තව ද තිලකුණු මෙනෙහි කිරීමටත් වඩා වීරිය කිරීමෙහි යහපත දක්වන්ට පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව කියමු.
කෙසේ ද යත් -
ඒ වහන්දෑ බුදුන්ගෙන් කමටහන් ඉගෙන ගෙන වල හිඳ මහණ ධම් කරන සේක් උදාසන පිපියා වූ ඉද්ද මල් දවසකු ත් දෙ දවසකු ත් නො තිබී එ දවස සවස ම පර ව නටුයෙන් ගැළ වෙන්නා දැක තොප තෙල නටුවලින් ගැළවෙන්ට පෙරාතු අපි රාගාදී කෙලෙස් සතුරන්ගෙන් ගැළවෙම්හ’යි වීර්යයට පටන් ගත් සේක. බුදුහු ත් ඒ වහන්දෑ දැක ‘මහණෙනි, භික්ෂූන් විසින් නම් නටුවෙන් මල් ගැලවෙන්නා සේ සසර දුකින් ගැළවීම යහපතැයි වදාරා ලා ගඳ කිළියේ වැඩ හිඳ ‘යම් යම් සේ එ දවස් පිපුණත් ඉද්ද මල් බඳුවද මල් ආදි ය සවසට හෝ උදාසන්ට පර ව හේ ද, එ පරිද්දෙන් තෙපි කල් යවා රැඳීමෙන් වන යහපතක් නැති බැවින් වහා තොපගේ සතන් වලින් කෙලෙසුන් දුරු කරව’ යි වදාළ සේක. දේශනා කෙළවර පන්සියක් දෙනා වහන්සේ ම රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් වඩන ලද වීර්‍ය්‍ය ඇත්තවුන්ට සිද්ධ නො වන දෙයක් නැති බැවින් කුශල විෂයෙහි විර්‍ය්‍ය කොට භවක්‍ෂය කටයුතු.
__________