තව ද බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා වසන්නවුන්ට උත්සාහ වඩනු නිසා වක්කලී තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
උන් වහන්සේ සැවැත් නුවර බමුණු කුලයෙක ඉපැද වැඩි විය පැමිණි සේක් සිඟා වැඩි තිලෝගුරු බුදු රජුන් වහන්සේ දැක මේ ලෙව්හි ශෝභාවෙක් ඇත්නම් මුළුල්ල එක් කොට හඹා පීවාක් වැනි වූ රුව දැක බලා ඇස් ඇද ගත නො හී ‘මෙ සේ කළ කලට බුදුන් නිරන්තර ව දක්නෙම් වේ දැ’යි බුදුන් ළඟ මහණ ව යම් තැනෙක සිටි කල බුදුහු පෙනෙන සේක් වී නම් එ තැනට පලා ගොසින් ධුරද්වය හැර බුදුන් ම බල බලා සිටිනා සේක.
බුදුහු ත් ඔබගේ නුවණ මුහුකුරණ තෙක් කුමකුත් නො වදාරා නුවණ මුහු කළ නියාව දැන ‘වක්කලීනි, තොප මාගේ දෙ තිස් කුණු කොටසින් ගැවසී ගත් ශරීර ය බැලීමෙන් ප්‍රයෝජන කිම් ද? ‘වක්කලීනි, යම් කෙනෙක් නුවණැසින් දහම් බලත් නම් ඌ මා දකිති. මා දක්නවුන් දහම් දැක්ක මැනැවැ’යි අවවාද වදාළත් බුදුන් පෙනෙන තැනින් අනික් තැනකට යා නො හෙන සේක. බුදුහු ත් ‘මෙ ලෙසින් මුන් දුරු කට නොහැක්කැ’යි වස් වසන ආසන්නයෙහි රජගහා නුවරට වැඩ වස් වසන දවස් ‘පලා යව, වක්කලීනි’යි වදාරා නෙරපී සේක.
උන් වහන්සේ ත් ‘බුදුහු මා හා කථා නො කරන සේකැ’යි තුන් මසක් මුළුල්ලෙහි බුදුන්ට කයින් ළං ව ගත නො හී ‘බුදුන් දැක්ක නොහෙන මාගේ ජීවත් වීමෙන් ප්‍රයෝජන කිම්ද, පර්වතයට නැඟී ලා වැටී ගොසින් මියෙමි’යි ගිජු කුළු පවුවට නැඟි සේක. බුදුහු ත් ඔබ විඳිනා ආයාස ය දැක ‘මේ මහණ මා ගෙන් අස්වැසි ලියක් නොලදින් මාර්ග ඵලොපනිශ්‍රය නසා ගත් නමුත් නපුරැ’යි තමන් වහන්සේ දක්වන්ට රස් කඳක් විහිදුවා ලූ සේක. බුදුන් දක්නා ම ඇඹුලෙකින් මල කඩක් නැති වන්නා සේ ශෝක ය නැති වි ය. බුදුහු ද වැසි නැති ව වියළී තුබූ වැවක් වැසි වැස පුරන කලක් මෙන් වක්කලි තෙරුන් වහන්සේට ත් ප්‍රීති ප්‍රමොද්‍යය උපදවනු නිසා ‘හෙම්බල වක්කලීනි, යම් කෙනෙක් බුද්ධාලම්බන ප්‍රීති ය බලවත් වී නම් ඌ බුදු සස්නෙහි පහන් ව වෙසෙති. අනික් සිතිවිල්ලකට අවසරයක් නැති හෙයින් සම්‍යක් ප්‍රතිපදාවෙහි පිහිටා භව ක්‍ෂය ත් කෙරෙති’ වදාරා ලා-
“එහි වක්කලි! මා භායි - ඔලොකෙන්තො තථාගතං,
අහං තං උද්ධරිස්සාමි - පඞ්කෙ සත්තංව කුඤ්ජරං’
යනාදි ගාථා තුන[1] වදාරා ලා අත දික් කොට වදාළ සේක. උන් වහන්සේ ද “බුදුහු ත් මා දුටු සේක. මමත් ඔබ දිටිමි. එව’යි යන බස් පමණකු ත් ලදිමි”යි ප්‍රීතිය බලවත් ව ප්‍රීති වේගයෙන් වඩනා මඟු ත් සොයා ගත නො හී බුදුන්ට හමු වූ ආසට උද්වේග ප්‍රීති බලයෙන් නැඟී ලා බුදුන් වදාළ ගාථා සලකමින් ආස දී ම ප්‍රීති ය විකඹා ලා විවසුන් වඩා පිළිසිඹියා පත් රහත් ව බුදුන් වැඳ වැඳ බිමට බැස ලා ළඟ වැඩ සිටි සේක. බුදුහු ත් පසු ව ශ්‍රද්ධා බහුල තැනට අග තැන තබා වදාළ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කවරත් කුශලයට ශ්‍රද්ධාව මුල් වන හෙයින් සැදෑ වඩනට නිසි වූ බණ අසා සැදෑ ඇති ව කුසල්හි හැසිරිය යුතු.
-
ගාථා දෙක ↑