තව ද විපක්‍ෂ භජන නපුරු නියාව හඟවන්ට විපක්ෂ සේවක භික්ෂූන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
ඒ භික්ෂූන් වහන්සේට ද වැළිත් මිත්‍ර ව හිඳිනා නමෙක් දේවදත්ත පක්‍ෂයෙහි ය. ඒ දේවදත්ත පාක්ෂික නමත් එක් දවසක් වහන්දෑ හා එක් ව සිඟා වළඳා පියා එන භික්ෂූන් වහන්සේ දැක ‘කොයි ද ගියේ ය’යි විචාරා ‘සිඟා වළඳන්ට අසවල් තැනට ගියම් හ’යි කී කල්හි ‘සිඟා උපන් දැ’යි විචාළ දෑය. ‘උපනැ’යි කී කල්හි ‘සිඟා ආයාස ගැන්මෙන් ප්‍රයෝජන කිම්ද? අපට උපදනා නියාව බලවත. එකි එකී සැළියේ බත් දස දස දෙනකුට සෑහෙන ලෙසින් දවස් පතා බත් සැළි පන් සියයක් විචර උපද්දී. කීප දවසක් රඳන්ට වුව මැනැවැ’යි කී දෑ ය. උන් වහන්සේ ද උන් දෑගේ බසින් දවස් ගණනක් රඳා ලා රඳා හිදිනා තැනට ගිය සේක.
වහන්දෑ ද එ පවත් දැන ලා බුදුන් කරා කැඳවා ගෙන ගොසින් ‘ස්වාමීනි, මූ දෙවිදතුන්ට පක්‍ෂ ව උන්ට උපන් දෙය වළඳතී’ කී සේක. බුදුහු ත් ‘සැබෑදැ’ යි විචාරා ‘ස්වාමීනි, මම ඊ එක මිත්‍ර නමක් නිසා දවස් ගණනක් රැඳිණිමි. දෙවිදතුන්ට මා පක්‍ෂ ව හුන්නේ නැතැ’යි කී සේක. බුදුහුත් ‘කිසි සේත් තොප උන්ගේ ලබ්ධිය ගත්තේ නැත. එතෙකුදු වුව ත් දුටු දුටු කෙනකුන්ට නැමී ඇවිදුව. එ ලෙස පැවැත්ම දැන් මතු නො වෙයි. යට ගිය දවසත් දුටු දුටුවන් කී ලෙසට නැමී ම ඇත් ම ය’යි වදාරා ‘ස්වාමීනි, දැන් වන්නා දුටු දුටු කෙනකුන්ට නැමෙන බව ප්‍රත්‍යක්‍ෂ කොට ම දුටුමෝ වේද? යට ගිය දවස එ ලෙසක් ඇති නියාව දැනෙන්ට අප නු දුටු හෙයින් නැත. වදාළ යහපතැ’යි වහන්දෑ ආරාධනා කළ කල්හි මහිලාමුඛ නම් ඇතාණන් ආදි යහපත් තරම් ඇති ව ත් පසු ව ළඟ හිඳ කථා කරන සොරුන්ගේ සොර කම් පහළ රෞද්‍ර කථා නිසා චණ්ඩ පරුෂ වූ නියාවත් පසුව බෝසතුන් උපදෙසින් ළඟ හිඳ කථා කරන තාපසවරුන්ගේ කුසල් පිළිබඳ කථා අසා ඊට නැමී මොළොක් වූ නියාව ත් වදාරන සේක්-
“පොරාණ චොරාන වචො නිසම්ම,
මහිලා මුඛො පොථයම’න්වචාරී,
සුසඤ්ඤතානං හි වචො නිසම්ම
ගජුත්තමො සබ්බගුණෙසු අට්ඨා”
යනාදීන් මහිලාමුඛ ජාතකය විස්තර කොට වදාරා එකෙක තරයක් නැති චඤ්චල සිත් ඇති වීමෙන් බොහෝ උවදුරු වන හෙයින් ඒ හරවන නිසා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් සපදානචාරික ධුතඞ්ගානුරූප වූ භික්‍ෂාටනයෙන් වන්නා වූ ජීවිකාවෙන් ජීවත් වතොත් මුත් එක් විසි අනෙස්නෙන් ජීවත් නොවෙත් නම් ඌ තුමූ තමන්ට ම වන්නා වූ ලාභ ය හෙළා දන්නෝ නො වෙති. එහෙයින් එලෙස කටයුතු ය. ධර්මාන්විත ව තමහට සම්භ වන දෙයක් මුත් අනුන්ට පැමිණෙන ලාභ ත් නො පැතිය යුතු.
අනුන්ට පැමිණෙන ලාභ ය පතන්නාවූ මහණ ඊට ම කරන යත්නයක් මුත් උපචාර සමාධියකට වේව යි, මාර්‍ග සමාධියකට වේව යි පැමිණ ගත නො හෙයි. අල්පලාභී වුවත් දිවි පෙවෙත් වටනු නිසා සිඟා ලද දෙයකින් යපෙන්නා වූ අත්‍යන්ත පරිශුද්ධ වූ ආජීව ඇති සිඟා ගැන්මෙහි කුසීත නො වන්නා වූ භික්ෂූන්ට දෙවියෝත් ප්‍රශංසා කෙරෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ලාභ ප්‍රාර්‍ථනාවක් ඇත් නම් ඒ හැර නිවන් ම පතා කුසල්හි හැසිරිය යුතු.