265. කෝකාලික වස්තුව

star_outline

තව ද වාක් පරුෂයෙහි නපුර දක්වන්ට කෝකාලික වස්තුව කියමු.

කෙසේ ද යත් -

දෙවිදතුන්ට අග සවුව සිටි කෝකාලික තෙමේ තමාගේ කට ම නිසා පදුම නම් නරකයෙහි උපන. ධම් සෙබෙයි රැස්ව හුන් වහන් දෑ ‘ඇවැත්නි, කොකාලිකයෝ දෙ අගසවුවන් වහන්සේට බැණ දොඩා නිරෑ වන්හ’යි කථාව ඉපැද වූහ. බුදුහු ත් ඒ අසා වදාරා ‘මහණෙනි, තුලූ තමාගේ කට නිසා නටුයේ දැන් මතු නො වෙ යි. යටගිය දවස හිමවු පියස එක් විලෙක ඉදුබෙක් වෙසෙ යි. හංස පැටවු දෙන්නෙක් ගොදුරු කා ඇවිදිනාහු ඒ ඉදුබා හා පුරුදු ව ගෙන එක් දවසක් ඉදුබාට ‘සබඳ, අපගේ හිමවු පියස සිතු කුළු පව්වෙහි රන් ගුහා ඉතා යහපත. අප හා කැටි ව එවුදැ’යි විචාළෝ ය.

‘මා අහසින් නැඟී යා නො හෙත් කෙ සේ එම් දැ’යි කීය. ‘ඉදින් තෙපි කට රැක ගත හෙවු නම් කැඳවා ගෙන යම්හ’යි කිවුය. ‘මට නො පිළිවන් ව තිබෙන ගමන කරවා ලන කල පිළිවන් ව තිබෙන කට රකිනට බැරි කවරේ ද? මුවෙන් බැණ නො නැගෙන බව වේද? මා කැඳවා ගෙන ගිය මැනවැ’යි කී ය. උයි ත් ‘යහපතැ’යි කියා ලා ඉදුබා එක් දඬු කඩක් මැදින් ඩෑ ගත් කලට හංසයෝ දෙන්න දෙ කෙළවර ඩෑ ගෙන අහසට නැංගාහ.

හංසයන් දෙන්නා එ ලෙසින් ඉදුබා ගෙන යන්නා දැක ගම් දරුවෝ ‘හංසයෝ දෙන්නෙක් ඉදුබකු අහසින් ගෙන යෙතී’ කිවු ය. ඉදුබාත් ‘මාගේ මිත්‍රයෝ මා තමන් කැමති තැනකට ගෙන යෙති. දුෂ්ට කොල්ලනි, තොපට වූයේ කුමක් දැ’යි කියනු කැමැති ව හංස ගති ය ශීඝ්‍ර බැවින් බරණැස් නුවර රජගේ ඉද්දට ගිය කලට ඩෑ ගත් දණ්ඩෙන් කට ගැළවී ගොසින් සෙණ්ඩුලුවෙහි[1] හී ලා දෙකක් ව බිඳී ගියේ ය.

බුදුහු මේ ඉකුත් වත ගෙන හැර දක්වා ලා-

“අධීව වත අත්තානං - කච්ඡපො බ්‍යාහරං ගිරං,

සුග්ගහීතස්මිං කට්ඨස්මිං - වාචාය සකියා වධී

එතම්පි දිස්වා නරවිරිය සෙට්ඨ–

වාචං පමුඤ්චේ කුසලං නාතිවෙලං

පස්සසි බහුහාණෙන කච්ඡපං - ව්‍යසනං ගතං.”

යන ගාථා දෙකින් යුක්ත වූ බහුහාණිය ජාතකය විස්තර කොට වදාරා තව ත් බණ වදාරන බුදුහු යම් කෙනෙක් අනුන්ට හෙළා නො කීමෙන් වාක් සංයම ය ඇත්තෝ ද, කියන බණන බසෙක් ඇත්නම් නුවණින් සලකා කිය යුතු බසක් ම කියත්ද, සන්හුන් සිත් ඇත්තෝ ද, යම් කෙනෙක් අර්ථ පමණක් මුත් පාළි කියා ලිය නොහෙත් ද, යම් කෙනෙක් පාළි පමණක් කියා ලත් මුත් අර්‍ථ ප්‍රතිපාදන ය කොට කියා ලිය නොහෙත්ද, යම් කෙනෙක් පාළි ත් අර්‍ථ ත් කියා ලිය නොහෙත් ද, උන් ගේ කථා දුවා පීමක් නැති මාළු සේ රසවත් නො වෙයි. යම් කෙනෙක් පාළි වූ ලෙස අර්ථ ත් අර්ථ විරොධ ලෙස[2] පාළි ත් කියා ලත් නම උන්ගේ තෙපුල් නිරර්ථක කථා නැති වීමෙන් මීහිරි ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එහෙයින් නුවණැත්තවුන් විසින්-

“නාතිවේලං පභාසෙය්‍ය - න තුණ්හි සබ්බදා සියා,

අවිකිණ්ණමිදං වාචං - පත්තෙ කාලෙ උදීරයෙ.”

යන්නෙහි පිහිටා වාක් සංයම ය ඇති විය යුතු.

  1. සෙණ්ඩුවාලුවෙහි

  2. අර්ථ විරෝධ නො වන ලෙසට