තව ද සසර පරතෙරට පැමිණියවුන්ට මුත් සෙස්සවුන්ට සංසාර මුක්ති ය නැති නියාව හඟවන්ට මාරයා ගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
ඒ මාරයා එක් දවසක් එක්තරා මිනිස් වෙසක් මවා ගෙන අවුත් උගුරට සොරා කන බෙහෙදක් සේ තමා නියාව නො හඟවන්ට සිතා ‘පාරාපාර’ ය යි කියති. ඒ කිම් දැ’යි බුදුන් අතින් විචාළහ. බුදුහු ත් මාරයා නියාව දැන ලා ‘පවිටු තැනැත්තව, දුශ්ශීලයන් ට පිළිවෙතින් ප්‍රයෝජන නැත්තා සේ තට ඉන් ප්‍රයෝජන කිම් දැ’ යි වදාරා ලා ඉන් ප්‍රයෝජන ඇත්තවුන්ට දක්වන සේක් ‘හෙම්බල පාර ය යි අධ්‍යාත්මික වූ චක්ෂුරාදී ෂඩායතන ය කියති. අපාර යයි බාහ්‍ය වූ රූපාදි ෂඩායතන ය කියති. ‘පාරාපාර ය’ යි ඒ දෙක එක් කොට කියති.
යම් කෙනකුන්ට මම යැයි කියා දෘෂ්ටිග්‍රාහ ය හෝ මාගේ ය යි කියා තෘෂ්ණා ග්‍රාහ ය හෝ නැත්නම් (ඒ) කෙලෙස් පීඩාවෙන් මිදී සිටියවුන්ට මම බාහිත පාපිත්වයෙන් බ්‍රාහ්මණ යයි කියමි. තා සේ වූවවුන් ඒ විතාරන්නේ හැයි දැ’යි වදාළ සේක. දේශනා කෙළවර බල්ලන් ගෙන හෙළා ලූ දඩ මස් දඩ ගියවුන්ට ප්‍රයෝජන වත් මුත් බල්ලන්ට ඉන් ප්‍රයෝජන නැත්තා සේ මාරයන්ට ඉන් ප්‍රයෝජනයක් නූවුව ත් සෙසු බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් මාරයා සේ කුසල්හි අච්ඡන්‍දික නොව සුචරිත පූරණයෙහි සෝත්සාහී ව තුන් සුසිරි පුරා අධිමුක්ති වූ ලෙසින් ත්‍රිවිධ බෝධින් එක්තරා බෝධියකට පැමිණිය යුතු.
_________