තව ද උපදේශක ව සිටිනා තැනත් තමා තමා හට පනත් ව ගැන්මෙහි යහපත දක්වන්ට නඞ්ගලකුර තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
එක් දුප්පත් මිනිසාණ කෙනෙක් තමන් තමන්ට පැදෙන හෙයින් අනුන්ට බැළ මෙහෙ කොටලා ජීවත් වෙති. එක් කෙනකුන් වහන්සේ උන් තමන් කෝණම කඩ රෙද්දක් ඇඳ ගෙන නඟුලක් කර තබා පියා බැළ සීයකට යන්නවුන් දැක ජීවත් වන ලෙසට අනුකම්පා ඇති ව ‘තොප මෙ ලෙසට දුක් ගන්නවුන් මේ දුක් ගෙවා මහණ වූ කල නපුරු දැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මම දුක් ගත නො හී මහණ වෙම් නමුත් මා සේ වූ දුක්පතියකු මහණ කරන සේක් කවුරුන් වහන්සේ දැ’යි කිවු ය. ‘ඉදින් තෙපි මහණ වවු නම් මම මහණ කෙරෙමී’ කී සේක. ‘මහණ කරන සේක් වී නම් මහණ වෙමී’ උනු ත් කී කල්හි තෙරුන් වහන්සේ දෙව්රමට කැඳවා ගෙන ගොසින් සස්නෙහි ඇලුම් ඇතිවනු නිසා සිය අතින් ම නාවා පියා මළුවේ දී ම මහණ කොට ලා හැඳ ගත් රෙදි කඩ හා සමඟ නඟුල මළු කෙළවර අත්තෙක එල්වා තබා පූ සේක.
උන් වහන්සේ ද උපසම්පන්න ව නඞ්ගලකුර[1] තෙරුන් වහන්සේ ය’යි ප්‍රසිද්ධ වූ සේක. උන් වහන්සේ ද කිසිත් ආයාසයක් නැති ව බුද්ධානුභාවයෙන් සුව සේ ජීවත් වන සේක් කලක දී සස්නෙහි උකටලීව පියා උකටලිය හැරගත නො හී සිවුරු හරනට සිතා ගෙන හැඳගන්ට පිළියක් නැති හෙයින් කඩ රෙද්ද තුබූ අත්ත කරා ගොසින් කඩ රෙද්ද තරම ත් වැළඳ ගත් සිවුරේ තරමත් බලා පියා තමන් වහන්සේ ම තමන් වහන්සේට ‘ලජ්ජා නැති තැනැත්ත ව, කඩ රෙද්ද හැඳ ගෙන සිවුරු හැර ගොසින් ශාසනයේ සිට ලත් සම්පතක් නැති හෙයින් තව ත් බැළ මේයට සිතා ගත්ති ද’යි මාලු කම් කී සේක. මෙ ලෙස මාලු කම් කී කලට උකටලිය ත් තුනී ව ගත. නැවත අවුත් පෙරළා කීප දවසෙකින් උකටලී ව කඩ රෙද්ද තුබූ තැනට ගොසින් ආදි ලෙස ම මාලු කම් කියා තවත් උකටලිය තුනී වි ය. මෙ ලෙසින් සස්නෙහි ආල ය නැති වූ විට කඩ රෙද්ද තුබූ තැනට ම යන සේක.
වහන්දෑ ද එක් වන් ම යන නියාව දැක ‘ඇවැත්නි, කොයි යවුදැ’යි විචාළ සේක. කඩ රෙද්ද හා නඟුල සිවුරු හැර පීමට ආලය හරවා අවවාද කරන ආචාරී තැනක් වැනි හෙයින් එ ලෙස සලකා ආචාරීන් වහන්සේ කරා යම්හ’යි කියන සේක. මෙලෙසින් දවස් ගණනෙකින් කඩ රෙද්ද හා නඟුල ම කමටහන් උගන්වන ඇදුරු කොට ගෙන රහත් වූ සේක. වහන්දෑ ත් ඔබ වෙහෙසනු නිසා ‘ඇවැත්නි, තොප ආචාරිය තැන් කරා යන මඟ ත් දැන් වල් වි ය. ඔබ යන ගමන නැතැ’යි කී සේක. ‘එ සේ ය, ආදි එ බඳු තරමක් ඇති හෙයින් ගියම්හ. දැන් ඒ හැම නැති හෙයින් ඔබ ගමන හළුම්හ’යි කී සේක.
වහන්දෑ එ පවත් අසා ‘නැත්ත කියා තමන් රහත් නියාවක් හඟවතී” බුදුන්ට දැන් වූ සේක. බුදුහු ‘මහණෙනි, ම පුතු තුමූ තමන්ට අවවාද කොට නිසි ලෙසින් වැස රහත් වූ ය’යි වදාරා ඛණ වදාරන බුදුහු ‘මහණෙනි, අනුශාසක කෙනෙක් සම්භ නො වෙත් නම් උන් රැක නොහිඳ තමා තමහට අවවාද කළ මැනව. තමා ම තමාගේ තරම් විමසුව මැනව. එ ලෙස වසන්නාහු හැම වේලේ ම සිහි නුවණ ඇති ව වසන හෙයින් සතර ඉරියවුවෙහි ම සුවසේ දවස් යවති. අනුශාසකයන් ඇත ත් තමහට පිහිට වන්නෝ තුමූ ම ය. අනික් පිහිට වන්නෝ කවුරු ද? තමාම කළ දෙයකින් මුත් අනුන් කළ පිනෙකින් සගමොක් දෙකට පැමිණෙන කෙනකුන් නැති හෙයින. එ හෙයින් ලාභ ය නිසා ආජානීය අශ්වයකු හික්මවන්නා සේ තමා ම තමා හික්ම වනු මැනව’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් අනුන් බලා නො හිඳ තමා ම තමාට පිහිට කටයුතු.
-
නඟලකුල ↑