තව ද උපද්‍රව සහිත මං සයක් ඇති ගමක් වේව’යි නුවරක් වේව’යි රක්නවුන් මං සය ම රකිතොත් මුත් එක මඟක් රැක්කැ’ යි සෙසු මං වලින් ඇති වන උපද්‍රව දුරු කට නො හැක්කා සේ චක්ෂුරාදී ස දොරින් පවත්නා කෙලෙස් වියවුල චක්ෂුරාදී වූ ෂට්ද්වාරයන් අතුරෙන් එක් දොරක් ම රැක්කැ’යි නිහඬ නැති නියාව අඟවන්ට භික්ෂුවහන්දෑ පස්නමක ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
එක් පස් දෙනකුන් වහන්සේගෙන් එක් කෙනකුන් වහන්සේ ඇසට විෂය වූ ඉෂ්ට රූපයෙහි ලෝභයක් වේව යි, අනිෂ්ට රූපයෙහි ද්වේෂයක් වේව යි, අසමපෙක්ඛණ වශයෙන් මෝහයක් වේව යි නූපදවා චක්ෂුද්වාර ය රකිනා සේක. එක් නමෙක් කනට විෂය වූ යහපත් ශබ්දයෙහි අනුනයක් වේව යි, නපුරු ශබ්දයෙහි ප්‍රතිඝයක් වේ වයි, අසමපෙක්ඛණ වශයෙන් මෝහයක් වේව යි නූපදවා ශ්‍රෝතද්වාර ය පමණක් රක්නා සේක. එක් නමෙක් නාසයට විෂය වූ යහපත් සුවඳෙහි ලෝභයක් වේව යි, දුර්‍ගන්ධයෙහි ද්වේෂයක් වේව යි, අසමපෙක්ඛණ වශයෙන් මෝහයක් වේව යි නූපදවා ඝ්‍රාණ ද්වාර ය ම රක්නා සේක.
එක් නමෙක් ජිව්හායට විෂය වූ යහපත් රසයෙක ලෝභයක් වේව යි, නපුරු රසයෙක ද්වේෂයක් වේව යි, අසමපෙක්ඛණ වශයෙන් මෝහයක් වේව යි නූපදවා ජිව්හාද්වාර ය රක්නා සේක. එක් නමෙක් කයට විෂය වූ යහපත් පහසෙහි ලෝභයක් වේව යි, නපුරු පහසෙහි ප්‍රතිඝයක් වේව යි, අසමපෙක්ඛණ වශයෙන් මෝහයක් වේව යි නූපදවා කාය ද්වාර ය රක්නා සේක. කොතලයකින් හෝ කෙණ්ඩිකාවකින් හෝ පැන් පරහන කෙනකුන් කට පමණෙකින් අකැප පැන් වැද්ද නො දී කෙමියෙන් වදනා පැනෙහි ආස්ථා නැත්තා සේ එකි එ කී ද්වාර ය මුත් සෙසු ද්වාරවල ආස්ථා නැති සේක.
එක් දවසක් පස් නම ම එක තැන් ව ‘මම රැක්ක නො හැකි දොර රකිමි, ‘මම නො රැක්කැකි දොර රකිමි’යි විවාද කොට ගෙන ‘බුදුන් විචාරා දනුම්හ’යි බුදුන් කරා ගොසින් ස්වාමීනි, අපි පස් දෙනමෝ ම චක්ෂුද්වාරාදි පස් දොරින් වෙන වෙන එකක් එකක් රකිනමු. පස් නමින් කැටි ව පස් දොර රකිම්හ. එ කි එකී නමකට සතර සතර දොරක් නො රැකෙයි. වෙන වෙන ම රකිනා දොරවලින් කවුරුන් රකිනා ද්වාර ය නො රැක්ක හැකි දැ’යි විචාළ සේක.
බුදුහු ඉන් එක් නමකු ත් පසු නො බස්වා එක නමකු ත් උස් නො කොට සරිගස්වා සිටුවන සේක් ‘මහණෙනි, තොප පස් දෙනා රකිනා දොරවල් වෙන වෙන ම රැක ලිය නො හැක්කේ නො වෙයි. ‘බල, එකෙක් ඇත. සෙසු දොරවල් නො රක්නා කල පත්ලෙයි සිදුරු පසක් ඇති කළයෙක එක සිදුරෙක පෙදක් ගන්වා ලා තෙල් වත් කළ යි සෙසු සිදුරු ඇස්වා නු ලූ කලට වත් කළ තෙල් නො තිබෙන්නා සේ එක දොරක් රැකි පමණෙකින් නො රැකෙ යි. වාසල් බොහෝ ඇති නුවරක් වට කළා වූ සතුරෝ සෙසු වාසල් මුළුල්ල හැර තබා ලා එක වාසලක් රැක්කයි බලත්ද? එ පරිද්දෙන් අවසරව තුබූ ද්වාරවලින් නො වදිත් ද? දැන් තමන් එ කි එ කී ද්වාර ය පමණක් රක්නාවා ද? පෙර පස් දොර නො රැක බොහෝ මුළාවට පැමිණියාවා ද’යි වදාරා ‘කවර කල දැ’යි විචාළ කල්හි ‘යට ගිය දවස තෙපි පස් දෙන රජ කුලෙයි ඉපැද තක්සලා නුවර රාජ්‍ය ය ගන්ට යන්නාහු අතුරු මඟ දී යකින්නන් පොළඹා ගන්නා නිසා මවා ලූ රූපයෙහි ද, කියන ගීයෙහි ද, උන්ගේ ශරීර සුගන්ධයෙහි ද, එළවා ලූ දිව බොජුන් රසයෙහි ද, උන්ගේ ඇඟ පහසෙහිද පෙළඹී කොස් ලායේ බැඳී ගිය මැස්සන් මෙන් ගැළවී ගත නො හිණ.
මම එ කල ත් දැන් කෙලෙස් සතුරන් නසා බුද්ධ රාජ්‍ය ය සාදා ගත්තා සේ තක්සලා නුවර සාදාගත්තෙම් වේද’ යනාදීන් තක්කසිලා ජාතක ය වදාරා ‘මහණෙනි, භික්ෂූන් විසින් නම් එක් දොර ම රකින්ට නියැලී නො හිඳ ස දොර ම රැක්ක මනා වේ දැ’යි වදාරන සේක් ‘මහණෙනි, රූපාදී සාරමුණු නමැති වල්හි ගැලී වසන රාගාදී කෙලෙස් සොරහු චක්ෂුද්වාරාදි වූ ස දොරින් එක දොරක් රැක්කැ’යි සෙසු දොරවල් නො රැක තුබූ කලට රැකි දොරින් නැවැත්ත ත් සෙසු දොරින් නවතිත් ද? එ හෙයින් ම හැම දොරවලින් ම සිහි නමැති දොරවල් පියා ගෙන සිත් සතන් නමැති ඇතුළු නුවර තුබූ ශීල සමෘද්ධ්‍යාදී ගුණ රුවන් පැහැර ගත නො දීම යහපත. එ සේ කට හුණු කෙනෙක් සප්ත විධ ආර්‍ය්‍ය ධන ප්‍රතිලාභයෙන් නො දිළිඳු ව සියලු දුකින් මිදෙති’යි වදාළ සේක. දේශනා කෙළවර පස් දෙනා වහන්සේ ත් සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ස දොර බොහෝ වුව ත් තුන් දොර පමණක් රැක නිවන් දහම් පසක් කට යුතු.
_________