තව ද කාය වාක් සංයම[1] නැති වීමෙහි නපුර දක්වන්ට හංස ඝාතක භික්ෂූන්දෑ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත්–
සැවැත් නුවර වසන යාළුවෝ දෙදෙනෙක් සසුන් වැද මහණ ව විවෙක වාසයට නිසි පිළිවෙතක් නැති හෙයින් එක් ව ම වසන සේක. උපසම්පදා වුව ත් ඒ දෙ නම ගණ සඞ්ගනිකා වාස ය හැර ගත නොහී එක් දවසක් අචිරවතී නම් ගඟට ගොසින් නහා පියා භස්සාරාමයෙන් දවස් යවමින් අවු තැප තැප සිටි සේක. ඒ වේලාට හංසයෝ දෙ දෙනෙක් අහසින් යෙති. අවු තපිමින් සිටි දෙ නමින් නමෙක් හකුරක් හැර ගෙන ‘තිලින් එක් හංසයකුගේ ඇසට ගසාලම් දැ’යි කී සේක. අනික් නම ගස්වනු නිසා ම බැරි ය’යි කී සේක. ‘එ සේ වී නම් අප දසාවේ ඇස තිබේ ව යි ඈත දසාවේ තුබූ ඇසට ම අතකුර ගසමි යි කී සේක. උන් වහන්සේගේ අතකුරු ගැසීම් දක්නා නිසා ම ‘එයි ත් බැරිය’යි කී සේක. ‘එ සේ වී නම් බැලුව මැනව’යි කියා ලා තුනැස් හකුරක් හැර ගෙන බුරවා ගසා ලූ සේක. හංස යා ත් හකුර හඬා ගෙන එන හඬ අසා පෙරළී බලා ලී ය. ඒ බැලූ වේලාට වට හකුරක් හැර ගෙන ගසා ලූ සේක. ඒ හකුරක් නැමී බැලූ ඇස වැද ගෙන අනික් ඇසින් පිටත් ව පලා ගියේ ය. හංසයා ත් හඬමින් කඩා ගෙන හී ඒ වහන්දෑගේ පා මුල ම හින.
එ තැන සිටි වහන්දෑ ත් ඒ දෘෂ්ටකම දැක ‘ඇවැත්නි, තෙලෙ බුදු සස්නට තබා සැදෑ ඇති ගිහීන්ට වුව ත් තරම් කටයුත්තෙක් නොවෙයි. දයා පමණකු ත් නැති ව ප්‍රාණ වධ කරන්ට කාරණ කිම් ද? තමා පාපභීරුක නො වත ත් පරූපවාද බව මනා වේ ද, යනාදී කියා ලා ඒ වහන්දෑ කැඳවා ගෙන ගොසින් බුදුන්ට පෑ සේක. බුදුහු ත් ‘සැබෑ ද? එ ලෙසක් කළා දැ’යි විචාරා ‘සැබැවැ’යි කී කල්හි ‘ මහණ, තෝ බුදුසස්නෙහි මහණ ව ගෙන කුමක් නිසා පන්සිල් පමණකුත් රක්නවුන් නො කරන දෙය කෙළෙයි ද? පුරාතන නුවණැත්තෝ ත් ගිහි ව රැකෙන්නෝ ත් සර්‍වඥානුශාසනයක් අබුද්ධෝත්පාද කාල ය හෙයින් නැත ත් දැන දැන කරන දෙයත් නොවන බැවින් වරද නැත ත් වරද ඇත්තා සේ සිතා ගෙන කුකුස් කළහ. මෙ බඳු බුද්ධොත්පාද කාලයෙක ඉපැද ඉනුත් බුදුසස්නෙහි මහණ ව පාපයෙහි හැකිළීම් පමණකුත් නො කොළෝ ය’යි වදාරා ‘පෙර නුවණැත්තවුන් කුකුස් කළ පරිදි කෙ සේ දැ’යි විචාළ කල්හි -
යට ගිය දවස කුරුරට ඉඳුපත් නුවර ධනඤ්ජය කොරව්‍ය නම් රජ්ජුරු කෙනකුන් රජ කරන කල්හි පුන් පැරුම් ඇති මහ බෝසත්හු ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසොවුන් කුසින් ඉපැද වැඩි විය පැමිණ තක්සලා නුවරට ගොසින් ශිල්ප ඉගෙන අවුත් පිය රජ්ජුරුවන් යුවරජ තනතුරෙහි පිහිටුවා ලූ කල්හි පියාණන් මළ පසු රජ පැමිණ දස රජ දහම් පවත්නා වූ උතුරු කුරු දිව උපන්නවුන් මෙන් කුරු රට උපන්නවුන් පන්සිල් රක්‍ෂා කරන හෙයින් බෝසත්හුත් පන්සිල් සකසා රකිති. යම් සේ මහබෝසත්හු පන්සිල් රකිත් නම් එලෙස ම රජ්ජුරුවන්ගේ මෑණියෝ ත් අග මෙහෙසුන් බිසොවු ත් යුවරජ තනතුරෙහි පිහිටා සිටි රජ්ජුරුවන්ගේ මලණුවෝත් පෙරෙවි බමුණානෝත් යටුවම්[2] ගසන ඇමැත්තාණෝත් රිය ඇදුරාත් සිටාණෝ ත් මණන තැනැත්තෝ ත් වාසල් රක්නා තැනැත්තෝ ත් නුවර වෙශ්‍යා දු ත් ය යි මූ හැම ම ත් සකසා පන්සිල් රකිති.
මෙසේ මේ එකොළොස් දෙනා පන්සිල් සකසා රක්නා කලට කලිඟු රට දන්ත පුර නම් නුවර කලිඟු නම් රජ්ජුරු කෙනකුන් රාජ්‍යය කරන කල්හි උන්ගේ රට වැසී නැති වි ය. කුරු රට ඉඳුපත් නුවර මහ බෝසතුන්ගේ අඤ්ජන වසභ නම් වූ මඟුල් ඇතා මහ පිනැති වි ය. වැඩකරු ය. මහ මේ කුළක් මෙන් අවුත් වැද ගිය නම් ඌගේ වැඩ කරුකම් නිසා වැසි වැස පියා නමු ත් ය යි දන්තපුර නුවර වැස්සෝ සිතා ගෙන රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් ඒ ඇතු ගෙනෙනු නිසා බමුණන් යවූහ. උයි ත් ගොසින්-
‘තව සද්ධං ච සීලං ච - විදිත්‍වාන ජනාධිප,
වණ්ණං අඤ්ජන වණ්ණෙන - කාලිඞ්ගස්මිං විනිම්භසෙ.’
යනු කියා ඇතු ඉල්වූහ. ඉල්වා ඇතු ගෙන ගිය ත් වැසි නැති කල්හි ‘ඉඳුපත් නුවර රජ්ජුරුවන් සිල් රකිනා හෙයින් උන්ගේ රට පස් දවසින් දස දවසින් දෙ පෝයෙන් මසින් වැසි වසී ල. ඒ පන්සිල් අපි ත් රකුමෝ නමුත් ඒ දන්ට නැත. දෑහිඟුලෙන් රන් පත ඒ පන්සිල් ලියා ගෙනෙව’යි පෙරළා ත් කලිඟු රට රජ්ජුරුවෝ බමුණනුත් ඇමත්තනුත් යවූ හ. උනුත් ගොසින් එකොලොස් දෙනාගෙන් ම පන්සිල් ඉල් වූ කල්හි කුරුධර්‍ම ජාතකයෙහි ආ ලෙසින් එ විවරකින් පන්සිලට හානි නැතත් යන්තම් කුකුසක් සිතා ගෙන මැළි වූහ. මැළිවලා ‘තෙලෙ විචරයකින් දැන කළ දෙයෙක් නො වන බැවින් පන්සිලට හානි නැතැ’යි කී කල්හි තමන් තමන් රක්ෂා කරන පන්සිල් රන් පත ලියා දුන්හ. කලිඟු රජ්ජුරුවෝ ත් රන් පත ලියා ගෙනා පන්සිල් දැක සමාදන්ව ගෙන යහපත් කොට ම රකිති. එ කල පන්සිල්හි අනුසසින් රට වැසිත් වැස පියා රට ත් ඉතා සමෘද්ධ වි ය. බුදුහුත් විස්තර ලෙසින් ම මේ කුරුධර්‍ම ජාතක ය වදාරා ලා කෙළවර -
‘ගණිකා උප්පල වණ්ණාසි - පුණ්ණො දොවාරිකො තදා,
රජ්ජුගාහො ච කච්චානො - දොණමත්තො ච කොලිතො
සාරිපුත්තො තදා සෙට්ඨි - අනුරුද්ධො ච සාරථි,
බ්‍රාහ්මණො කස්සපො ථෙරො - උපරාජා නන්‍ද පණ්ඩිතො,
මහෙසි රාහුල මාතා - මායාදෙවී ජනෙත්තිකා,
කුරුරාජා බොධිසත්තො - එවං ධාරෙථ ජාතකං’යි.
ජාතක ය නිමවා වදාරා ‘මහණ, මෙ සේ පෙර නුවණැත්තෝ මද දෙයෙහි ත් කුකුස් උපන් කල්හි තමන්ගේ පන්සිල් බුන් දෝ හෝ ‘යි සැක කළහ. තොප මා වැනි බුදු කෙනකුන් ගේ
ශාසනයෙහි මහණ ව ලොක වැද්දව තිබෙන කටයුත්තෙහි කුකුසක් ම නො කරන්ට කාරණ කවරේ දැ’යි වදාරා බුදුහු ‘යම් කෙනෙක් අතින්[3] කළ මනා ප්‍රාණවධාදියෙන් නවතිත් ද, ප්‍රාණ වධාදියට නො යෑමෙන් පාදගමනයෙන් සිද්ධ වන දෙයිනු ත් නැවැත්තෝ ද, මෘෂාවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයෙනු ත් නැවැත්තෝ ද, සිතින් සිද්ධ වන ත්‍රිවිධ දුශ්චරිතයෙනු ත් නැවැත්තෝ ද, හැම වේලේ ම භාවනාභියෝගයෙහි යෙදී වෙසෙත් ද භික්ෂු ය යි උන්ට කියත් මුත් තොප සේ හත කුරු ගසා හංසයන් මරන්නන්ට භික්ෂු ය යි කීම යුක්ත නො වෙ යි’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ප්‍රාණ වධාදීන් දුරුව සුචරිතයෙහි හැසිර නිවන් දහම් පසක් කරන්ට උත්සාහ කටයුතු.
_________