තව ද සරු කෙත ලා ලූ බිජුවටක් මෙන් පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි වපුළ පින් බිජුවටින් ලොවී ලොවුතුරා ශස්‍ය ඵල ය සකසා සිද්ධ වන නියාව හඟවන්ට අඞ්කුර වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
මෙහි කථාව විස්තර විසින් යමක ප්‍රාතිහාර්‍ය්‍ය වත ආ ය. වදාරමින් හුන් විදම් හිණ සන්‍ධි කොට ලා අඞ්කුර දෙව් පුත් හට බණ වදාරන සේක් -
‘විචෙය්‍ය දානං සුගතප්පසත්‍ථං - යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ
එතෙසු දින්නානි මහප්ඵලානි – බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ’
යනු හෙයින් ‘දනක් නම් දෙන කල ගොයම් යහපත්ව නැඟෙන බිම් පරීක්‍ෂා කරන්නා සේ දන් පිළිගන්ට නිස්සවුන් පරීක්‍ෂා කොට ලා දිය යුතු. සරු කෙත් බලා වපුල බජුවට සේ පරීක්‍ෂා කොට ලා දී ලූ දනෙහි විපාක මහතැ’යි වදාරා තව ත් වදාරන සේක් ‘යම් සේ ගොයම් කළ බිම මාරතු ආදිය ඇති වී නම් ඒ ගොයම් නසාද, එ මෙන් යම් කෙනකුන්ගේ සන්තානයෙහි රාග ද්වේෂ - මොහ ය හා ඉච්ඡාව බහුල ව පවත්නේ වී නම් ඌ තුමූ ගොඩ ගොයමට මඬ හෝ මඬ ගොයමට ගොඩ හෝ තරම් නො වන්නා සේ දායකයන්ගේ දන් පිළිගැන්මට තමන් සන්තාන ශුද්ධි ය නැති බැවින් නො නිස්සහ. එ හෙයින් බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ ශ්‍රාවකයන්ට දුන් දෙයෙහි විපාක ඉන්‍දක දෙවි පුත්හු අනුරුද්ධ මහ තෙරුන්ට දුන් බත් සැන්ද මෙන් විපාක මහතැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඉන්‍දක දෙවි පුත් හා අඞ්කුර දෙවි පුත්හු සෝවාන් වූහ. තව ත් බොහෝ දෙනාට මේ දේශනාව සප්‍රයෝජන වි ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කල් දැන කරන ගොයමක් සේ සුළං බලා කරන යාත්‍රාවක් සේ කරන පින් කම් පින් කෙත් දැන ම කටයුතු.