ගස්වා සරකුන් රඳවා තුමූත් ගොඩරට ම රඳත් ද වළ රට හළුවා සේ අකුසල් හැර උන් ගොඩ රට පිහිටියා සේ කුසල්හි පිහිටා-
තව ද උන් පක්ෂීන් බිම්බා කදලු බඳිනා නියා ත් කකුළුවන් ගොඩත බිලවල් ඇස්වා දිය කෝල්බඩින් බිල තබන්නා නියාත් දැක, ඒ තමා නියන් ලකුණු හෙයින් විල් බඩ වැව් බඩ හෝ බඩ ගං බඩ ය යි ජලාශ්‍ර ය තැන ගාලු ත් ගස්වා සරක් එහි රඳවා තුමූ ත් පැන් ඇති තැනකට, ළං ව වෙසෙත් ද උන් ගොඩ තැන් හළුවා සේ අකුසල් හැර උන් පැන් ඇති තැන් ඇසිරු කළා සේ කුසල්හි පිහිටා උන් පස්ගෝ රස සුව සේ අනුභව කළා සේ පර්‍ය්‍යාප්ති සහිත වූ චතුර්විධ මාර්‍ග නමැති දෙනුන් පස් දෙනාගෙන් නිවන් සහිත වූ චතුර්විධ ඵල නැමැති පස්ගෝ රස යම් කෙනෙක් අනුභව කරණු කැමැත්තා වූ නම් ඌ වීර්‍ය්‍ය ඇති ව නො පමා ව පිරිසිදු සිල්හි පිහිටා එ බඳු පිළිවෙත් ඇති ව මුත් පිහිටක් නො ලද හැකි සසර මහ සයුරෙහි කෙලෙස් වතුරෙන් නො නස්නා වූ අර්හත් ඵල නමැති පිහිට කෙරෙති’යි වදාළ සේක. නුවණැත්තවුන් විසින් මිථ්‍යා ප්‍රතිපදාවෙන් දුරු ව සම්‍යක් ප්‍රතිපදාවෙහි පිහිටා චුල්ලපන්ථක තෙරුන් වහන්සේ සසර සයුරෙන් එතර වන්ට කළ පිහිට තමන් කටයුතු.