තව ද අෂ්ටාඞ්ගික මාර්‍ග ය නිවනට මං වුව ත් ශමථ-විදර්ශනා දෙක ඊට මං වන හෙයින් රුචිය උපදවනු නිසා බොහෝ වහන්දෑ ගේ වස්තුව කියමු.
කෙසේ ද යත් -
එක් දවසක් ඒ ඒ දිග වසන තිසක් පමණ වහන්දෑ අවුත් බුදුන් වැඳ ලා වැඩහුන් සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේද ඒ වහන්දෑ රහත් වන්ට නිසි පින් ඇති නියාව දැන තමන් වහන්සේ බුදුන් ළඟට ගොසින් ‘ස්වාමීනි, ධර්‍ම දෙකෙකැ යි කියති’ ඒ ධර්‍ම දෙක නම් කුමක් දැ’යි විචාළ සේක. ‘ශාරිපුත්‍රයෙනි, ධර්‍ම දෙක ය යි ශමථ-විදර්ශනාවට ම කියතී’ වදාරා ශමථ - විදර්ශනාවෙහි ප්‍රයෝජන දක්වන සේක් ‘යම් කෙනෙක් ශමථ-විදර්ශනා දෙක සාදා සිටියෝ වූ නම් එ සේ වූවන්ට ඇත් අස් ආදීන් බැඳ රඳවන දම් පරිද්දෙන් සත්‍වයන් සසර යොදන්ට සමර්ථ වූ කාම යෝගා දි වූ තත්මුඛයෙන් සව් කෙලෙස්හු නසිතී’ වදාළ සේක. දේශනා කෙළවර තිස් දෙනා වහන්සේ ම රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පළමු ශීල විශුද්ධි ය සපයා ගෙන ඉක්බිති ව ශමථ බලයෙන් උපචාර සමාධි–අර්පණා සමාධි ඉපැද වීමෙන් චිත්ත විශුද්ධිය ත් ඇති ව ලක්‍ෂණ රසාදී විසින් නාම රූප විභාග ය දැන්මෙන් දෘෂ්ටි විශුද්ධියත් උපදවා උන්ගේ ම පස පිරිගැන්මෙන් කාංක්‍ෂා විතරණ විශුද්ධියත් උපදවා ගෙන ඔබ්බේ විශුද්ධි තුන ත් උපදවන්ට උත්සාහ කටයුතු.