තව ද භික්ෂු ප්‍රතිපත්තිය ම හඟවනු නිසා පඤ්චග්ගදායක බමුණානන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
ඒ බමුණානෝ ගොයම් කොට ජීවත් වන කෙණෙක. ඌ ‘ගොයම් දීම දී පෙරාතු අගහස් බතක් දෙති. කොළ කල ලූ කල අගහස් බතක් දෙති. කොළ මිරිකා වී රැස් කළ කලත් අගහස් බතක් දෙති. බත් පිසලා තළියේ නො ලන තෙක් අගහස් බතක් දෙති. තළියේ ලා ලූ කල කන්ට පෙරාතු අගහස් බතක් දෙති. මේ ලෙසින් කෙත[1] අක්බත ය, කළවිටි[2] අක්බතය, වී අක්බත ය, සැළි අක්බත ය, තළි අක්බත ය’යි පස් අගකින් දන් දෙති. බත කන වේලාට පැමිණි කෙනකුන්ට ත් නො දී අනුභව නොකෙරෙති. එ හෙයින් පඤ්චග්ගදායකයෝ ය’යි නම තබා ගත්හ.
බුදුහු උනු ත් බැමිණියනුත් දෙන්නා අනගැමි වන්ට කළ පින් ඇති නියාව දැන බමුණානන් බත් කන වේලාට ගොසින් දොරකඩ වැඩ සිටි සේක. උයි ත් දොර කඩ ගෙට මූණ ලා හිඳ බත් අනුභව කෙරෙති. බුදුන් දොර කඩ වැඩ සිටි නියාව නු දුටු වූ ය. බැමිණිනියෝ ත් බත් ලා ලා සිටි තැනැත්තෝ බුදුන් වැඩ සිටියා දැක ‘මේ බමුණානෝ පස්තැනෙක අගින් දී ලා අනුභව කෙරෙති. දැන් මහණ ගොයුම්හුත් අවුත් මිදුලේ සිටියහ. ඉදින් බමුණානෝ තුලුන් දැක තළියේ තුබූ බත් දී පූනම් පෙරළා පිසීම ගහට ය. මෙසේ කළ කලට බමුණු මහණ ගොයුම් දැක පිය නොහෙයි’ සිතා බමුණානන්ට පසුව ලා බුදුන්ට තොමෝ පිටි පෑ පියා පුන් සඳ මඬල අත්ලෙන් වසන එකක් මෙන් නැඹුරුවලා සිටියා ය. එසේ සිටත් ගියා දෝ නො ගියා දෝ යි තමා බැලූ නියාව ත් නො හඟවා ම වමැස් කෙළවරින් සොර බැල්මෙන් බලා ලුව.
බුදුහු බික ගෙණෙන වේලා කුම් වුව ත් නිවන් දක්වන වේලා එන තෙක් වැඩ සිටි සේක. බැමිණිනියෝ ද බමුණානන්ට ඇසී යෙති යන භයින් එ තැන සිට අරුණු ය යි කියා ගත නො හී මඳක් පසු බැස ගෙන ලා සෙමෙන් ම අරුණු ය යි දෙ විටක් කොට කියා ලුව. බුදුහුත් බැමිණියන් ලවා සිනාවක් සෙවා තමන් වහන්සේ සිටි නියාව බමුණානන්ට හඟවනු නිසා ‘මම එසේ නොයෙමී’ ඉස අවුරා සලා ලූසේක. ලොක ස්වාමී වූ තිලෝගුරු බුදු රජුන් වහන්සේ ඉස අවුරා සලා ලන්නාම මහ පොළොව වුවත් ධරා ලිය නො හෙන තරම් ඇති බුදු රජුන්ගේ හිස සැල්ම බලා ඉවසා ගත නො හී කුඩා කොට අරුණු කී බැවින් බැමිණි නියෝ මහත් කොට සිනාවක් සී පූ ය. ඒ වේලාට බුදුහු ත් ඇතුළු ගෙට රස් කඳක් විහිදුවා ලූ සේක. බමුණානෝ පිටි පෑ ලා හුන් තැනැත්තෝ බැමිණිනියන් සිනා සී පූ හඬ අසා ගෙට ගොසින් භිත්තියේ වැද ගත් සවනක් බුදු රජු ත් දැක පෙරළී බැලූ තැනැත්තෝ බුදුන් දුටු වූ ය.
බුදු රජුන් වහන්සේ නම් ගම දී වුව ත් වල දී වුවත් හේතු සම්පන්නයන්ට පෙනී ලා වැඩ නො පියන සේක. බමුණානෝ ද බුදුන් දැක ‘පින්වත, තෝ රාජ පුත්‍රයාණන් අවුත් දොර කඩ සිටි කල මට කියා නුලුයෙනැ’ යි තී මට කෙළේ මහා අනර්ථය. කෙළේ වැරැද්ද ය’යි කියා කමින් හුන් බත් තළිය හැර ගෙන බුදුන් කරා ගොසින් ‘මහණ ගොයුම්නි, අපි පස් තැනක දී අගින් දී ලා අනුභව කරම්හ. මේ බත් තළියත් පැමිණි කෙනකුන්ට දෙනු නිසා දෙ භාගයක් කොට ලා භාගයක් තිබිය දී භාගයක් අනුභව කළම්හ. ඉඳුල් බත් පිළිගන්නේ ඇත් දැ’යි විචාළෝ ය. බුදුහු ‘ඉඳුල් වී නම් නො කැමැත්තේ ය’යි නො වදාරා ම ‘බමුණ, ඉඳුල් දෙයටත් මම නිස්සෙමි. ඉඳුල් නො වන දෙයට ත් මම නිස්සෙමි. මා ලබන බත් ඉඳුල් වුව ත් දුන්නවුන් ලබන ලොවී ලොවුතුරා සම්පත් ඉඳුල් නොවන්නේ වේ දැ’යි වදාරා ලා බුදු වුවත් තමන් වහන්සේ අනුන් නිසා ජීවත් වන නියාව වදාරන සේක්-
යදග්ගතො මජ්ඣතො සෙසතො වා -
පිණ්ඩං ලභෙථ පරදත්තූපජීවි,
නාලත්‍ථ තං නොපි නිපච්චවාදී-
තං වා ‘පි ධීරා මුනිං වෙදයන්ති
යන ගාථාව වදාළ සේක. බමුණානෝ ඒ අසා පහන් සිත් ඇති ව “ඉතා විස්ම ය. දීප ස්වාමී වූ රාජ පුත්‍රයාණෝ ‘තොපගේ ඉඳුල් බතින් මට ප්‍රයෝජන නැතැ’යි නොකියා මෙ ලෙස කියති. නිහතමානිත්‍වයක් යහපත් නියා ය” යි මිදුලේ සිට ම ප්‍රශ්නයක් විචාරන්නෝ ‘මහණ ගොයුමාණෙනි, තෙපි තොපගේ සවුවන්ට භික්ෂු ව්‍යවහාර කරව. කුමක් නිසා භික්ෂු වෙත් දැ’යි විචාළෝය.
බුදුහු කෙ සේ වූ දේශනාවෙක් මුන්ට සත්ප්‍රාය දෝ හෝ යි විම්සන සේක් ‘ මූ දෙන්න ම කසුප් බුදුන් සමයෙහි විදම් කථා කරන්නවුන් ගෙන් නාම රූප ය යන කථාව ඇසූ විරූ ය. නාම රූපය නොහැර ම මුන්ට බණ කීම වටනේ ය යි’ සිතා වදාරා සංක්‍ෂෙප පුඩුවෙන් එකුන් අනූවක් පමණ වූ ත්, මධ්‍යම පුඩුවෙන් එක්සිය එක් විස්සක් පමණ වූ ත්, විස්තර පුඩුවෙන් බොහෝ වූ ත්, සියලු චිත්තයෙහිත් දෙ පනසක් පමණ චෛතසිකයෙහි ත් භූතොපාදාය වශයෙන් අට විසි වැදෑරුම් වූ ත්, කලාප වශයෙන් එක් දහස් පන්සිය එකක් පමණ වූ ත්, සියලු ම රූපයෙහි ත් මමායන ය කටයුතු කිසි ත් ලෙසක් නැති හෙයින් යම් කෙනකුන් ට ත් ඊ මමායන ය නැත් නම් නැවත ඒ නාම රූප දෙක නට ත් ‘නස්නා සුලු දෙය නට. මට ඉන් කිම් දැ’යි සිතත් මුත් ශෝක නොකෙරේද, භික්ෂු ව්‍යවහාරය ඕ හට නිර්ව්‍යාජයෙන් ලැබෙ’යි වදාළ සේක. දේශනා කෙළවර බමුණානෝ ත් බත් දෙන්ට මැළි වුවත් නිවන් ලබන්ට මැළි නොවූ බැමිණිනියෝ ත් දෙන්නම අනගැමි වූහ. තවත් බොහෝ දෙනාට දේශනාව සප්‍රයෝජන විය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පඤ්චග්ගදායක බමුණානන් මෙන් ත්‍යාගාධ්‍යාශය ඇති ව දානාදි වූ පින් කම හැසිර එයින් ජනිත වූ කුශලානුභාවයෙන් භව සැපත් වළඳා කෙළවර නිවන් අත් කටයුතු.