තව ද ධර්‍ම ප්‍රසාද ය සත්‍වයන්ට උපදවනු නිසා ධර්මාරාම තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙසේද යත් -
බුදු රජුන් වහන්සේ පන් සාලිස් හවුරුද්දක් විතර ජීවත් ව සිට ලා ‘සාර මසක් විතරින් පිරිනිවන් පයිමි’ යි වදාළ කල්හි ලක්‍ෂ ගණන් වහන්දෑ බුදුන් පිරිවරා ගත් සේක. ඉන් පුහුදුන් වහන්දෑ හඬන සේක. වලප්නා සේක. රහතන් වහන්සේට ධර්‍ම සංවේග උපන. හැම තැන් ම ‘කුමක් කරමෝ දැ’ යි කියා ඇවිදිනා සේක.
ධර්මාරාම නම් තෙර කෙනකුන් වහන්සේ වහන්දෑ කරා නො යන සේක. වහන්දෑත් කුමක් කරන්නේ දැ’යි කීවත් බැණ නො නැඟී ‘බුදුහු ත් සාර මසක් විචරින් පිරිනිවන් පානා සේක් ල. මම රහත් ව ගත නුහුණුයෙමි. බුදුන් ජීවත්ව හින්දදී ම රහත් වෙමී’ සිතා උත්සාහ කොට බුදුන් වදාළ බණ සලකන සේක. වහන්දෑ කරන කථාවටත් ආලය හැර බණ හා කථා කරන සේක. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, ධර්මාරාම තෙරුන් වහන්සේට මුඹ වහන්සේ කෙරෙහි ස්නේහ පමණකු ත් නැත. ‘බුදුන් පිරිනිවන් පානා සේක. කළ මනා කිම් දැ’යි යන කථා පමණකු ත් අප හා කරන්ට නැත. වෙන් ව ලා ම ඇවිදිනා සේකැ’යි දැන්වූ සේක. බුදුහු ත් ඔබ කැඳවා ගෙන්වාලා ‘සැබෑ ද? තොපි තෙල ලෙස කරවු දැ’ යි විචාරා ‘සැබැව’ යි කී කල්හි ‘කුමක් නිසා එලෙස කරා දැ’යි විඩාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේ සාර සමක් විචරින් පිරිනිවෙන හෙයිනු ත් මා තව රහත් විය නුහුණු හෙයිනුත් වනු නිසා උත්සාහ කොට ගණ සඞ්ගනිකා වාස ය හැර ධර්‍මය ම සිතමින් දවස් යවමී’ කී සේක.
බුදුහු ත් තුන් විටෙක සාධු කාර දෙවා වදාරා ‘මහණෙනි, මා කෙරේ ලෙංගතු කෙනකුන් කළ මනා තෙල ලෙස ම ය’යි වදාරා තමන් වහන්සේ පිරිනොනිවෙන තෙක් ‘ධර්මාරාම තෙරුන් වහන්සේ රහත් කරවනු නිසා බණ වදාරන සේක් ‘ශමථ විදර්ශනාදි ධර්මයෙහි ඇලී වසන්නා වූ, කියත ත් ඊ ම දෙයක් කියන්නා වූ සිතතත් ඒ ම සිතන්නා වූ මහණ ප්‍රගුණ ග්‍රන්ථයක් සිතින් හැරී නොයන්නා සේ සත් තිස් බෝධිපාක්ෂික ධර්මයෙනු ත් නවලොවුතුරා දහමිනුත් පඤ්චවෝකාර භවයෙහි නාම රූප දෙක මෙන් වෙන් නොවෙති වදාළ සේක. දේශනා කෙළවර ධර්මාරාම තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් සසර දුක් අත් හරිනට සිත තොත් ධර්මාභියෝග ය අත් නො හරනට සිතිය යුතු.