තවද වයස බාල වුවත් ගුණය මූකුරා තිබේ නම් එම ප්‍රයෝජන නියාව හඟවන්ට සුමන සාමණෙර වත දක්වමු.[1]
කෙ සේ ද යත්-
එහිලා මේ පිළිවෙළ කථාව ය. පියුමතුරා බුදුන් සමයෙහි එක කුල දරුවාණ කෙනෙක් බුදුන් සිවු වනක් පිරිස් මැද වැඩ හිඳ එක් භික්ෂු කෙනකුන් වහන්සේ දිවස් ඇති තැනට තමන් වහන්සේට ඉක්බිති කොට අග තැන තබන්නා දැක තුමූ ද එ සැපත් පතා පිනක් නො කොට ම ලද නො හැකි හෙයින් දානමය කුශලය ත් තදුපනිශ්‍රය හෙයින් බුදු පාමොක් සඟනට ආරාධනා කොට ලා සතියක් මුළුල්ලෙහි මහ දන් දී ‘ස්වාමීනි, මම ද එන දවස එක් බුදු කෙනකුන් වහන්සේගේ සස්නෙහි ඒ බුදුන් විනා සෙසු දිවස් ඇති තැනට උතුම් වෙම්ව’යි පැතූහ. පියුමතුරා බුදුහු ත් මහාශ්‍රාවක බොධි ය කප් ලක්‍ෂයකින් මුත් මෑත සම්භ නො වන හෙයින් අතුරෙක අධිගමයෙක් වේ නමුත් ය යි කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි බලන සේක් ප්‍රාර්ථනාව සමෘද්ධ වන නියාව දැන ‘මේ මා බුදු වූ කපට ලක්‍ෂයක් වන කප බුදු වන ගෞතම බුදුන් ගේ සස්නෙහි දිවස් ඇත්තවුන්ට අග්‍ර ව නමින් අනුරුද්ධ මහ තෙරහු ය යි ප්‍රසිද්ධ ව යි’ වදාළ සේක.
කුල දරුවාණෝ ද ඒ විවරණ ය අසා මිනිස් ලොවින් අනූ ලක්‍ෂයක් හවුරුදු පළමු වන නරකයට දවසක් වන්නා සේ ලක්‍ෂයක් වන කප යයි වදාරා ලා සෙට දවස් වන දෙයක් සේ සිතා ගෙන ඒ බුදුහු හවුරුදු ලක්‍ෂයක් විචරින් කළ මනා බුද්ධ කෘත්‍යයන් නිමවා පිරිනිවි කල්හි වහන්දෑ අතින් දිවස් ලැබීමට නිසි පින්කම් විචාරා ‘පාන් පූජා කිරීම ආවේණික පිනැ’යි කී කල්හි පියුමතුරා බුදුන් ගේ ධාතු වඩා කළ අට විසි ගවුවක් විචර උස ඇති රන් දා ගබ බට නො එක් දහස් ගණන් පාන් ඇගැ අරංගු ආදිය කරවා ලා පාන් පූජා කර ලා එයින් සැව දෙව් ලොව ඉපැද දෙව් ලොවින් කැටි ව මිනිස් ලොවින් කැටිව කප් ලක්‍ෂය ගෙවා බුදුවරුන් වහන්සේ පස් නමකින් හෙබියා වූ මේ භද්‍ර කල්පයෙහි එක්තරා අකුශල කර්‍ම බලයෙකින් බරණැස් නුවර දිළිඳු කුලයෙක ඉපැද සුමන නම් සිටාණන් නිසා උන්ගේ අසුන්ට තණ ගෙනවුත් ලා ලා ජීවත් වෙති. නමින් අන්නභාර නම්හ. සුමන සිටාණෝ ද එ නුවර දන් හල් සයක් කරවා ලා නිරන්තර ව මහ දන් දෙති.
ඉක් බිත්තෙන් එක් දවසක් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ ගඳ මහන් පව්වෙහි දී සතියක් මුළුල්ලෙහි නිරෝධ සමාපත්තියට සම වැද සමාපත්තීන් නැඟී අද කවුරුන්ට සංග්‍රහයක් කෙරෙම් දෝ හෝ’යි සිතා ‘අද අන්නභාරයන්ට සංග්‍රහයක් කෙළෙම් නම් යහපත. අද ම සංග්‍රහයක් කෙළෙම් නම් දිළිඳු කමු ත් හැරී මහ සම්පත් ලැබෙ යි. දැනු ත් ඒ තෙමේ වලින් තණ හැර ගෙන ගෙට එන්ට එ යි, දැන වදාරා සිවුරු වැළඳ ගෙන පාත්‍රය පටවා ගෙන අහසින් වැඩ අන්නභාරයන් ඉදිරියේ වැඩ සිටි සේක.
අන්නභාරයෝ ද තමන්ගේ කුශලානුභාවයෙන් දිළිඳු කමින් මුදන්ට පොළොව පළා ගෙන නැඟි කප් රුකක් වැනි වූ ඒ පසේ බුදුන් වහන්සේ දැක පාත්‍රයත් සිස් නියාව දැන ‘ස්වාමිනි, සිඟමන් උපන්දැ’යි විචාරා ‘මහ පිනැත්තව, ලබන්නමෝ වේ දැ’යි අනාගතාපේක්‍ෂාවෙන් වදාළ කල්හි ‘ස්වාමීනි, එසේ වී නම් මඳක් වැඩ සිටිනේ යහපතැ’ යි කියා ලා තණ කද බා තබා පියා වහා ගෙට ගොසින් ‘සොඳුර, උදවු බතෙක් ඇත් ද නැත් දැ’යි ඇඹේණියන් අතින් විචාරා ‘ස්වාමීනි, ඇතැ’යි කී කල්හි පෙරළා වහා පලා ගොසින් පසේ බුදුන් වහන්සේගේ පාත්‍ර ය ආරාධනා කොට ලා ඇර ගෙන ‘යම් දවසෙක දනක් දෙන්ට සිතීම් නම් එ දවස් දීලන්ට නිස්සක් සම්භ නොවෙයි. දී ලන්ට නිස්සක් සම්භ වූ කලට දන් පිළිගන්ට නිසි තැනක් ලද නොහෙමි. අද වූ කලි පිළිගන්ට නිසි කෙනකු ත් දොර නො ඇවිද ම සම්භ වූ සේක. පිළිගන්වාලන්ට නිස්සකු ත් ඇතිවි ය. මට වූයේ බලවත් ලාභ ය කැ’යි සිත සිතා ගෙට ගොසින් බත් පාත්‍රය පුරවා පියා ගෙන අවුත් පසේ බුදුන්ට පිළිගන්වා ලා “ස්වාමීනි, මේ ජාති ය පටන් මෙසේ වූ දිළිඳු කමෙකු ත් නොවේව’ යි, ‘නැතැ’යි යන බසක් ම නො අසම්ව”යි පතා ගත්හ. පසේ බුදුන්වහන්සේ ‘මහ පිනැතියාණෙනි, එසේ ම වේව” යි වදාරා ප්‍රත්‍යෙක බුද්ධ ගාථාවෙන් අනු මෙවුනි බණ ත් වදාරා ලා වැඩි සේක.
සුමන සිටාණන්ගේ සේසත වසන දේවතාවාණෝ උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට දුන් දන ඉතා යහපතැ’ යි තුන් විටක් සාධු කාර දුන්හ. සිටාණෝ තමන් දෙන දනට දුන් සාදු කාරයකැයි සිතා ‘මෙ තෙක් දවස් මා දෙන දන් නුදුටු දැ’යි විචාළෝ ය. ‘මා තොපගේ දන ක් අරභයා දුන් සාධු කාරයෙක් නො වෙයි. අන්නභාරයන් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට දුන් බත් පාත්‍රයෙහි පැහැද සාධුකාර දිනිමි” කීහ. සිටාණෝ ද ‘මා මෙ තෙක් කල් මුළුල්ලෙහි දන්දී ත් දෙවියන් ලවා සාධුකාර දෙවාලිය නුහුණුයෙමි. අන්නභාරයෝ ස්ව ප්‍රධාන වාසයක් නැති ව මා නිසා ජීවත් වන තැනැත්තෝ මෙ තෙක් දවසෙක දුන් දනක් නැත ත් ඒ අද එක දවස දුන් දනින්ම එයි ත් බෙහෝවක් නොව එක් බත් පාත්‍රයෙන් ම දෙවියන් ලවා සාධු කාර දෙවූහ. දෙවියන්ගෙන් සාධුකාර ලත් හෙයින් උන්ගේ දන වැඩි සිටි ය. උන්ට නිසි සංග්‍රහයක් කොට ලා ඒ බත් පාත්‍ර ය මා සන්තක කෙරෙමී’ යි සිතා ලා අන්නභාරයන් ගෙන්වා ලා ‘අද තොප කිසි තැනකට දුන් කිසිවක් ඇත් දැ’යි විචාළෝ ය.
‘එසේ ය. ‘ස්වාමීනි, මට ඉදි කළ බත් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට දිනිමි’ කීහ. ‘පින්වත, එසේ වී නම් තෙල කහවණුව ගෙන ඒ බත් පාත්‍ර ය මට දෙව’ යි කීහ. නො දෙමි” කී කල්හි ‘රන් මඳ හෙයින් නො දෙන වනැ’යි සිතා දෙ මස්සෙන් තුන් මස්සෙන්, දස කළඳින්, විසි කළඳින්, පනසින්, සැටින්, සීයෙන් වඩා ගෙන ගොසින් දහස දක්වා දෙමි’ කීහ. අන්නභාරයෝ ද දහසට වුව ත් විකුණන්ට සිතා කළ දෙයක් නො වන හෙයින් ‘නො දෙමී’ කීහ. සිටාණෝ ද උන්ගේ තර ය දැක ‘අප තරම් උපකාරී තැනට මසු දහස හැර ගෙන ත් බත් පාත්‍ර ය දී ලන්ට මැළි බැවින් ඒ දහස හැර ගෙන බත් පාත්‍රයෙහි පින් දෙව’යි කීහ. මිල හැර ගෙන පින් දී පී කලට පින් තමන්ට නැති ව සිටාණන්ටම වේ දැයි සිතා ගෙන ‘පසේ බුදුන් වහන්සේ ලා කථා කොට ලා පසු ව කියා ලමි කියා වහා ම පසේ බුදුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි, සුමන සිටාණෝ මසු දහසක් දී ලා මුඹ වහන්සේට දුන් බත් පාත්‍රයෙහි පින් ඉල්වති දෙම් ද, නො දෙම් දැ’ යි විචාළෝ ය.
ඔබ දෙන්ට ත් නො දෙන්ට ත් නො වදාරා පින් දුන්හ’යි කියා වඩනා දෙයක් මුත් අඩුවක් නැති නියාව හඟවන්ට උපමාවක් දක්වන සේක් ‘නුවණැත්තාණෙනි, ගෙවල් සියයක් ඇති ගමෙක එගම ගෙයක පානෙක් ඇවිළේ නම් සෙසු ගෙවල මිනිස්සු තමන්ගෙන් ම තෙල ගැලූ පාන් කඩ ගෙනවුත් අර පානින් පාන් අවුළුවා ගනිත් නම් පාන් කඩ එකුන් සියයකට ගියා වන්නා පළමු ඇවිළෙමින් සිටි පානේ ශෝභාව ඇත් ද නැත්දැ’යි විචාල සේක. ‘පාන් කඩවල තෙල් පාන් තුඩ ගැලි ලා ආදි විචරට වඩා ඒ පා නේ ශෝභාව බලවත් වන්නේ වේ දැ’යි කිවුය ‘එසේ කලට පළමු තුබූ පාන අර පාන්කඩ කරා නො යන නියා වේ දැ’යි වදාළ සේක.
‘එ සේය, ස්වාමීනි, කිවු ය. ‘එ සේ වී නම් නුවණැත්තාණෙනි, එ පරිද්දෙන් ම යම් කෙනෙක් වැඩියක් නො වතත් කැඳසාළුවක් පමණ වේව යි බත් සැන්දක් පමණ වේව යි දන් දී ලා ඉදින් යම් තාක් දෙනාට පින් දුන්නු නම් ඒ තාක් ම උන්ට පින් කමු ත් වඩ්ඩි. යම්තාක් තෙපි අපට බත් පාත්‍රයක් දුන්නාවා ද? ඒ පාත්‍රයෙහි පින් සිටාණන්ට දුන්නු නම් බත් පාත්‍ර දෙකෙක් වෙ යි. එකෙක් තොපට ය. එකෙක් සිටාණන්ට ය. එ හෙයින් පින් කෙතෙක් දෙනාට දුන් නමුත් ඊ අඩුවෙක් නැත. පින් දීම ත් දස පින් කිරිය වතින් එකෙකැ’යි වදාළ සේක.
උයි ත් උපමාව උගන්වා වදාළ හෙයින් තත්ත්‍ව ය දැන ගෙන පසේ බුදුන් වැඳ ලා සිටාණන් ළඟට ගොසින් ‘පින් හැර ගත මැනැව’යි කී හ. ‘එ සේ වී නම් තෙල මසු දහස ගනුව’යි කීහ. ‘මම බත් පාත්‍ර ය නො විකුණෙමි. සැදැයෙන් ම දෙමී’ කිවු ය. ‘තොපි තොප ගේ සැදෑයෙන් ම දෙව, මම ත් බත් පාත්‍රයට මිල කොට නො දෙමි. තොපගේ ගුණයට පූජා කෙරෙමි කෙ තෙක් මසුරන් දින් නමුත් තොපට සිද්ධ වූ කුශල ය මා කරා නැඟි නො එයි’ කියා ගිවිස්වා මසු දහසක් දීලා ‘මෙ වක් පටන් අපට කර්මාන්ත කිරීම නො කැමැත්තේ ය. තෙල වීථියෙහි ගෙයක් ඉදිකරවා ගෙන හිඳුව. තොපට යමක් වුවමනා වී නම් මාගෙන් ම හැර ගනුව’යි කිවු ය. නිරෝධ සමාපත්තීන් නැඟී තැනට දුන් දනේ විපාක එ දවස් ම පෙනෙ යි. එහෙයින් රජ්ජුරුවෝ ද එ පවත් අසා අන්නභාරයන් ගෙන්වා ලා පින් ඉල්වා ගෙන මහ සම්පත් දී ලා සිටු තනතුරුත් දුන්හ.
ඌ සුමන සිටාණන්ට සහාය ව ගෙන දිවි පමණින් පින්කම් කොට එයින් සැව දෙව් ලොව ඉපැද එ වක් පටන් අපගේ බුදුන් බුදු වන තෙක් දෙව්ලොව ත් මිනිස් ලොව ත් චුති ප්‍රතිසන්ධි වශයෙන් ඇවිදිනාහු අපගේ බුදුන් සමයෙහි කිඹුල්වත් නුවර අමිතොදන නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ ගෙයි පිළිසිඳ ගත්හ. අනුරුද්ධය යි කියා පියුමතුරා බුදුන් වදාළ නමම තුබූහ. ඒ අනුරුද්ධ කුමාරයෝ වැළි ත් මහානාම නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ බාල මලණුවෝ ය. සුද්ධෝදන රජ්ජුරුවන්ගේ මලණුවන් පුත් හෙයින් බුදුන්ට ත් මල් වන්නාහ. ඉතා සිවුමැල්ලහ. මහ පිනැත්තෝ ය.
එක් දවසක් භද්දිය කුමාරාදි වූ රාජ කුමාරවරුන් ස දෙනා කැවුමට ගිවිසලා ගුළකෙළි කෙළනාකල්හි අනුරුද්ධකුමාරයෝ පැරැද කැවුම් එවන්ට මවු බිසොවුන්ට කියා යවූහ. උයි ත් රන් තළියක් පුරා ලා කැවුම් යවූහ. එක්ව වැද හිඳ කැවුම් කා ලා තවත් කෙළනා ගමනේ අනුරුද්ධ කුමාරයෝ ම පැරැද ගොසින් තව ත් කැවුම් සොයා යවූහ. මෙ ලෙසින් පැරැද පියා තුන් වාරයක් ම කැවුම් ගෙන් වූ කලට සතර වැනි වාරයේ දී ගෙයි කැවුම් නැති හෙයින් නැතැ’යි කියා යවූහ. එ බස් අසා නැතැයි යන බසක් නොඇසූ විරු හෙයින් ඊ අර්‍ථ දැන ගත නො හී නැති කැවුමැ’යි යන දෙයක් ඇති නියා ය යි සිතා ගෙන ‘යව, ඒ නැති කැවුම් ගෙනෙව’යි යවූහ. ගිය තැනැත්තවුන් ‘නැති කැවුම් යවන්ට කී සේ කැ’යි කී කල්හි ‘ම පුතුන් උපන් වක් පටන් නැතැ යි යන බසක් ඇසූ විරූ නැත. එ සේ හෙයින් ඒ අර්ථ ය දත නුහුණු වුය. එබසෙහි අර්ථ කෙසේ හඟවම් දෝ හෝ” යි උපදෙසක් සිතා ගෙන රන් තළි ය. සෝධවා පියා ඇතුළෙහි කිසිවක් නැත ත් අනික් රන් තළියකින් වස්වා ‘තෙලෙ ගෙන ගොසින් ම පුතුන් ට දෙව’ යි කියා ලා යවූහ.
එ වේලාට නුවර රකවල සිටි දෙවියෝ ‘මේ ස්වාමි දරුවාණන් අන්නභාර නම් දුගී ව උපන් අවධියෙහි උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට දනක් දී ලා ‘නැතැ යි යන බසක් නො අසම්හ’යි පතා ගත. අපි ඒ දැන ත් උපෙක්‍ෂා වූ නම් නො මැදහත්කම නිසා අපගේ හිස් පැළිණ නමුත් නපුරැ යි” දිව කැවුමෙන් තළි ය පුරා ලූහ. තළි ය ගෙන ගොසින් රාජ කුමාරවරුන් ළඟ තබා ලා වසා ලූ තළි ය හැර පී ය. දිව කැවුමෙහි සුවඳ සියලු නුවර පැතිරිණ. කැවුම් කට තබා ලන්නා ම සත් දහසක් රස නහර පිනා සිට ගත. අනුරුද්ධ කුමාරයෝ කැවුමෙහි සුවඳ අසා ත් රස දන ත් ‘අපගේ මෑණියන් වහන්සේ මෙ තෙක් කලෙක මෙ තරම් කැවුමක් නො එවූ විරූ සේක. මා කෙරේ ළෙන් ගතු නැති නියාවනැ යිසිතා පියා ගෙට ගොසින් මවු බිසොවුන්ට ‘මෑණියන් වහන්ස, මා කෙරේ ලෙංගතු කමක් නැති නියා දැ’යි විචාරා ‘පුතණ්ඩ, කුමක් කියන්නේද? මාගේ ඇස් දෙකට ත් වඩා හෘදය මාංශයට ත් වඩා මුඹ ප්‍රිය වේ දැ’යි කිවු ය.
“මට මුඹ වහන්සේ ලෙංගතු කල මෙතෙක් කල් මුළුල්ලෙහි මෙ ‘නැති කවුම්’ නුදුන්නේ හැයි දැ”යි විචාළහ. බිසවුන් සිස් තළි ය ගෙන ගියවුන් අතින් ‘තළියෙහි කිසිවක් ඇත් දැ’යි විචාරා ‘එසේ ය, බිසවුන් වහන්ස, තළි ය කැවුමෙන් පිරිණැ’යි කී කල්හි බිසවු ‘ම පුතුන් මහ පිනැත්තෝ ය. දෙවියන් දිව කැවුම් පුරා ලූ නියා ය’යි සිතූහ. අනුරුද්ධ කුමාරයෝ ත් “මෑණියන් වහන්ස, මා මෙ තරම කැවුමක් කෑ විරූ නැත. මෙවක් පටන් මට ‘නැති කැවුම් ම’ ඉදි කරවුව මැනවැ’යි කිවු ය. උයි ත් එවක් පටන් තෙලු ත් නොදමා පිටිත් නො දමා ‘කැවුමක් කමී’ කී විටෙක රන් තළියක් සෝධවා පියා අනික් තළියකින් වස් වා ලා යවති. දෙවියෝ දිව කැවුමෙන් තළි ය පුරා ලති. මෙ සේ අනුරුද්ධ කුමාරයෝ ගිහි ගෙයි වසන කල නැතැයි යන බසෙහි අර්ථ නො දැන කැවුමක් කන විටෙක දිව කැවුම් ම අනුභව
කෙරෙති.
බුදුන් පිරිවරා මහණ පිරිස් ඇවිදිනා නිසා කුල පිළිවෙළින් ශාක්‍ය කුමාරවරුන් මහණ වන කල්හි මහානාම නම් ශාක්‍ය රජ්ජුරුවන් ‘මළ, සෙස්සවුන් ගොසින් මහණ වන තැන අප ගෙන් තව දක්වා මහණ වූ කෙනෙක් නැත. තොප හෝ මහණ වුව මැනව. මා හෝ මහණ වුව මැනැව’යි කී කල්හි අනුරුද්ධ කුමාරයෝ ‘මම සිවුමැල්ලෙමි. මහණ වන්ට නො පිළිවනැයි’ කිවු ය. ‘එ සේ වී නම් අප ගෙන් යමකු මහණ නො වූ කල නපුර. ඇති ව සිටියවුන් අප දෙ බෑයන් වුව මම මහණ වෙමි. තොපි ගොවි කර්මාන්ත උගනුව’යි කීහ. බත් උපදනා තැන් පමණකු ත් නොදන්නවුන් කර්මාන්ත දන්ට කාරණ නැති බැවින් ‘කර්මාන්ත නම් තමා කිම් දැ’යි විචාළහ.
බත් උපදනා තැන් නොදන්නා පරිදි කෙ සේ ද යත් - එක් දවසක් අනුරුද්ධ කුමාරයෝ ය, භද්දිය කුමාරයෝ ය, කිම්බිල කුමාරයෝ ය, යන කුමාරවරු තුන් දෙන බත් උපදනේ කොයින් දැ’යි කථාව ඉපැදවූහ. ඉන් කිම්බිල කුමාරයෝ එක් දවසක් විකක් ගුළ ලන්නා දැක බත් උපදනේ මින් නියා වේ දැ’ යි සිතා ‘බත් ගුළින් උපද්දී’ කිවු ය. භද්දිය කුමාරයෝ ‘තෙපි බත් උපදනා තැන් නො දනුව. මම දනිමි. බත් උපදනේ සැළියෙනැ’යි කිවු ය. එ සේ කියන්ට කාරණ කවරේ ද යත් - එක් දවසක් සැළියෙන් බත් තලියෙහි ලන්නා දැක බත් උපදනේ ඉනැ’යි සිතා ගෙන කීහ. බත් වන්නේ සැලියේ දී ය යි කිවු නම් තවත් යුක්ත ය.
උන් දෙන්නා එ ලෙස කී කලට අනුරුද්ධ කුමාරයෝ ‘ බත් උපදනා තැන් තෙපි දෙන්න ම නොදනුව. බත් උපදනා තැන් දන්නෙම් මම ය. මුව විට රේඛා සියයක් ඇති තළිය මැද රියනක් උස කැකුළක් ඇති රන් තළියෙන් බත් උපදනේ ය’යි කිවු ය. ඒ අනුරුද්ධ කුමාරයන් විකක් අටුවේ ලන නියා වේව යි, සැළියේ තුබූ බත් තළියේ ලන නියා වේව යි දුටු විරූ නැත. රන් තළියෙහි ලා ලා ඉදිරියෙහි තබා ලූ බත් පමණක් ම දකිති. එසේ හෙයින් තළියෙන් බත් උපද්දී සිතා කිවු ය. බත් උපදනා තැන් පමණකුත් නොදන්නා කුල දරුවාණන් බතට මුල්ව සිටිනා කර්මාන්ත දන්නේ කෙසේද? එ හෙයින් ‘කර්මාන්ත නම් කවරේ දැ’යි කීහ.
එසේ විචාළ මළණුවන්ට දිවි හිමියෙන් ම කොට නිමක් ඇති ලෙසට කර්මාන්ත කීහ. පළමු කොට කුඹුර ගෙවඩීම් බිම් නැඟීම් කටයුතු ය. ආදි වශයෙන් සාට යුතු ය. සෑ කැට ගා කළල්ලම්[2] කොට නිමි පසු වපුළ යුතු ය. වපුළ පසු ඉස්නන් තිබිය යුතු ය. පූදිනා තෙක් රෑනි ආදියට කෙම් කටයුතු ය. ඉන් පසු කිරි වදනා තෙක් වැලි ඉසීම් ආදි කටයුතු ය. ගොයම් පැසී ගත් කලට දිම්[3] මැඩීම් කට යුතු ය. පෙරළා හිපිනැලි සාට යුතු ය. වල් කෙටිය යුතු ය”[4] යනාදීන් බෑණන් කියා ලූ කර්මාන්තයෙහි සසර මුලක් නොපෙනෙන්නා සේ නියමයක් නොපෙනෙන නියාව දැන ‘මට ඒ කර්මාන්තයෙන් ප්‍රයෝජන නැත. ප්‍රයෝජන වන කෙනකුන්ට ම වන්නාට ය’යි මහණ වන්ට රුචි ඇති නියාව මෑණියන්දෑට කියා ලා භද්දිය කුමාරාදි රාජ කුමාරවරුන් පස්දෙන හා සමඟ කික්ම අනුපිය නම් අඹ උයන්හි වැඩ හුන් බුදුන් කරා එළඹ මහණ වූ සේක.
මහණ ව ත් මනාව පිළිපැද රහත් වීමෙන් ත්‍රිවිද්‍යා වඩා ගෙන හුනස්නෙහි හිඳ ම හස්තාමලක න්‍යායයෙන් දස දහසක් සක්වළ දක්නට සමර්ථ ව ‘කුමන පිනක් කොට මේ තරම් ගුණ විශේෂයෙක් ලදිම් දෝ හෝ”යි බලන සේක් පියුමතුරා බුදුන් සමයෙහි මේ තනතුරු පතා පැතූ පමණෙකින් වැද නොහිඳ කප් ලක්‍ෂ ය මුළුල්ලෙහි දිවස් ලැබීමට ත් රහත් වන්ට ත් නිසි පින්කම් කොට ලත් නියාව දැන ‘තව ද එක් සමයෙක බරණැස් නුවර සුමන සිටාණන් නිසා ජීවත් වන්නා වූ මම අන්නභාර නම් වීමි.
‘අන්නභාරො පුරෙ ආසිං - දළිද්දො කාජහාරකො,
පිණ්ඩපාතො මයා දින්නො – උපරිට්ඨස්ස යසස්සිනො’
යනු හෙයින් උපරිට්ඨනම් පසේ බුදුන්ට දනක් දිනිමි. මා දුන් දනෙහි පින් අනුමෝ වූ සුමන සිටාණෝ දැන් කොයි දෝ හෝ”යි බලන සේක් වින්ධ්‍යාට වී නම් මහ වල ගල් පාවුලෙක මුණ්ඩ නම් නියම් ගමෙක් ඇත. ඒ ගම වසන මහා මුණ්ඩ නම් උපාසකයන් ගේ මහා සුමන ය චුල්ල සුමන ය යි පුත්තු දෙන්නෙක් ඇත. උන් දෙන්නාගෙන් කුඩා සුමන ව උපන්හ’යි දුටු සේක. දැකත් ඔබ යෑමෙන් වන ප්‍රයෝජන කවරේ දෝ හෝ’යි සලකා ‘මා ඔබ ගිය කලට කුඩා සුමන කුමාරයෝ සත් හැවිරිදි වයස දීම මහණ ව කර ‘ගම රහත් වෙති’ දැන වස් ආසන්නයෙහි ආසින් වැඩ ගම් දොරට බට සේක.
මහා මුණ්ඩ උපාසකයෝ ත් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේලා පුරුද්දෝ ම ය. එ හෙයින් සිඟා යන වේලෙහි සිවුරු ගැට ගන්වන්නා දැක මහා සුමන කුමාරයන්ට ‘පුත, අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ වැඩි සේක. ඔබගේ පාත්‍ර ය අනික් කෙනකුන් හැර නො ගන්නා තෙක් තොපි ගොසින් පාත්‍ර ය හැර ගනුව. මම වැඩ හිඳිනා ආසනයක් පනවා ලමී’යි කිවු ය. උයි ත් ගොසින් පාත්‍ර ය හැර ගත්හ. උපාසකයෝ ද මහ තෙරුන් වහන්සේ ගෙයි වඩා හිඳුවා ලා සකස් කොට වළඳවා ලා වස් වසන්ට ආරාධනා කළහ. මහ තෙරුන් වහන්සේ ත් ඉවසා වදාළ සේක.
එක් දවසක් කරන උපස්ථානයක් මෙන් වස් තුන් මස උපස්ථාන කොට ලා වස් නිමි දවස් තුන් සිවුරක් ද උක් සකුරු තල තෙල් සාල් ආදි ය ද ගෙනවුත් මහ තෙරුන් වහන්සේගේ පා මුල තබා ලා ‘පිළිගත මැනව, ‘ස්වාමීනි’යි කිවු ය. උපාසකයෙනි, නො කැමැත්තේ ය’යි වදාළ සේක. ‘ස්වාමීනි, මේ අපගේ මෙ තැන වස් විසූ තැන් ලැබ්බ යුත්තය. පිළිගත මැනැවැ’යි කිවු ය. එසේ කීවත් නො කැමති වූ සේක. ‘කැප දෙය වුව මැළි හැයි ද, ස්වාමීනි’යි කිවුය. ‘අප ළඟ කැපකරු හෙරණ කෙනකුන් පමණක් නැති හෙයිනැ’යි වදාළ සේක. ‘එසේ වී නම් මහා සුමන කුමාරයන් මහණ කළ මැනවැ’යි කිවු ය. උන්ගෙන් ප්‍රයෝජන නැතැ’යි වදාළ සේක. එ සේ වූ වොත් කුඩා සුමන කුමාරයන් මහණ කළ මැනවැ’යි කිවු ය.
මහ තෙරුන් වහන්සේත් යහපතැ’යි ගිවිස කුඩා සුමන කුමාරයන් මහණ කළ සේක. මහණ කරන්ට ය යි හිසකේ කපා නිමවා ලන්නා ම රහත් වූ සේක. කර අග රහත් නම් ඒ ය. මහ තෙරුන් වහන්සේත් දෙ පෝයක් විචර එ තැන රඳා ලා වස් අන්ත හෙයින් ‘බුදුන් දකිමී’ හෙරණුන්දෑගේ නෑයන්ට කියා ලා ආසින් ම ගොසින් හිමවු පියස වනවාස පැලකට බට සේක.
මහ තෙරුන් වහන්සේ පියවින්න්ම වීර්‍ය්‍ය ඇති සේක. එ හෙයින් පෙර යමත් අලුයමත් සක්මන් කරන ගමනේ දී බඩ රුජාවෙක් පහරින්ට වන. හෙරණුන්දෑද ඔබ මිරිකී පියා සිටි නියා ව දැක ‘අඵාසු කිම් ද, ස්වාමීනි’යි විචාළ සේක. ‘බඩ රුජාවෙක් පහරන්නේ ය’යි වදාළ සේක.
‘මෙ තෙක් කලු ත් ඇද්දැ’යි විචාරා ‘ඇතැ’යි වදාළ කල්හි ගුණ ව ගන්නේ කුමකින් දැ’යි විචාරා අනවුතත් විල පැන් වැළඳූ කල ගුණ වෙයි’ කී කල්හි ‘එ සේ වී නම් ස්වාමීනි, ගෙනෙමී’කී දෑ ය. ‘පිළිවන් දැ’යි විචාළ කල්හි ‘පිළිවන, ස්වාමීනි’යි කී සේක. ‘එසේ වී නම් ඒ විල පන්නග නම් නා රජ්ජුරු කෙනෙක් වෙසෙති. ඌ මා හඳුනති. උන්ට කියා ලා බෙහෙත් නිසා පැන් කළයක් ගෙනව’යි වදාළ සේක. උන්දෑ ද ‘යහපතැ’යි උපාධ්‍යායයන් වහන්සේ වැඳලා අහසට පැන නැඟී ලා ගවු දෙ දහසක් තැන් වැඩි සේක.
එදවස නා රජ්ජුරුවෝ නා නළුවන් පිරිවරාදිය කෙළි කෙළනා කැමැති ව හුන්නෝ ය. හෙරණුන්දෑ අහසින් වඩනා දැක මේ මුඩු මහණ තමාගේ පාද ධූලි මා හිස වගුරුවන්ට කරන්නාක් මෙන් ඇවිදින්නේ ය’ යි කිපී ගොසින් පැනක් නිසා ආ වන. මේ විලින් පැනක් නො දෙමී’ දෙසීයක් ගවු පමණ දිග ත් පළලත් ඇති ඒ විල මහා මලාවකින් සැළියක් වසන කලක් මෙන් පෙණයෙන් වසා ගෙන වැද හොත්තේ ය. හෙරණුන්දෑ ත් ත්නා රජ්ජුරුවන්ගේ සැටි දැක කිපි නියාව සලකා ලා-
“සුණොහි මෙ නාගරාජ - උග්ගතෙජ මහබ්බල,
දෙහි මෙ පානීයඝටං - භෙසජ්ජත්‍ථම්හි ආගතො”
යනු හෙයින් නා රජ්ජුරුවෙනි, උරණ තබා මා කියන බසුත් අසව. බෙහෙත් පිණිස පැන් කළයක් සොයා ආමි. එහෙත් මට නොවෙයි. අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට බඩ රුජාවෙක් ඇති ව පැන් වැළඳුවොත් මුත් ගුණ නො වන හෙයින් එක් පැන් කළයක් විචර දෙව’ යි කී දෑ ය. ඒ අසා නා රජ්ජුරුවෝ -
“පුරත්‍ථිමස්මිං දිසාභාගෙ - ගංගා නාම මහානදී,
මහා සමුද්දං අප්පෙති - තතො ත්‍වං පානීයං හර”
යනු හෙයින් මේ විලට නැගෙනහිර මුහුදට හුණුවා වූ ගඩ්ගා නම් ගඟෙක් ඇත. පැන්වුව මනා වී නම් ඉන් ගෙන ගිය මැනැවැ’යි කිවුය. ඒ අසා හෙරණුදෑත් ‘මේ නයා තමාගේ අදහසින් දී නො ලයි. බලයෙන් ම මාගේ තරම හඟවා ලා පැන් හැර ගනි මීයි සිතා ලා-
“ඉතොව පානීයං හරිස්සං - ඉමිනාව‘ම්හි අත්‍ථිකො,
යදි තෙ ථාමබලං අත්‍ථි – නාගරාජ නිවාරය.”
යනු හෙයින් න්නා රජ්ජුරුවෙනි, උපාද්ධ්‍යායයන් වහන්සේ මා ලවා මේ විලින් ම පැන් ගෙන්වන සේක් ගඟින් පැනක් ගෙන යන්ට මා වදාළේ නැත. පැන් නම් එක් වස්තුවක් නොවත් මා නො වළකුව’ යි වදාළ සේක. ඒ අසා නා රජ්ජුරුවෝ ‘සාමණේරයන් වහන්ස, මුඹගේ තර බලයෙක් ඇත් නම් සුරුබුහුටි ව කියා ලූ බසට ම සතුටීමි. මා නො කැමැති කරවා පැන් ගෙන යන්ට පිළිවන් වී නම් ගෙන ගිය මැනැවැ’යි කිවු ය.
සාමණේරයන්දෑත් එසේ ද, මහරජ ගෙන යමෝ දැ’යි වදාරා ‘පිළිවන් වුව හොත් ගෙන ගිය මැනැවැ’ කී කල්හි තුන් විටක් කොට ම ‘ගෙන ගිය මැනැවැ’ යි කියවා ගෙන ‘තෙල සිත තුබුව මැනැවැ’යි කියා ලා අප්‍රසිද්ධ ලෙසින් ගෙන යෑමෙන් ප්‍රයෝජන නැත. බොහෝ දෙනාට බුදු සසුනෙහි බල හඟවා ම පැන් ගෙන යෙමී සිතා ලාසවු මහ රජයේ පටන් මෑත දෙවියන් කරා ගිය දෑ ය. ඌ හැම ත් අවුත් වැඳ ලා සිටියහ. ‘හෙම්බා, තෙල අනවුතත් විල කෙරේ දී පන්නග නම් නා රජ්ජුරුවන් පැනක් නිසා අපට කරන විවාදයෙක් ඇත. සහාය වීම් නැත ත් දිනනවුන් පරදිනවුන් බලන්ට එව’ යි කී දෑ ය.
මෙ ම ලෙසින්සවු මහ රජයට නායක වූ වරම් රජුන් කරා ය, දෙව් ලෝ දෙකට ම නායක වූ සක් දෙවිඳු කරා ය, යාම නම් දෙව් ලොවට නායක වූ සුයාම නම් දෙව් රජ්ජුරුවන් කරා ය, තුසී පුරයට නායක වූ සන්තුෂිත නම් දෙව් රජ්ජුරුවන් කරා ය, නිම්මාණරති දෙව්ලොවට නායක වූ සුනිම්මිත නම් දෙව් රජ්ජුරුවන් කරා ය, පරිනිම්මිත දෙව් ලොවට නායක වූ වසවත්හු කරා ය යි ප්‍රධාන දෙවියන් කරා ගොසින් එ පවත් කී සේක. එ පරිද්දෙන් ම අසංඥයන් හා අරූපී බ්‍රහ්මයන් හා හැර සෙසු බඹුන් කරා ගොසින් අවුත් වැඳ ලා කුමක් දැ යි විචාළ කල්හි එ පවත් වදාළ සේක. උන්දෑගේ බස් අසා සියලු ම දෙවි බඹුන් අනවුතත් විල පිට නළෙක පුරා ලූ තුඹ සුණු මෙන් ආස පුරා ගෙන සිටියහ.
දෙවි බඹුන් රැස් වූ කල්හි සාමණේරයන්දෑත් ආස සිට ආදී ලෙසින්ම තුන්විටක් කොට නා රජ්ජුරුවන් ගෙන් ‘තර බලයෙක් ඇත් නම් පිළිවන් වී නම් හැර ගත මැනැව’ යි කියවා ගෙන ආස සිට මහණ වෙස් හැර ලා අට සාළිස් ගවු පමණ උස ඇති බඹ අත් බැවක් මවා ගෙන ආසින් බැස පියා නා රජ්ජුරුවන්ගේ ඵණ ගබ මිරිකා පා ත් බලා ඔබා ලූ සේක. එ වේලෙහි ම ශක්තිසම්පන්න කෙනකුන් මැඬ ලූ මඬනා සමක් මෙන් නා රජ්ජුරුවන්ගේ ඵණ ගබ මැඬ ගන්නා ම කුඩයක ආම්‍යාකක්[5] නැමෙන කලක් මෙන් සන්ධි ආවෘත ව[6] එණමුළු හැකිළෙන්ට වන. ඵණය හැකුළුණු සේ තල් කඳ සා පමණ දිය කඳ නැගෙන්නට වන. හෙරණුන්දෑ අහස දී ම ඒ විල පැන් පහරන්ට නැති හෙයින් කළ ය පුරා ගත් දෑය. දෙවි බඹු සාධු කාර දුන්හ.
නා රජ්ජුරුවෝ ලජ්ජා ව හෙරණුන් දෑට කිපුණ වූය. ක්‍රෝධයෙන් දිළිහී ගත් ලෙසට ඇස් දෙක ත් හුනිඳ[7] ඇට සේ රත් වි ය. මූ තුමූ තමන් පමණෙකින් කරන දෙයකු ත් නො ව, දෙවි බඹුන් රැස් කරවා පියා ඵණය මැඬ ගෙන සිට මේ සා මහත් ලජ්ජාවක් උපදවා පීහ. මුන් අල්වා ගෙන කට ඇතුළට අත ලා ලා ලෙයි මස හෝ මිරිකා පියමි. පය අල්වා ගෙන මූදින් එ තෙරට හෝ ගසා පියමී’ ලුහුබඳවා ගොසිනු ත් හඹා ගත නුහුණුවු ය.
හෙරණුන්දෑ ත් ගොසින් උපාද්ධ්‍යායයන් වහන්සේ අතට පැන් පිළිගන්වා ලා වළඳන්ට කී දෑ ය. නා රජ්ජුරුවෝ ද පසු පස්සෙහි අවුත් ‘ස්වාමීනි, තෙල සාමණේරයන් වහන්සේ මා සන්තක විල පැන් මා ගෙන් දීමක් නැතිව ගෙනා දෑ ය. වළඳන්ට නො කැමැත්තේ ය’ යි කිවු ය. ‘සැබෑ ද, සාමණේරයෙනි’ වදාළ සේක. ‘එක විටක් තබා තුන් විටක් කොට ත් ගෙනෙන්ට කිවුය. වළඳා වදාරණ බව යහපතැ’ යි කී දෑ ය. මහ තෙරුන් වහන්සේ ද රහත් හෙරණුන් බොරු නො කියති දැන පැන වැළඳූ සේක. සෙස්සවුන්ට ඇල් පැන් පීමෙන් රුජා අධික වේ. නමුදු ඔබට රුජා සන් හුන.
නැවත ත් නා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, මේ සාමණේරයන්දෑ දෙවි බඹුන් රැස් කරවා පියා තමන්දෑගේ සපන්කම් පමි යි මා ලජ්ජා කරවා පී දෑ ය. හෘදය වස්තුව හෝ මිරිකමි. පය අල්වා ගෙන හෝ මූදින් එ තරට ගසා පියමි’ යි කී ය. ‘මහ රජ, සාමණේරයෝ තමන් කුඩා පමණක් මුත් උන්ගේ ආනුභාව මහත. තෙපි උන්ට පටහැණි නො වව. එ සේ නටුවා ක්‍ෂමා කරවා ගනුව’ යි වදාළ සේක. ඌ පියවින් ම ආනුභාව සම්පන්න නියාව ඵණගබ මිරිකා ලූ ගමනිනු ත් දෙවි බඹුන් රැස් කළ ගමනිනු ත් දනිති. නොදන්ට කාරණ නැත. මෙවිචරකු ත් නො කළ කලට අන්නු නො තකන්නෝ වේ දැ’යි බල සම්පන්නකම හඟවන්ට ලුහුබඳවා අවු ය. කට හෙන දෙයෙක් නැත. මහතෙරුන් වහන්සේ බසින් ක්‍ෂමා කරවා ගෙන ආවෙණික මමායන ය ඇති ව ගෙන ‘මෙවක් පටන් අනවුතත් විල පැණින් ප්‍රයෝජනයක් ඇති විටෙක මුඹ වහන්සේ වැඩිය මැනැවැ’ යි නැත, මට වදාරා එවන බව ය. මම ගෙනවුත් දී ලමී’ යි කියා ලා නැඟී ගියහ.
මහ තෙරුන් වහන්සේද සාමණේරයන්දෑ කැඳවාගෙන බුදුන් කරා නික්මුණු සේක. බුදුහු ත් මහ තෙරුන් වහන්සේ වඩනා නියාව දැන විශාඛාවන් කැර වූ පූර්වාරාමයෙහි වැඩ හුන් සේක. වහන්දෑ ද මහ තෙරුන් වහන්සේ වඩනා දැක පෙර ගමන් කොට ගොසින් සඟළ සිවුරුත් පාත්‍රයත් ආගන්තුක සාද නිසා හැර ගත් සේක. සාමණේර කෙනෙක් සාමණෙරයන්දෑ කුඩා ව පෙනෙන හෙයින් ආනුභාව ය නො දැන හිස අල්වා ගෙන සලා පියා කණත් අල්වා ගෙන සලා පියා ‘කුමක් ද? සාමණේර පැටව, සස්නෙහි ඇලුම් ඇත්තෙහිද? රෑ බත් නැති ව හිද හෙයි දෑ’ යි යනාදීන් කියා වෙහෙසු සේක. බුදුහු ත් එ වහන්දෑ කරන සැටි ය දැක ‘මේ භික්ෂූන්ගේ කටයුත්තෙක් නපුරු නියා ය. විෂ ඝෝර සර්පයකු ඇඟ අත ලන කලක් මෙන් මේ සාමණේරයන් අල්වති. ආනුභාව නො දනිති. තවත් නො දත්තු නම් තවත් නිහරසර කෙරෙති. අද වූ කලි සුමන සාමණේරයන්ගේ ආනුභාව ය පහළ කළ මැනැවැ’ යි සිතූ සේක. මහ තෙරුන් වහන්සේ සාද සාමීචි විඳ ගෙන බුදුන් වැඳ ගෙන වැඩ හුන් සේක. බුදුහු ත් උන් හා සාද සාමීචි කොට ලා අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘ආනන්‍දයෙනි, අනොතත් විල පැණින් පා දෝනා කැමැත්තෙමි. සාමණේරවරුන්ට කළ දීලා යවා ඒ විලින් පැන් ගෙන්වව යි වදාළ සේක.
අනඳ මහ තෙරුන් වහන්සේ ද ඒ වෙහෙර පන්සියයක් පමණ හෙරණ වහන්දෑ රැස් කළ සේක. ඒ හෙරණ පන්සියයට සුමන හෙරණුන්දෑ අලුත මහණ වූ හෙයින් බාල දෑ ය. මහ තෙරුන් වහන්සේ හෙරණ පන්සියය ම පාළියෙහි සිටුවා ලා මුල් පාළියෙහි සිටි නම කරා ගොසින් ‘හෙරණිනි, බුදුහු අනොතත් විල පැණින්, පා දෝනා කැමැති සේක. කළයක් හැර ගෙන ගොසින් පැන් ගෙනෙව’ යි විධාන කළ සේක. මුල් පාළියෙහි සිටි හෙරණ වහන්සේ බැරි ය’යි කියා ලා නො ගිවිසි සේක. සෙසු තැනට කී ගමනේ සෙසු තැනු ත් නො ගිවිසි සේක.
නො ඉවසන්ට කාරණ කවරේ ද? එ තෙක් හෙරණ වහන්දෑගෙන් පිළිසිඹියා පත් රහත් තැනක් නැති නියා ද යත්- ඇති දෑ ම ය. එ තෙකුදු වුව ත් රහත් තැන් ‘මේ අපට බැඳි මල් මුළෙක් නො වෙයි. හෙවත් අප නිසා කළ විධානයෙක් නො වෙයි. සුමන හෙරණුන්ට බැඳි මල් මුළ ය. උන් නිසා විධාන කළ දෑ ය’යි සිතා ලා නො ඉවසූ සේක. පුහුදුන් තැන් බැරි හෙයින් ම නො ඉවසූ සේක. හැම තැනට කියා ඉක්බිති සුමන හෙරණුන්දෑට එ ලෙස ම කී කල්හි හැම තැන් කී ලෙස බැරි ය යි නොකියා බුදුන් ගෙන්වන කල නො ගෙනෙන්ට පිළිවන් ද? ගෙනව මනා වේ දැ’ යි කියා ලා බුදුන් වැඳ ලා “ස්වාමීනි, මා ලවා අනවුතත් විලින් පැන් ගෙන්වන්නේ ඇද්දැ’යි විචාළ සේක. බුදුහු ත් ‘සුමනයෙනි, එ සේ ය’ යි වදාළ සේක.
උන්දෑ ද විශාඛාවන් විහාර සන්තක කොට කරවා ලූ ඝන රන් කළ වලින් නිකම් කළවලින් පැන් සැට කළයක් ගන්නා මහ කළයක් ‘මෙ තරම් කළ කර තබන්නේ කිම් දැ’යි අතින් එල්වා ගෙන ආසට නැඟි හිමවු පියස අනවුතත් විල කරා නික්මුණුදෑය. නා රජ්ජුරුවෝ ද දුරින් ම එන්නා වූ සාමණේරයන්දෑ දැක පෙර ගමන් කොට ගොසින් කළ ය හැර ගෙන අතින් එල්වා ගෙන යන්ට බල ඇත ත් ආදර නිසා තමන් කර තබා ගෙන ‘ස්වාමීනි, මා තරම් කොල්ලකු ඇති කල මුඹ වහන්සේ පැනට වඩනට කාරණ කවරේ දැ’යි කියා ලා පැන් කළයක් උකා ගෙන ඔසවා කර තබාගෙන ‘ස්වාමීනි, පෙරාතු වුව මැනව. මම් ම ගෙනවුත් දී ලමි’යි කිවු ය. “මහ රජ, තොපි සිටුව. බුදුන්ගේ, විධානයෙන් ගෙන යන පැන් මම් ම ගෙන යෙමි’ කියා ලා නා රජ්ජුරුවන් රඳවා පියා එන කල ගෙනා ලෙස ම කළ ය අතින් එල්වා ගෙන ආසින් එන දෑ ය. ආසින් එන සාමණේරයන් දෑ බුදුහුත් දැක වහන්දෑ බණවා ලා ‘මහණෙනි, සුමන හෙරණුන් ආසින් එන ලීලාවක් බලව. රන් වන් හංස පැටවකු මෙන් ඉතා හොබති’ වදාළ සේක. උන්දෑ ත් පැන් කළ ය තබා ලා බුදුන් වැඳලා සිටි සේක.
බුදුහු ත් ‘සුමනයෙනි, තෙපි කී හැවිරිද්දා දැ’යි විචාළ සේක. ස්වාමීනි, සත් හැවිරිද්දෙමි’ කී දෑය. එ සේ වී නම් තෙපි අද පටන් උපසපනුව’යි ආවෙණික කොට දායජ්ජොපසම්පදාව දෙවා වදාළ සේක. මේ සුමන සාමණේරයන් දෑ හා සෝපාක සාමණේරයන්දෑ හා දෙ නම සත් හැවිරිදි වයස දී තමන් තමන්දෑගේ තරම් නිසා මාලු පැවිදි ලදෑ ය. මෙ සේ මේ සුමන හෙරණුන්දෑ මාලු පැවිදි වූ කල්හි ධම් සෙබෙයි ‘ඇවැත්නි, මේ සාමණේර පැටවාණ කෙනකුන්ගේ ආනුභාවයක් බැලුව මැනව. පෙරත් සාමණේරවරුන් දුටු විරූමෝ වේ ද, මෙ තරම් සාමණේර කෙනකුන් නුදුටු විරූම්හ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ත් ධම් සබයට වැඩ වහන්දෑ කෙරෙමින් හිඳ බුදුන් දැක තබා පූ කථාව විචාරා උන්දෑගේ ආනුභාව ගුණ කථාව නියාව අසා ඒ මුල් කොට බණ වදාරන සේක් ‘මහණෙනි, යම් කෙනෙක් මධ්‍යම අවස්ථාවට ත් ස්ථවිර අවස්ථාවට ත් නො පැමිණීමෙන් බාල වුව ත් නො හොත් වයසින් බාල වුව ත් බුදු සස්නෙහි නො පමාව වෙසෙත් නම් ඌ තුමූ මෙ ලොව අභ්‍ර මහිකා දී පඤ්චොපක්ලේශයෙන් මිඳුණු සඳ පරිද්දෙන් බබුළුවති’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කුසල්හි නො පමා ව ලෝ සසුන් දෙක බබුළුවන්ට උත්සාහ කටයුතු.
________