තව ද බොහෝ සම්පත් ඇතත් සැපත් මදයෙන් උඩඟු නො ව අනුන්ට යටත් ව විසීම නුවණැති සත් පුරුෂ බොහෝ දෙනාගෙන් හා නිසම්මකාරී රජුන්ගෙන් ගුණ ඇසීමට ද තමන් සැපත් සස්ථිර කරවා ගැන්මට ද ඒකාන්ත කාරණ වන බව හඟවන පිණිස කුම්භඝෝෂක සිටාණන්ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත්-
රජගහා නුවර ධන සිටාණ කෙනකුන්ගේ ගෙයි අභිවාතක නම් රෝගයෙක් උපන. ඒ රෝග ය ඇති වූ කල ගෙයි මැස්සන් ආදි කොට ගවයන් දක්වා තිරිසන්නු පළමු කොට මියෙති, ඉක්බිති දැසි දස් ආදීහු මියෙති. ඒ සියල්ලවුන්ට පසු ව ගෙ හිමියෝ මියෙති. එ කල්හි ද එ පරිද්දෙන්ම අභිවාතක රොග ය සියල්ලවුන්ට පසුව සිටාණන් හා ඇඹේණියන් ගත. රෝගයෙන් පීඩිත වූ ඔහු දෙදෙන සමීපයෙහි සිටි පුතණුවන් මුහුණ බලා කඳුළු පිරුණු ඇස් ඇති ව ඒ පුතණුවන්ට කියන්නාහු ‘පුතණ්ඩ, මේ රෝග ය ඇති වූ කල ගෙයි භිත්ති බිඳ ගෙන ගියාහු ජීවත් වෙති. තෙපි අප නො බලා ගොස් ජීවත් ව ගෙන පසු ව අවුත් අසවල් තෙන නිධාන කොට තුබූ සතළිස් කෙළක් වස්තුව ඇත. ඒ හැර ගෙන සැප සේ රැකෙව’යි කීහ. එ තෙම ඔවුන්ගේ බස් අසා හඬා වැලප දෙමවු-පියන් වැඳ මරණ භයින් බිය පත් ව ගෙයි බිත්ති බිඳ ගෙන නික්ම පර්‍වත ගහනයකට පලාගොස් දොළොස් අවුරුද්දක් එ තැන්හි වැස පසු ව ආයේය. ඔහු බාල කල ගොස් දැළි රවුළු ඇති කල ආ හෙයින් කිසිවකු ත් හැඳින ගත නුහුණු වු ය.
ඒ තෙම දෙ මවු-පියන් කී සලකුණෙන් වස්තුව තුබූ තැනට ගොස් ධන ය නො නැසුණු බව දැක සිතනුයේ ‘මා අඳුනන කිසි කෙනෙක් නැත. ඉදින් මම මේ ධන ය උගුළුවා ප්‍රයෝජන වින්දෙම් වීම් නම් එක් දුඃඛිතයෙක් නිධානයක් උදුරා ගතැ යි මා අල්වා ගෙන බොහෝ සේ වෙහෙස දෙති. එ බැවින් බැළ මෙහෙ කොට ජීවත් වීම නම් යහපතැ’යි සිතා එක් දවසෙක කඩ රෙද්දක් ඇඳගෙන බැළ මෙහ කරවන කෙනෙක් ඇද්දැ යි විචාරමින් බැළයන්ගේ වීථියට පැමිණියේ ය. ඉක්බිති ඔහු බැළයෝ දැක කියන්නාහු ‘ඉදින් තෙපි අපට එක් කාරියක් කර වූ නම් තො පට බත් මිල පමණක් දෙම්හ’යි කිවු ය. ‛කුමන මෙහෙයෙක් දැ’යි කී කල්හි, අපගේ මිනිසුන් ඒ ඒ කටයුත්තෙහි යොදා විධාන කිරීම පමණෙක. ඉදින් පිළිවන් වී නම් උදාසන්හි ම නැඟී සිට ‘එම්බා මල්බැයෙනි. වහා නැඟී සිටුව, ගැල් ගෙනෙව, ගොන් යොදව. ඇත්-අස් ආදීන්ට තණ ගෙනෙන්ට යන වේලා ය’යි පිරිමින්ට විධාන කරව. ගැහැනුන්ට ද එ සේ ම ‘මෑණියෙනි, නැඟණියෙනි, බුණැණියෙනි, තෙපි හැම ත් නැඟී සිටු ව. කැඳ බත් පිසව යි යනාදීන් ඒ ඒ තැන ගොස් විධාන කරව’යි කිවු ය. උයි ත් ‘යහපතැ’යි ගිවිස්සෝ ය. ඉක්බිති උන් වසන්ට ගෙයක් දුන්නු ය. උයි ත් ඒ ගෙයි හිඳ සැතපී ඇම දවස් ම උදාසන්හි නැඟී සිට ඒ පරිද්දෙන් මිනිසුන්ට විධාන කොට ඇවිදිති.
ඉක්බිති එක් දවසෙක බිම්සර රජ්ජුරුවෝ විධාන කොට ඇවිදිනා උන්ගේ ශබ්දය ඇසූ ය. ඒ බිම්සර රජ්ජුරුවෝ නම් සියල්ලවුන්ගේ ශබ්දයෙහි විභාග දනිති. එසේ හෙයින් උන්ගේ ශබ්දය අසා බොහෝ වස්තු ඇති මිනිසකුගේ ශබ්දයෙකැ යි කිවුය. ඉක්බිති රජු ළඟ සිටි එක් පුර ස්ත්‍රියක් සිතන්නී ‘මේ රජ්ජුරුවන් වහන්සේ එ සේ මෙ සේ වූ නිකම් බසක් නො කියන සේක. මේ කාරණ ය මා විමසනු මැනැව’යි සිතා උන් බලා පරීක්‍ෂා කොට එන සේ මිනිසකු යැවී ය. ඒ මිනිසා වහා දිව ගෙන ගොසින් ඔහු දැක නැවත අවුත් කියන්නේ ඒ විභවී එකෙක් නොවෙයි. බැළයන්ට බැළ මෙහෙ කරණ එක් දුප්පත් මිනිසෙකැ’යි කී ය. රජ්ජුරුවෝ ද මුන්ගේ බස් අසා මුයෙන් නො බැණ හිඳ දෙ වන තුන් වන දවස්හි ද ඔහුගේ ශබ්දය අසා පළමු පරිද්දෙන් ම මහ සම්පත් ඇති මිනිසකුගේ ශබ්දයෙකැ’යි කිවු ය.
ඒ පුර ස්ත්‍රී පළමු පරිද්දෙන් ම සිතා නැවත නැවත ත් මිනිසුන් යවා දුක් පත් මිනිසෙකැ’ යි කී කල්හි තොමෝ සිතන්නී ‘ඔහු දුක් පත් මිනිසෙකැ’යි කිව ත් රජ්ජුරුවෝ නො අදහති. කෙ තෙක් කිවත් බොහෝ ධන ඇති මිනිසෙකුගේ ශබ්දයෙකැ යි කියා ම කියති. රජ්ජුරුවන් කියන්නේ කාරණයක් මය. දැන් මා ම විමසුව මැනව’යි සිතා රජ්ජුරුවන්ට කියන්නී “දෙවයන් වහන්ස, භාණ්ඩාගාරයෙන් මසු දහසක් ලදිම් නම් මාගේ දුව කැඳවා ගෙන ඔහු වසන ගෙට ගොස් ඒ වස්තුව රජගෙයි ලවා ලමි’යි කිව. රජ්ජුරුවෝ මසු දහසක් දෙවාලූ ය. ඌ ඒ හැර ගෙන දුක් පත් සැටියට දුවණියන් කෙලෙසී ගිය මාලු කඩක් හඳවා ලා උන් හැර ගෙන නික්ම මගී බඳු ව බැළයන් හිඳිනා වීථියට ගොසින් එක් ගෙයකට වැද ‘අපි දෙපුතු මවු ගමනිම්හ.[1] එක් දෙ දවසක් මේ ගෙයි රඳාපියම්හ’යි කිවු ය. ‘මේ ගෙයි මිනිසුන් බොහොව. මෙ තැන අවසර නැත. තෙල කුම්භඝෝෂකයන්ගේ ගෙය උන් තමන් පමණක් හෙයින් අවසර ඇත. ඔබ ගිය මැනැව’යි කිවු ය.
ආදි කොට ම එ තැනට යා ම තමන් සිතා ආ කටයුත්තට නො නිසි හෙයින් නො ගිය බව මුත් යා යුතු එගෙට ම හෙයින් ගොසින් ‘ස්වාමීනි, අපි මගී දුප්පත් මිනිස් කෙනෙකුන්හ. එක් දෙ දවසක් මෙ තැන රඳා පියම්හ’යි කියා උන් බැරි ය යි කීව ත් ‘අද එක දවසක් රඳා පියා උදාසන යම්හ’යි කියා ලා එ දවස් රඳා ගෙන, දෙවන දවස් උන් තමන්ගේ මෙහෙවර යන්නවුන්ට ‘සාල් සුඟෙක් ඇත් නම් දුන මැනව. නිකම් හිඳිනා ගමනේ දවාලට බත් පිස තබා ලම්හ’යි බත් පිසීම් පිට ලාලා එ දවසු ත් රඳන්ට සිතූහ. කුම්භඝෝෂකයෝ වස්තුව එළිබසිතී යන භයින් එ සේ නො කැමැත්තෝ ‘මෙ තෙක් දවස් මට පිසන්නෝ අනික් කෙනෙක් ද? මම් ම පිස ගෙන කමී’යි කිවු ය. උන් එ සේ කීවත් හූරු තුඩ සීවැල් තුඩ තුබුවා සේ රජ ගෙයක ත් වැඩී ගත් හෙයින් නොඑක් ලෙසින් කියා ගිවිස්වා ගෙන උන් දුන් දෙය නො අල්වා ම තබා ලා වළන් විකුණන තෙනින් කුඹල් වළඳකුත් අංගානියට[2] යවා කැකුළු සාලකුත් ගෙන්වා ගෙන රජ ගෙයි දී පිසන ලෙසට ම සුදුසුවක් කොට බත් ද ඉති පත් කඩ ලාලා[3] මාළු දෙකක් තුනක් ද පිස ලා වල සිට ආ බැළයාණන්ට ඛත ලාලූ ය. බත් කාලා කෑ බතින් ම ආදි වේග ය නැති ව අදහස මොළොක් වූ කලට ‘ස්වාමීනි, ගමන් ඇවිද මිරිකී ගියම්හ. එක් දෙදවසක් දෙපුතු මවු කැටි ව කපු කැට ලා මෝල් කොටාලාත් පය සතපා ගන්නා කැමැත්තම්හ’යි කිවුය.
උයි ත් උන් ගේ බසු ත් මිහිරි හෙයින් ලාලූ බත් ඊට වඩා මිහිරි හෙයින් ‘යහපතැ’යි කිවු ය. රෑ දවසත් දෙවන දවස ත් බත් මාළුව යහපත් කොට ම දිවි හිමියෙන් වුවත් රඳන්ට කියන ලෙස ම ඉදි කොට දුන්හ. තරයේ ම තමන් කෙරෙහි නැමුණු නියාව දැන ‘පය සතපා දවස් ගණනක් ම රඳම්හ’යි කියා ලා රඳා හුන්නෝ මුවාත් යකඩෙකින් බැළයාණන් වැද හෝනා හැඳෙහි හැඳ පත් තමන් සිතන ලෙසට හැඳ වියමන් නපුරු හෙයින් දෝ හෝ යි හැඳ වැළ යටි පිටින් කීප තැනකින් හැඳපත් කපා ලූ ය. උන් අවුත් හැඳ බැස හිඳිනා ම හැඳ බොකු පහරින්ට වන. ‘හැයි මේ හැඳ මෙ සේ විනැ’යි විචාළෝ ය. ‘ස්වාමීනි, මෙ තැනට එන කුඩා බාලයන් නවතා ලන්ට අපට බැරි ය. අවුත් අවුත් ලා මේ හැඳට ම නැඟිලා මොළ කම් කෙරෙති’යි කිවු ය. ඒ අසා බැළයාණෝ ‘ඒ එ සේ වී නම් මුඹ හැම නිසා වූ මුළාය. මෙ තෙක් කල් මම් පිටතට යන කල දොර බැඳ ලා යෙමි’යි කිවු ය. ‘මම පුතණ්ඩ කුමක් කෙරෙම් ද මා කීව යි ඒ කුඩා කොල්ලෝ වළකිද්දැ යි කිය කියා දෙ තුන් දවසක් විතර හැඳපත් ක්‍රම ක්‍රමයෙන් කපා හැඳ බොකුරු පැහැරි පැහැරි සේ උන් මුසුප්පු වුවත් එළී ගෙන තිබෙන ලෙසට අතරතුරෙන් හැඳ පත් දෙකක් තුනක් විතර තිබිය දී සෙසු හැඳ පත් කපා ලූ ය.
එ දවස් රෑ අවුත් හැඳ වැද හෝනා ම හැඳ පත් කඩා ගෙන බිම හිණ. හිස ත් දණ ත් එක් ම වැද ගත. එ වේලෙහි නැඟී සිට වැද හිඳ මා වැදහෝනට යන්නේ ත් කොයි ද, මුඹ හැමට නවා තැන් දී වැද හෝනා හැඳිනු ත් නූයෙමි[4]. අනේ මා කරන්නේ කිම් දැ’යි කිවු ය. ‘පුතණ්ඩ, අපි කුමක් කරමෝ ද? කුඩා කොල්ලන් වළකා ලන්ට කොට පිළිවන්ද? නො කරන්ට කීවොත් කරන්නා ම වූ ය. වන්නාට ය. මුසුප්පු වත් ප්‍රයෝජන කිම ද ? මේ වේලේ යා හැකි තැනක් නැති බැවිනුත් ගිය ත් ඉඩ වගාවක් පෙනෙන්ට නැති බැවිනු ත් අවසරයක් කොට ගෙන වුවත් සැතපුණ මනා වේ දැ යි’ යි කියා ලා දියණියන් බණවා ලා ‘පුත, තොපගේ බෑණන් වැද හෝනට අවසරයක් පෑ ලව’යි කිවුය. එයිත් මෑණියන් කියන්නා ම එක් ඇළයකට නැමී ගෙන ‘මෙසේ අවුත් වැද හොත මැනැවැ’යි කිවු ය. කුම්භඝෝෂකයන් මැළිව හිඳිනා ම ‘රෑ දෙ වරු නො නිඳා හිඳිනට පිළිවන් ද? තුලුන් පෑලූ අවසරයේ ගොසින් වැද හොවිද්ද මැනැවැ’යි කිවු ය.
උයි ත් එ දවස් ගොසින් උන් හා සමග එක තැන හෙව මෑණියෝ යම් අදහසකින් හැඳ පත් කැප්පවූ නම් හැඳ පත් කැප්පවූයේ මේ නිසා යයි තමන් නොදත් හෙයින් උන්ගේ ඒ අදහස ම සිද්ධ කළහ. තමන්ගේ අදහස වරදවා පීහ. ඒ නියාවක් වූ නියාව මෑණියන්ට හඟවන්ට කුමාරිකාව හඬා පුව. ‘හැයි කුමක් දැ’යි විචාළ කල්හි මෙබන්දෙක් වී යයි කුමාරිකාවෝ කිවු ය. ‘වන්නාට යහපත, කරන්නේ කිම්ද? ඒ දරුවන්ගේ ත් තොපගේ ත් කවර වරදෙක් ද? සංසාර දෝෂයක් වුව, තොපත් හැම දවස් ම මෙ ලෙසින් හිඳිනට බැරි බැවින් එක් තැනෙක රැකුණ මැනව. තෙල දරුවන්ට ත් පිසලා ලන කෙනකුන් ඇත මැනව. උනු ත් හැම දවස්ම මෙ ලෙසින් දවස් යවන්නට බැරිය. පිස ලාලන කෙනකුන් ඇත මැනවැ’යි කියා ලා බැළයාණන්ට කියා ගෙන හුන් දරු කම එවක් පටන් හැර බෑන කළහ. ඌ දෙපක්‍ෂය ත් එ වක් පටන් සමඟ ව විසූ ය.
කීප දවසක් ගිය කලට බැළයන් හිඳිනා වීථියෙහි උත්සවයක කරන්ට ත් විධාන අසා ත් යම් කෙනෙක් උත්සව නොකොළෝ නම් උන්ට දඩත් නිළ කරන්ට විධාන කර එවන්ට ත් කුම්භඝෝෂකයන්ට නො හැඟෙන ලෙස රජ්ජුරුවන්ට පුර වධු කියා යවු ය. කියා යවු ලෙසට ම රජ්ජුරුවෝ ත් විධාන කොළෝ ය. එ කල කුම්භඝෝෂකයන්ගේ නැන්දණියෝ බෑනණුවන්ට ‘මේ වීථියෙහි රදොල් විධානයෙන් උත්සවයෙක් ඇති වි ය. කළ මනා කුමක් දැ’යි කිවු ය. ‘නැන්ද, මම බැළ මේ කොට ත් ඉඳුරා ජීවත් ව ගත නො හෙමි. කුමක් කෙරෙම් දැ’ යි කිවු ය. ‛හෙම්බා බෑන, ගිහි ව රැකෙන කල නයක් නො ගෙන බැරි ය. නොපමා වූවො ත් දරන නය ගෙවන්ට ත් බැරි නො වෙයි තමාම පෙර පින් නො කළ කල රජදරුවන්ගේ විධාන නො කරන්ට බැරි ය. හැර ගත් නය නම් පිරිමි කල කවර ලෙස ත් ගෙවිය හැක්ක. යව, ගොසින් ලැබෙන තැනකින් මස්සක් වුව ත්, දෙ මස්සක් වුව ත්, ගෙනෙව’යි කිවු ය. උයි ත් මහා අධනි කෙනකුන් සේ මුසුප්පු ව ගෙන සතළිස් කෙළක් වස්තු තුබූ තෙනින් දුක සේ එක මස්සක් ගෙනවු ය.
පුර වධූ ද ඒ මස්ස අතට හැර ගෙන ඒ රජ ගෙට යවා පියා තමන් අත රන් ඇති හෙයින් ඉන් වියදම් කොට උත්සව කොට ලා නැවත දෙතුන් දවසකින් රජ්ජුරුවන්ට කියා යවා ආදී ලෙස ම උත්සව කරන්ට ත් නො කළවුන්ට දඩත් නියම කරවා ගෙන පළමු කී ලෙස ම බෑනණුවන්ට කීහ. උයි ත් බලවත් මුසුප්පු ඇති වත් දඩෙක් වී නම් තුන් මස්සෙකින් නොයන හෙයින් පලා ගොස් දර දියට බඳුව ලා[5] සතළිස් කෙළින් තුන් මස්සක් ගෙනවුත් දුන්හ. පුර වධූ ඒ රනුත් රජ්ජුරුවන්ට යවා පියා තමන්ගේ රනෙකින් උත්සව කොට ලා කීප දවසක් ගිය කල මිනිසුන් එවා ලා බැළයාණන් ගෙන්වුව මැනැවැ’යි රජ්ජුරුවන්ට කියා යවු ය. රජ්ජුරුවෝ උන් සොයා මිනිසුන් යවු ය. ගිය මිනිස්සු කුම්භඝෝෂකයෝ නම් කවුරුන් දැයි විචාරා සොයා යන්නාහු දැක ගෙන ‘එව. පින්වත, රජ්ජුරුවන් වහන්සේ තොප කැඳවා වදාළ සේකැ’යි කිවු ය. උයි ත් බා ගොසින් ‘මා රජ්ජුරුවන් හඳුනන්නේ නැතැ’යි කියාලා යන්නට මැළියෝ ය. ඉක් බිත්තෙන් බලයෙන් ම අත අල්වා ගෙන ඇද්දෝ ය.
නැන්දණියෝ ත් උන් දැක නොහඳුනන්නා සේ ‘හැයි, කොළ, තොප වැන්නෝ ත් මාගේ බෑනණුවන් මා ත් බල බලා සිටිය දී අත අල්වා අදිනට නිස්සෝ දැ’යි කියා ලා බැණ ‘තෙපි රජ්ජුරුවන් වහන්සේ ළඟට එව. ගුණෙන් කැඳවා ගෙන යාම තිබැද්දී තොප ඇද පැද මෙ ලෙස කළවුන්ගේ අත් කප්පවමි’යි කියා ලා දියණියන් කැඳවා ගෙන පෙරාතු ව පලා ගොසින් රජ ගෙට වැද ලා කොට ගෙන ගිය වෙස හැර ලා සව් බරණ ලා සැරහී දවස් ගණන විසූ ලෙසට දෙවතා දූන් දෙන්නකු පරිද්දෙන් එකත් පස්ව සිටියහ. කුම්භඝෝෂකයනු ත් ඇද ගෙන ගියහ. ගොසින් වැඳ ලා සිටියවුන්ට රජ්ජුරුවෝ ‘පූර්‍ණකුම්භාකෘති වූ කුම්භඝෝෂකයෝ නම් තෙපි දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි මෙ තෙක් වස්තු නො නසා පිරිමසා තබා ගෙන අපටත් භාග නොදී තොප ම ප්‍රයෝජන විඳින්නේ හැයි දැ’යි විචාළෝ ය.
‘ස්වාමීනි, මට වස්තු කොයින් ද? බැළ මේ කොට රැකෙන් නෙම් වේ දැ’යි කිවු ය. ‘අපට හඟවන්නේ හැයි ද? නො හඟවා කියව’ යි කිවු ය. ‘ස්වාමීනි, මා සඟවන්ට කාරණ කිම් ද? වස්තු ඇත්නම් මේ සා මහත් ආයාසයක් ගත මනා ද? මාගේ වස්තුවෙක් නැතැ’යි කිවු ය. රජ්ජුරුවන් තමන් ගෙන්වා ගත් දෙතුන් මස්ස උන්ට පෑ ලා ‘මේ රන් කාගේ දැ’යි විචාරා උනු ත් ඒ රන් හැඳින ගෙන ‘ඉතිකින් නටිමි. රජ්ජුරුවන් වහන්සේට කෙසේ සම්භ වූ නියා දැ’යි ඈත මෑත බලා අර මුන් දෙ පුතු මවුන් වස්තු ඇති නියාවට දෙස් කියන්ට සැරහී සිටියා සේ යහපත් ව සැරහී ගෙන සිටියවුන් දැක ‘අනේ කට යුත්තක් බැරි නියා ය. රජ්ජුරුවන් වහන්සේ ම මුන් යවු නියා වේ දැ’යි සිතා ලා ‘කුමක් කියම් දෝ හෝයි කුමක් කෙරෙම් දෝ හෝ’යි සිත සිතා සිටියෝ ය. රජ්ජුරුවෝ ‘කිය, පින්වත, කුමක් නිසා මෙ ලෙස කෙළෙහි දැ’යි කිවු ය.
‘රජ්ජුරුවන් වහන්ස, මට පිහිටෙක් නැතැ’යි කියාලා ‘මටත් වඩා පිහිටක් වුව මනා දැ’යි කී කල්හි ‘එ සේ පිහිට වන සේක් වී නම් යහපත් වේදැ’ යි කිවුය. ‘පිහිට වෙමි. තොපගේ වස්තුව කෙතෙක් ඇද්දැයි’ විචාරා ‘වඩා නැත, සතළිස් කෙළක් විචර ය’යි කීකල්හි ‘වුව මනා කුමක් දැ’යි විචාරා ‘ගැල් වුව මැනැවැ’යි කී කල්හි නො එක් සිය ගණන් ගැල් යවා වස්තු ගෙන්වා ගෙන සෙණ්ඩුවාලුවෙහි රැස්කරවා ලා නුවර වැස්සන් ගෙන්වා ලා ‘මේ නුවර මෙ තෙක් වස්තු ඇත්තේ කා ගේ දැ’යි විචාළෝ ය.
‘කාගේ ත් නැත, වියදම් බොහෝ හෙයින් තව මුඹ වහන්සේ ගෙ ත් මෙ තෙක් වස්තු ඇත් නම් වේ දැ’යි කී කල්හි ‘මෙ තෙක් වස්තු ඇත්තවුන්ට කළ මනා කිම් දැ’යි විචාරා ‘තනතුරක් දුන මනා වේදැ’යි කී කල්හි මහ පෙරහරින් සිටු තනතුරු දීලා උන් කෙරෙහි රැකුණු දුවණියනු ත් ඒ තරම් සරුසාර මිනිසුන් අපවත් නො කළ මනා හෙයින් උන්ට ම පාවා දෙවා ලොවි සම්පත් දී නිමි කල්හි උන් කැඳවා ගෙන බුදුන් කරා ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මුන් දැක වදාළේ ඇත්තේ වේද? මුන් තරම් සරු සාර කෙනෙක් නැත. සතළිස් කෙළක් විතර වස්තු ඇති වත් ඉපිල්ලාවාසි කමෙක් වේ ව’ යි අභිමානයෙක් වේව යි නැත. කිසිවක් නැති දුක් පත් එකක්හු මෙන් රෙදි කඩක් හැඳ ගෙන බැළ වීථියෙහි බැළයන්ට බැළ මේ කොට ලා ඉඳිති. මම මුන් හඬ ගා ඇවිදිනා කට හඬින් ම සධනී නියාව දැන මෙ සේ වූ උපදෙසින් ගෙන්වා ගෙන වස්තු ඇති නියාවට ඉන් එවා ගත් රන් පෑ ලා උන් ම ගිවිස්වා ලා ඒ වස්තුව ගෙන්වා ගෙන සිටු සේ සත් දෙවා ලා උන් ගේ සම්පත උන්ට ම නිල කරවා ලා මුන්ගේ තරම් දැන අප ගෙන් දියණි කෙනකුන් මුන්ට පාවා දෙවා ලා බන්ධුන් කොට ගතිමි. මෙ සේ වූ පුරුෂ රත්නයක් දුටු විරූ නැතැ’යි කිවු ය.
බුදුහු ඒ අසා වදාරා ‘මහ රජ, යම් කෙනෙක් මෙ සේ මෙ ලෙස කියවා ගෙන ජීවත් වෙත් නම් ඒ යහපත. සොරකම් ආදිය කොට කරන ජීවිකා නම් මෙ ලොව ත් වධබන්‍ධන ආදියට පැමිණීමෙන් දුක් එළවයි. පර ලොවත් ඒ මුල්ව වන සැපයෙක් නැත. සම්පත් නැත ත් චතුර් විධ වූ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය ඇති ව සිහි නුවණින් යෙදී කරන දෙයකුත් යහපත් කොට කියන දෙයකුත් කුසල් වඩනා ලෙස ම යහපත් කොට සිතා නැවත නිදන් බලා කරන පිළියමක් සේ කළ කල මෙ බන්දෙක් වෙයි කියා මෙ සේ හැමයෙහි ම පරීක්ෂාකාරීව තමා ගෙන් තොරතුරක් අනුන්ට නො පෑ ගිහි වූවොත් තුලා කූට-මාන කූටාදිය හැර කෘෂි වණික් ආදී වූ නිරවද්‍ය ජීවිකාවෙන් ද ශාසනික වූවොත් කුහනා-ලපනාදී වූ මිථ්‍යාජීව ය හැර දැහැමෙන් සෙමෙන් නො පමාව වසන්නාහට යස ඉසුරු වඩනේය’යි වදාළ සේක.
බණ වදාරා නිමි කල්හි කුම්භඝෝෂක සිටාණෝ විසූ ලෙසට සංග්‍රහ ලත් හෙයින් නම් කියවාලා පස් පැණි තකවන්නා සේ[6] රජ්ජුරුවන් ම කොට ලූ සහායෙන් සතළිස් කෙළක් වස්තුවට ත් වඩා සාරව රැක්ක යුතු වූ සෝවාන් පෙලෙහි පිහිටීමෙන් බුදුන් ගෙන් ලොවුතුරා සැපත් ලදහ. සෙසු බොහෝ දෙන නිවන් මහ මුහුදින් ඵල සමවත් රුවන් ලදහ. මේ දේශනාවත් පස්වා දහස මුළුල්ලෙහි බොහෝ දෙන හට බොහෝ ප්‍රයෝජන සාධන්නේ විය.
එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් යම් සේ ධම් සෙනෙවි ස්වාමීන්ගේ සද්ධි විහාරික කෙනකුන් වහන්සේ උපාධ්‍යායයන් වහන්සේ ගෙන් උගත් කා ගියා සී කමටහන තමන් වහන්සේ ගේ චරිතයට අනුකූල නො වන හෙයින් චරිත දැන්ම සියලු ලෙසින් බුදුන්ට මුත් සෙසු තැනට බැරි නියාව හඟවා සාර මසක් මුළුල්ලෙනුත් රහත් වන්ට නිසි වත් රහත් විය නො හී පසු ව බුදු රජුන් වහන්සේ භවොත්පත්ති නිමන්ට මවා දී ලූ රත් නෙළුම් මලක් දැක රහත් වන ජාති ඇතුළු ව පිට පිට හෙළා පන් සියක් ජාතියෙහි බඩාල් ව උපන් හෙයින් දවා ඇණ වැඩූ රත්රන් දැක අභ්‍යාසයට දුටු රත්නෙළුම් මල වර්ණ කසිනයක් කොට ගෙන ධ්‍යාන උපදවා ගෙන එ ම නෙළුම් මල පර වූ නියාව ත් නැති වූ නියාවත් දැක
‘හුත්වා අභාවතො නිච්චං - උදයව්‍යය පීළිතා,
දුක්ඛා අවසවත්තිත්තා – අනත්තාති තිලක්ඛණං’
යනු හෙයින් ඉපැද ලා නැති වන හෙයින් අනිත්‍යයහ. උදාවි යෙන් පෙළෙන හෙයින් දුක්හ. තමා විසිය නො පවත්නා හෙයින් අනාත්ම ය යි තිලකුණු මෙනෙහි කිරීමෙන් රහත් වූ සේක් ද, ඒ රහත් වීමට රත්රන් දැක්මේ කළ අභියෝගය නිසා රත් නෙළුම් මලෙහි වර්ණය මුල් වී ද, එ පරිද්දෙන් කුසල්හි තර ව අභ්‍යාස කිරී මෙන් අකුසලින් දුරු ව ලොවී ලොවුතුරා කුසල් සිතින් සිත් සතන් පවිත්‍ර කට යුතු.