තව ද සන්හුන් පියෝ ඇති වීමෙහි යහපත හඟවන්ට සන්තකාය තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
ඒ තෙරුන් වහන්සේගේ අනුන්ට නො රිසියෙන ලෙස අත සොල්වාලීමෙක් වත් පය සොල්වා ලීමෙක් වත් නැත. හැම වේලේ ම සන්හුන් පියෝ ඇති සේක. ඊට කාරණ කවරේ යත් - පෙරාතු ජාතියෙහි සිංහ ව උපන් සේක.
සිංහයෝ නම් ගොදුරු අනුභව කොට ලා රිදී ගුහාවකට හෝ මැණික් ගුහාවකට හෝ වැද ලා සිරියෙල් සුන්නෙන් තැවරී පියා සත් දවසක් වැදහෙව නිඳා පියා නැඟී සිට වැද හොත් තැන් බලා පියා ඉඳින් නඟුට හෝ කන්පත් හෝ අත පය හෝ සෙල වී සිරියෙල් සුණු විසිර පියා තුබුවා දුටවු නම් ‘මේ තොපගේ ජාති - ගෝත්‍ර තරමට නිසි නො වෙ’ යි සිතා ලා තවත් සතියක් නිරාහාර ව වැද හොවිති. එ සේ වැදහොත් කල සිරියෙල් සුණු නො විසිරිණි නම් ‘තොපගේ ජාති ගෝත්‍රයට තරමැ’යි ගුහාවෙන් නික්ම කිලි පොළා පියා දස දිග බලා තුන් විටක් සිංහ නාද කොට පියා ගොදුරු සොයා යෙති. මුන් වහන්සේ ත් එ සේ වූ සිංහ යොනින් ආ සේක.
වහන්දෑත් මුන් වහන්සේගේ නිසල පියොව දැක බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, සන්තකාය තෙරුන් වහන්සේගේ පියොව තරම් පියොවක් නුදුටු විරූම්හ. පියාෙව ඉතා ම යහපතැ’යි දැන් වූ සේක. බුදුහු ත් ‘මහණෙනි, මහණුන් විසින් එ ලෙස ම වුවමනා වේ දැ’යි වදාරා යම් කෙනෙක් ප්‍රාණඝාතාදී කාය දුශ්චරිතයෙහි නො හැසිරීමෙන් සන්හුන් තරම් ඇති ව, මෘෂාවාදාදි වාක් දුශ්චරිතයෙන් දුරු වීමෙන් තෙපුලෙනු ත් සන්හුන් තරම් ඇති ව, අභිධ්‍යාදිය නැති වීමෙන් සන්හුන් සිත් ඇති ව වෙසෙත් ද, තුන් දොරින් ම සිද්ධ වන අකුසල් නැති හෙයින් සන්හුන් තරම් ඇත්තෝ ද, චතුර්විධ මාර්‍ගඥාන නමැති මුඛයෙන් කෙලෙස් නමැති අජීර්‍ණය වමාරා පූ ද, නො සන්හුන් තරමට කාරණ ව සිටිනා කෙලෙසුන් නැති හෙයින් ශාන්ත ය’යි උන්ට කිය යුතු ය’යි වදාළ සේක. දේශනා කෙළවර සන්තකාය තෙරුන් වහන්සේ සියළු ලෙසින් සන්හුන් තරම් ඇති ව රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සන්තකාය තෙරුන් වහන්සේට ජාත්‍යන්තරයෙහි ත් වූ උත්තම ජාතියෙහි නිසා උත්තම ගුණ ය යම් සේ සිද්ධ වේ ද, එ මෙන් උතුම් තරම් නිසා උතුම් ගුණ ඇති ව උතුම් තැනට පැමිණිය යුතු.