තව ද කුසල ධර්‍මයෙහි යම් කෙනෙක් හැසිරෙත් නම් කුසල ය උන්ට පිහිට වන නියාව හඟවන්ට බොහෝ වහන්දෑ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක ආයු බොහෝ වූ කසයින් මහ තෙරුන් වහන්සේ අවන්ති[1] නම් දනවුවෙහි කුරරඝර නම් නුවර නිසා පවත්ත නම් පව්වෙහි වසන සමයෙහි කෙළක් වටනා ආභරණයක් කන පළඳනා හෙයින් කුටිකර්ණ සොණ නම් වූ උපාසක කෙනෙක් කසයින් මහ තෙරුන් වහන්සේගේ කථායෙහි පැහැද ඔබ ළඟ මහණ වනු කැමැති ව ඔබත් දෙ වාරයක් කොට ම ‘ශීල සංරක්‍ෂණය බැරි දෙයෙක් වේ දැ’යි වදාළ ත් මහණ වීමෙහි තර අදහස් ඇති බැවින් තුන් වැනි වාරයෙහි තර ව කියා මහ තෙරුන් වහන්සේ ගිවිස්වා ගෙන මහණ ව දකුණු දිග ගණ පූරක වහන්දෑ ලැබගැන්ම බැරි හෙයින් තුන් හවුරුද්දක් ගිය කලට උපසම්පදාවත් ලදින් බුදුන් නො හඳුනන හෙයින් බුදුන් දක්නා කැමැති ව උපාද්ධ්‍යාය වූ කසයින් මහ තෙරුන් වහන්සේට කියා ලා ඔබගේත් මෙහෙවරින් දෙව්රමට ගොසින් බුදුන් වැඳ ලා බුදුන් ගෙන් සාද සාමිචි ත් ලදින් එක ගඳ කිළියේ ම සැතපෙන්ට විධාන කළ කල්හි රෑ දවස බොහෝ වේලක් අබවස සක්මන් කිරීමෙන් දවස් යවා මැඳ යම් දස පැය ගඳ කිළියට වැද සැත පී ලා අළුයම බුදුන්ගේ විධානයෙන් සූත්‍ර නිපාතයෙහි අෂ්ටක වර්ගාදී වූ සූත්‍ර මුළුල්ල ම පිරිවූ සේක. පිරිවා අන්තයෙහි බුදුහු තුන් විටක් කොට ම සුවඳ කරඬුවෙක පිධානයක් හළුවා සේ සියලු ගඳ කිළි ය මුඛ සුගන්ධයෙන් සුවඳ කෙරෙමින් සාධුකාර දුන් සේක.
බුදුන්ගේ සාධු කාර අසා බූමාටු දෙවියන් පටන් අකනිටා බඹ ලොව දක්වා සාධු කාර නාදයෙන් එක නින්නාද වි ය. ඒ වේලාවට ම දෙව්රම් වෙහෙරට සාර සිය අසූ ගව්වකින් ඔබ්බෙහි වූ කුරරඝර නම් නුවර ඒ කුටිකර්ණ සොණ තෙරුන් වහන්සේගේ මවු උපාසිකාවන්ගේ ගෙයි අධිගෘහිත දෙවතාවා ත් මහත් කොට සාධු කාර දින. තෙරුන් වහන්සේගේ මවු උපාසිකාවෝ ත් ‘සාධුකාර දෙන්නෝ කවුරු දැ’යි කියා විචාරා ‘නගණ්ඩ, මම ය’යි කී කල්හි ‘තෙපි කවුරු දැ’යි විචාළහ. මුඹගේ ගෙයි අධිගෘහිත දේවතාවා ය’යි කිවු ය. ‘මෙ තෙක් කල් මුළුල්ලෙහි සාධුකාරයක් නො දී අද කුමක් නිසා සාධුකාර දුනු දැ’යි විචාළ කල්හි ‘මුඹට දුන් සාධුකාර නැතැ’යි කිවු ය. ‘එ කල සාධු කාර දුන්නේ කාට දැ’යි විචාළ කල්හි ‘මුඹගේ පුත් වූ කුටිකර්ණ සොණ තෙරුන් වහන්සේට ය’යි කිවු ය.
සාධු කාර දෙන තරමට උන් වහන්සේ කීයේ කෙළේ කිම් දැ’යි විචාළෝ ය. ‘මුඹගේ පුතණුවන් වහන්සේ අද බුදුන් හා එකගඳ කිළියෙහි සැතපී ලා පාන්දඩ වේලේ බණ පිරිවූ සේක. බුදුහු ඔබගේ බණ අසා පැහැද සාධුකාර දුන් සේක. ඔබ දුන් සාධුකාර අසා මම ත් සාධු කාර දිනිමි. මා තබා බූමාටු දෙවියන් පටන් බඹලොව බඹුන් දක්වා ත් සාධුකාර දුන්හ’යි කීහ. ‘කුමක් ද? ස්වාමිනි, ම පුතණුවන් වහන්සේ බුදුන්ට බණ වදාළ සේක්ද ? බුදුහු ම පුතණුවන් වහන්සේට බණ වදාළ සේක් දැ’යි විචාළෝ ය. ‘මුඹගේ පුතණුවන් වහන්සේ බුදුන්ට බණ කී සේකැ’ යි දේවතාවාණන් කියන්නා ම උපාසිකාවන්ට පස් වනක් ප්‍රීති ඇඟ මුළුල්ල පැතිරිණ. ප්‍රීතින් පිනා ගොසින් ලා ‘ඉදින් ම පුතණුවන් වහන්සේ බුදුන් හා ගඳ කිළියෙහි සැතපී ලා ඔබට බණවදාරන්ට බල ඇති වී නම් මටත් බණ වදාළ හෙණ සේක. පුතණුවන් වහන්සේ මුඹ වැඩි කල බණ අසමි’ සිතූහ.
සොණ තෙරුන් වහන්සේ ද තමන් වහන්සේගේ සූත්‍ර බණ අසා බුදුන් සාධු කාර දුන් කල්හි ‘මේ අපගේ උපාධ්‍යායයන් වහන්සේ කියා එවා වදාළ මෙහෙවර දන්වන්ට කලැ’යි බුදුන්ට පසල් දනවුවල විංශති වර්‍ග සඞ්ඝයා වහන්සේ වුව ත්, දශ වර්‍ග සඞ්ඝයා වහන්සේ වුවත්, ලබන්ට බැරි හෙයින් විනයධර නම ඇතුළු ව පස් නමක් විචරින් මාලු පැවිදි කිරීමට අනුදැනුම් ආදි වූ පස් වර ය ඉල්වා ගෙන කීප දවසක් බුදුන් ළඟ ම රඳා උපාද්ධ්‍යායයන් වහන්සේ ළඟට යන නියාව බුදුන්ට දන්වා ලා දෙව්රමින් නික්ම ඒ ඒ තැන සැතපි සැතපී උපාද්ධ්‍යායයන් ළඟට ගිය සේක.
කසයින් මහ තෙරුන් වහන්සේ ද දෙ වන දවස් උන් වහන්සේ කැඳවා ගෙන සිඟා වඩනා සේක් කුටිකර්ණ සොණ තෙරුන් වහන්සේගේ ලමන්දු උපාසිකාවන්ගේ ගෙට වැඩි සේක. ඔයි ත් පුතණුවන් වහන්සේ දැක සතුටු ව වැඳ ලා දන් සකස් කොට වළඳවා වළඳා අන්තයෙහි ‘පුතණුවන් වහන්ස, මුඹ වහන්සේ බුදුන් හා එක ගඳ කිළියෙහි සැතපී ලා ඔබට බණ වදාළේ සැබෑ දැ’යි විචාළේ ය. ‘ලමන්දුනි, මුඹට කීවෝ කවුරු දැ’යි විචාරා වදාළ සේක. “පුතණුවන් වහන්ස, මේ ගෙයි අධිගෘහිත දේවතාවාණෝ මහත් කොට සාධුකාර දී ‘සාධුකාර දුන්නෝ කවුරු දැ’යි විචාළ හෙයින් තමන් නියාව කියා ලා ‘කුමකට දැ’යි විචාළ හෙයින් මුඹ වහන්සේගේ බණ අසා බුදුන් සාධුකාර දුන් හෙයිනැ යි කිවු ය. මිනිස් ලොව පටන් බඹලොව දක්වා දෙවි මිනිසුන් මුළුල්ල ම සාධුකාර දුන් නියා ව ත් කිවු ය.
මම ඒ අසා ‘ඉදින් ම පුතණුවන් වහන්සේ බුදුන්ට බණ කී සේක් නම් බණ සියලු ලෙසින් දන්නා ඔබට කියා ලිය හුණු පසු බණ වැඩියක් නො දන්නා තැනැත්තියට කියා ලිය හෙන සේකැ’යි සිතීමි. පුතණුවන් වහන්ස, මුඹ වහන්සේ බුදුන්ට බණ වදාළේ ඇත්නම් මටත් බණ වදාළ හෙණ සේක. අසවල් දවස බණ අසනු කැමැත්තෙමි’යි කිවු ය. තෙරුන් වහන්සේත් ඉවසූ සේක. උපාසිකාවෝ ද වහන්දෑට මහ දන් දී ලා බණ පූජා ත් සරහා ලා පුතණුවන් වහන්සේගේ බණ අසනු නිසා ගෙය බලා හිඳිනට එක ම කෙල්ලක රඳවා ලා සියලු ම කෙළි-කොල්ලන් හැර ගෙන පුතණුවන් වහන්සේ බණ වදාරන තැනට බණ අසන්ට ගියහ.
එ කල සොරු නව සියයෙක් ඒ උපාසිකාවන්ගේ සම්පත මහත් හෙයින් සොරා හැරගන්ට අවසරයක් බල බලා ඇවිදිනාහු මෙතෙක් දවස් මුළුල්ලෙහි අවසරයක් ම ලද නුහුණ වූ ය. අවසර නො ලබන්ට කාරණ කවරේ ද යත් - උන්ගේ ගෙය වටා පවුරු සතක් හා වාසල් සතෙක් ඇත. ගෙය සිසාරා වට කොට කීන බල්ලනු ත් බැඳ සිටුවති. සේනන්කනින්[2] පැන් වැගිරෙන තැන වට කොට ම ගැඹුරු කොට අගලක් කණවා ලා තුඹ පුරා ලූය. ඒ දාවල් අවුවෙන් විරී හුණු ව ලෝ දිය මෙන් සිට්ටි. රෑ දවසට තද ව ගොසින් ගල් පවුරක් මෙන් සිට්ටි. භික්තියට ත් තුඹය ට ත්[3] අතුරෙහි මහත් කොට ලා යහුල් ඝන කොට ගැඹුරේ බිම හිඳුවා ලු ය. මෙ සේ රකවල තර හෙයිනු ත් උපාසිකාවන් ගෙයි හෙයිනු ත් අවසරයක් ම ලද නුහුණු වූ ය.
එ දවස් උපාසිකාවන් බණ අසන්ට ගිය නියා ව දැන උමං බිඳිනාහු තුඹ අගලව ත් යහුලට ත් යටතින් බිඳ ගෙන ගෙට වැද ලා ඉදින් අප සොර කමට වන් නියා ව දැන ගෙට එන දෑ වී නමුත් මරා පිව මැනවැ’යි කියා ලා සොර දෙටුවා උපාසිකාවන් ළඟට යවූ ය. උයිත් ගොසින් උන් ළඟ සිටියේය. සොරුන් ගෙට වැද ලා පානක් නඟා ගෙන මසුරන් තිබෙන ගබඩාවේ දොර හළ වූ ය. ගේ බලා හුන් කෙළි ත් සොරුන් ගෙට වැද මසුරන් තුබූ ගබඩාවේ දොර හැර රන් හැරගන්නා නියා ව දැන උපාසිකාවන් ළඟට, ගොසින් ‘ස්වාමීනි, සොරු නැතක් දෙන ම ගෙට වැද ලා මසුරන් තුබූ ගබඩාවේ දොර හළවු ය’යි කිව. උපාසිකාවෝ සොරු තමන් දුටු මසුරන් ගෙන යෙත්වයි. මම මාගේ පුතණුවන් වහන්සේ වදාරන බණ. අසමි. මා අසන බණට බාධා නො කොට තෝ ගෙට පලා ය’යි කියා ලා කෙල්ල යවා පූය. සොරුන් අතට සම්භ නු වූ දෙයක් මුත් මසුරන් මුළුල්ල ම හැර ගෙන රිදී තිබෙන ගබඩාවේ දොර හළ වූ ය. කෙළි නැවත ත් ගොසින් එ පවත උපාසිකාවන්ට කිව.
උපාසිකාවෝ සොරු තමන් කැමැත්තක් කෙරෙත්ව යි. රන් රිදී හැර ගනිත ත් අදම පුතණුවන් වහන්සේගෙන් මා ලබන දහම් රුවන් හැර ගත නො හෙන්නෝ වේ ද? අද මා අසන බණට බාධා නොකොට තෝ ගෙට නැගීයව’යි කියා කෙල්ල යවාපීහ. සොරු රිදී ත් අත් පත් ගා හැර ගෙන රත්රන් තිබෙන ගබඩාවේ දොර හළ වූය. කෙළී පෙරළා ත් ගොසින් එ පවත උපාසිකාවන්ට කිව. උපාසිකාවෝ පෙරළා ත් කියන්නාහු කෙල්ල තෝ දෙ තුන් විටක් කොට මමා කරා එයි. සොරු තමන් කැමැත්තක් කෙරෙත් වයි. මාගේ පුතණුවන් වහන්සේගෙන් මා අරුමයක් සේ ලබන බණට බාධා නො කරව. මා දෙතුන් විටක් කොට කීව ත් පෙරළ පෙරළා ත් මා කරා එන්නට කාරණ කිම් ද? පෙරළා අයි නම් ඊට නිහඬ දනිමී ‘ කියා ලා යවා පීහ.
සොර දෙටුවාණෝ ත් ළඟ සිටි තැනැත්තෝ දෙතුන් විට ම උපාසිකාවන් කී කථාව අසා ලා මෙ තරම් මැදහත් කෙනකුන්ගේ සම්පත් වස්තු ලෝභයෙන් හැර ගතුමෝ නම් ජීවිත ලාභය ත් නැති ව හිස සත් කඩක් ව පැළී ගිය ත් නපුර. කළ මනා ම දෙයෙක් නො වෙයි’ සිතා සොරුන් ළඟට ගොසින් ‘තෙල තොප හැරගත් දෙය පෙරළා පනත් කොට ආදී තුබූ ලෙසින් ම තබව’යි විධාන කළහ. උයි ත් මසුරන් තුබූ ගබඩාවේ ද, රිදී තුබූ ගබඩා වේද, රත්රන් තුබූ ගබඩාවේ ද, ආදී තුබූ ලෙස ම තුබූහ.
යහපත් කොට පිරිමසා ගත්දෑ නැවත නැවත සිටියවුන් රක්නා සේ සුචරිත ධර්‍මය ත් සුචරිත පූරකයන් රක්කි.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං
ධම්මො සුවිණ්ණො සුඛමාවහාති.
එසානිසංසො ධම්මේ සුවිණ්ණ-
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි”
යනු එ හෙයින් ම වදාළ සේක.
සොරු තමන් හැර ගත් වස්තුව පෙරළාත් පනත් තබා ලා වස්තුයෙහි ආල ය හළුවා සේ ම සොර කමෙත් ආලය හැර හැම දෙන ම බණ අසන තැනට ගොසින් සිට තුබූ අඩු බණ ඇසූහ.
කුටිකර්‍ණ සොණ තෙරුන් වහන්සේ ත් තුන් යම් රාත්‍රිය මුළුල්ලෙහි ම බණ වදාරා පාන් වූ කලට හස්නෙන් බට සේක. එ වේලෙහි සොර දෙටුවා බණ වදාළ තෙරුන් වහන්සේ සිටිය දී මුල් ව සිටි හෙයින් වදනා සේ උපාසිකාවන් වැඳ ගෙන වැදහෙව. ‘ස්වාමි දුවණියනි, කමන්නැ’යි කීය. හැයි, කුමක් දැ’යි විචාළෝය. වස්තු ලෝභයෙන් අනික් වෛරයක් නැත ත් මුඹ වහන්සේ මරන්ට ය යි මෙ තැන රැක ගෙන සිටියෙමි. ඒ හෙයිනැ’යි කීය. ක්‍ෂමාව නම් මෙ සේ වූ දෙයට වේද? ක්‍ෂමා කෙරෙමී’ කිවු ය.
සෙසු සොරුනු ත් එ සේ ම වැඳ වැතිර පියා ක්‍ෂමා කරන්ට කියා ‘ක්‍ෂමා කරම්හ’යි කී කල්හි ‘මුඹ වහන්සේ ක්‍ෂමා කළ සේක් වී නම් අප හැම දෙනා මුඹ වහන්සේගේ පුතණුවන් වහන්සේ ළඟ මහණ කරවා ලුව මැනව. සොරකම් හැරෙන්නේ වේ දැ’යි කීය. උපාසිකාවෝ ද ‘ පුතණුවන් වහන්සේ වැඳ ලා පුතණුවන් වහන්ස, මේ සොරහු මාගේ ගුණයෙහි ත් මුඹ වහන්සේගේ ගුණයෙහි ත් පැහැද මහණ වනු කැමැත්තෝ ය. උන් මහණ කළ යහපතැ’යි කිවුය. තෙරුන් වහන්සේ ත් යහපතැ යි ගිවිස සිවුරු කරන්ට කල් යන හෙයින් උන් හන් පිළියේ ම දාවලු කපවා පියා ගුරින් රඳා පියා මහණ කොට දසසිල් පිහිට වූ සේක.
ඒ නව සියය ම උපසම්පන්න වූ කලට එකි එකී සියයට වෙන වෙන ම කමටහන් දුන් සේක. ඒ නව සියයක් දෙනා වහන්සේම නවසියයක් කමටහන් ගෙන කොට ඇවිදි සොරකම් හැර කෙලෙස් සොරුන් නසනු නිසා එක් පර්‍වතයකට නැඟී ලා වෙන වෙන රුක් මුල්වල හිඳ මහණ ධමට පටන් ගත් සේක. බුදුහු ත් සාර සිය අසූ ගවුවෙකින් ඔබ්බෙහි දෙව්රම වැඩ හිඳ ඒ නව සියයක් දෙනා වහන්සේ වල සැඟවී හුණන් දැක චාරිතානුකූල බණ නියම කොට ලා රස් කඳක් විහිදුවා ලා ළඟ හිඳ කථා කරන්නාක් මෙන් ම බණ වදාරන සේක් ‘යම් කෙනෙක් තුමූ මෛත්‍රී ධ්‍යාන උපදවා වුවත් නිකම් වුවත් සියල්ලවුන් කෙරෙහි මෙත් සිත් ඇති ව බුදු සස්නෙහි පැහැද වෙසෙත් ද, එසේ වූවාහු නිවනට පැමිණෙති. තව ද මහණෙනි, මෙ ම අත් බැව් නමැති නැව්වල මිථ්‍යා විතර්ක නමැති දිය උනා පිරී සිටී නම් සසර නමැති මුහුද ගලා පිය යි. එ හෙයින් විවසුන් අතින් හිස පියව. කුමක් නිසාද යත්-
යම් සේ මුහුද යන්නා වූ නැව්වල සිදුරු වලින් වදිනා පැන් සිදුරු හැසවා ලා හිස පී කලට සැල්හු ව ගොසින් මුහුද නො ගැලී වහා පටුන් තොට වලට බසී ද, එ පරිද්දෙන් මිථ්‍යා විතර්ක නමැති දියෙන් ම පිරුණු අත් බැව් නමැති නැව චක්ෂුරාදී වූ ද්වාර නමැති සිදුරු සංවර නමැති කීල් වසා ලා මිථ්‍යා විතර්ක නමැති දිය විවසුන් අතින් හිස පී කලට සෑල්හු ව ගොසින් සසර මුහුද නොගැලී නිවන් පරතෙරට වහා පැමිණෙ යි. සසර නමැති කණුවෙහි බඳනා කෙලෙස් නමැති බහනු ත් විවසුන් අතින් සිඳුව. එ සේ සිඳ පූ නම් රහත් ව අනුපධිශේෂ නිර්වාණ ධාතුවට ත් පැමිණෙව. තව ද පය බැඳ ලූ ලූ ලණුවක් කපන කලක් මෙන් සැව තුන් මගින් දෘෂ්ටි සංයෝජනා දී වූ පාත් ව තිබෙන අපායට පමුණුවන ඔරම්භාගිය සංයෝජනයන් පස් දෙනා ත් සිඳුව.
තව ද බොටුව බැඳ ලූ ලණුවක් කපන්නාක්හු මෙන් උඩ දෙව්ලොවට බඹ ලොවට පමුණුවන්නාවූ රූපරාගාදී උද්ධම්භාගිය සංයෝජනයන් පස් දෙනා ත් රහත් මගින් නසව. ඒ උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණ ය නිසා ශ්‍රද්ධෙන්ද්‍රියාදී පස්චෙන්ද්‍රිය ය නුත් වඩව. යම් කෙනේක් රාගසඞ්ගය, දෝෂසඞ්ග ය, මෝහසඞ්ගය, මානසඞ්ග ය, දෘෂ්ටිසඞ්ග ය, යන පඤ්ච විධ සඞ්ගය ඉක්ම වූ නම් කෙලෙස් මහ වතුරින් එ තෙර වූවා නම් වෙති. මහණෙනි, තෙපි ආරම්මණූපනිධ්‍යාන-ලක්‍ෂණූපනිධ්‍යානයෙහි දෝ හෙවත් සමථභාවනා - විපස්සනා භාවනාවෙහි යෙදී වසව. ප්‍රතිපත්ති පූරණයෙහි පමා ත් නො වව. තොපගේ සිතු ත් පස් කම් ගුණයෙහි නො පවත්ව ව. පමා ව වැස නිරා දුකට පැමිණ බත් ගිලූ උගුරෙන් ලෝ ගුළි ත්[4] නො ගලව[5]. ඉතා දුකැ යි හඬන්ට ත් නො කැමැත්තේ ය. නුවණ නැත්තවුන්ට සිත එකඟ වීමක් නැත. එ සේ ම සිත එකඟ වීම් නැත්තවුන්ට විදර්ශනා–ප්‍රඥා ත් නැත. යම් කෙනකුන්ට සමථ විදර්ශනා දෙක ඇත්නම් ඌ නිවනට ළං ව සිටිති.
තව ද ආරණ්‍ය – වෘක්‍ෂ මූලාදි වූ විවෙක ස්ථානයක හිඳ සන්හුන් සිතින් භාවනා කරන්නවුන්ට සමථ භාවනා වී නම් මාර්‍ග ත් උපද්දී. තව ද යම් කෙනෙක් රූපස්කන්ධාදී වූ පඤ්චස්කන්ධයන්ගේ උදය ලක්‍ෂණ ය පස් විසි ආකාරයෙකින් හා ව්‍යය ලක්‍ෂණයත් පස් විසි ආකාරයෙකින් සලකා ප්‍රීති ප්‍රමොද්‍යයක් ලැබෙත් ද සප්‍රත්‍යය වූ නාම රූපය ත් විභූත වීමෙන් ඒ ප්‍රීති ප්‍රමොද්‍ය ය අමා මහ නිවනට පමුණුවන හෙයින් නුවණැත්තවුන්ට ධාතු බෙදූ ද්‍රෝණය ත් ධාතු වූවා සේම නිවන් ම වෙයි. තව ද මේ ශාසනයෙහි නුවණැත්තවුන්ට ආජීව කවරේ ද යත් - චතු පාරිශුද්ධිශීලය ය. එ හෙයින් සිවු පිරිසුදු සීලත් තර ව පිහිටව. ධුර ද්වයින් පිටත්ව වසන පවිටු මිත්‍රයන් හැර අත්‍යන්ත පරිශුද්ධ වූ ආජීව ඇති ජඞ්ඝා බලයෙන් ම රැකෙන හෙයින් නුකුසී වූ කල්‍යාණ මිත්‍රයන් ම භජන ය කරව. තව ද ආමිස පටිසන්ථාර ධම්ම පටිසන්ථාර දෙක ම පවතු ව වත් පිළිවෙත ත් යෙදී වසව. මෙ ලෙසින් විසීමෙන් සසර දුක් ගෙවෙ යි’ වදාළ සේක. මෙ සේ බුදුන් වදාළ ගාථා නවයෙන් එකි එකී ගාථාවක් වදාරා නිමවා ලන්නා ම සඟ සිය ය සිය ය හුනස්නේ හිඳ ම සිවු පිළිසිඹියා පත් රහත් ව අහසට පැන නැඟී ලා ආසින් සාර සිය අසූ ගවුව මඟ ගෙවා දෙව්රම් වෙහෙරට ගොසින් බුදුන් වැඳි සේක.
එ හෙයින් සත් පුරුෂයන් විසින් ආදි සොරු ව විසූ නවසියයක් දෙන වහන්සේ යම් කෙලෙස් සොර කෙනකුන්ගේ සහායෙන් එ ලෙස කළ සේක් වී නම් ඒ සොරුන් හැම නසා සසර ගෙවුවා සේ සසර දුක් ගෙවන්ට ම උත්සාහ කටයුතු.
_________