261. අපුත්තක සිටාණන් ගේ වත

star_outline

කෙ සේ ද යත් -

ඒ සිටාණන් මළ නියාව අසා කොසොල් රජ්ජුරුවෝ ‘සම්පත් හිමි වන්ට නිසි දරු මලු කෙනකුන් නැති කලට මේ සම්පත් කවුරුන් සන්තක වේ දැ’ යි විචාරා ‘රජ දරුවන්ට වේ දැ යි කී කල්හි වස්තුවත් සුඟක් නොවන හෙයින් පරිවාර යවා සත් දවසක් විතරින් රජ ගෙට ගෙන්වා ගෙන සම්පත පිරිමස්වා තබ්බවා ලා තුමූ බුදුන් ළඟට ගොසින් ‘දවාල් කොට පියා අවුනැ’යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, මේ සැවැත් නුවර සිටාණ කෙනෙක් මළෝ ය. සත් දවසක් විතරින් ඒ සම්පත ගෙන්වා භාණ්ඩාගාරයෙහි ලවා අවසර වූයේ අද ම ය. ඒ නිසා මෙ තෙක් දවස් දකින්ට එන වේලෙන් අද වේලාව පැන නැංග’යි කිවු ය.

ඒ මිය ගිය සිටාණන්ගේ සැටි නම් රන් තළියෙන් නො එක් අග්‍ර රසයෙන් යුක්ත වූ භෝජන ය කන්ට ගෙනා කලට ‘මෙ සේ වූ දෙයකුත් තමා මිනිසුන් අනුභව කරන නියා ද? අප ලා කෙළනා නියා වේ දැ’ යි දඬු පත් හැර ගෙන බත් ගෙනාවවුන් මරා ලුහුබඳවා පියා මිනිසුන්ට වුව මනා ත් කැව මනා ත් මේ ය යි කාඩි වත් කරවා ගෙන[1] නිමුඬු සාලේ බත් කති. සළු සොලී[2] පිළීයක් හඳිනට ගෙනා කල ගෙනාවවුන් මරා නෙර පියා වක්කාරි පිළි රුස්වා හඳිති. නැඟෙන්ට යහපත් රථයක් ගෙනවු නම් රථ ය ගෙනාවවුන් මරා නෙර පියා ගොන් මාල්ලන් යෙදූ මාලු රථයකින් යෙති. හිසට කරන්ට හෙළකුඩ ගෙනා කලට එයි ත් හිසට නො කරවා පත් කුඩ මාලු හිසට කරවතී” යනාදීන් සිටාණන්ගේ පවත රජ්ජුරුවන් දැන්වූ කල්හි බුදුහු එ ලෙස උන් කරන්ට කාරණ වදාරන සේක් ‘මහ රජ, මෙයට යට ගිය දවස තගරසිඛී නම් පසේ බුදුන් දැක බතක් දෙවයි ඇඹේණියන්ට සම්මත කොට ලා තුමූ තමාගේ කට යුත්තෙක ගියහ. සැදෑ නැති තැනැත්තවුන් සිරිතක් සේ කියා ලා පලා ගියත් උන්ගේ ඇඹේණියෝ තමන් සැදෑ ඇති හෙයින් ‘මුන් දනක් දෙන්ට කියන බසක් අද විනා මා ඇසූ විරූ නැත. මුන්ගේ අදහස් කවරේ වුව ත් මාගේ අදහස් වූ ලෙසට දනක් දෙමි” යි පසේ බුදුන් වහන්සේගේ පාත්‍ර ය ආරාධනා කොට ලා හැර ගෙන මධුරාහාරයක් පුරා ලා දුන්හ.

බත් දෙන්ට විධානයක් කොට ලා ගිය සිටාණෝ ද පෙරළා ගෙට එන්නෝ ‘මහණ, ලද්දේ කිම් දැ යි විචාරා පියා පාත්‍ර ය අතට හැර ගෙන බැලූ තැනැත්තෝ මධුරාහාරය දැක සතුටු වුව මනා තැන මසුරු සිත් බලවත් හෙයින් මුසුප්පුව ගොසින් ‘ඉඳින් මෙ වැනි බතක් අපගේ කෙළි කොලු කෙනෙක් කැවූ නම් කර්‍මාන්ත නො මැළි ව කෙරෙති. මූ තුමූ බත අනුභව කොට ලා අනිත් කරන බලන දෙයක් නැති හෙයින් නිදති. අනේ බතෙක් නිෂ්ප්‍රයෝජන වූ බන්දේ’ යි සිතී ය. මහ රජ, මේ සිටු තගරසිඛී නම් පසේ බුදුන්ට බත් දෙන්ට විධාන කළ හෙයින් සත් වරෙක කාමස්වර්‍ගයෙහි උපන. දැක සිත පහදවා ගත නුහුණු අකුශලයෙන් මෙ ම සැවත් නුවර සත් වරෙක සිටු කුලයෙහි ඉපැද ලද සම්පත් විඳිනට මෙ පරිද්දෙන් ම අදහස් ලද නොහින.

දරුවන් නැති වන්ට කාරණ කවරේ ද යත් - සසර සිටිනා කල තමන්ගේ බෑ[3] කෙනකුන් මළ තැන උන්ගේ පුත් පැටවකු මූ තමාගේ ඇඟිල්ලේ එළී ගෙන ඇවිදිනා ගමනේ ‘මූ අපගේ පියාණන් වහන්සේ සන්තක වහල ය, සරක ය යනාදීන් කී කල්හි කුඩා පිය ව සිටි මේ සිටා ‘මූ තුමූ දැන්ම මෙ ලෙස කියති. වැඩුණවු නම් මේ සම්පතින් අපට කුමක් හැර ලත් දැ’යි කියා වලට කැඳවා ගෙන ගොසින් ලා එක් ගසක් මුලදී බොටුව අඹරා මරා පියා ඒ වල ම දමා පියා ඒ අකුශල කර්ම බලයෙන් හවුරුදු කෙළ ගණන් නරකයෙහි පැසී පියා අකුශල කර්‍ම ය තව නො ගෙවුණ හෙයින් මේ ජාතිය ඇතුළු ව සත් ජාතියෙක දරුවන් නැති සම්පත රාජ භාණ්ඩාර වී ය. මහ රජ, ඒ සිටා සිටු කුලවල උපදනට නිසි පරණ පිනුත් ගෙවිණ. අමුතුව පිනක් සිද්ධ වන්ට ත් නො වී ය. දැනුත් මිය මහා රෞරව නම් නරකයෙහි උපනැ යි වදාළ සේක.

බුදුන් වදාළ කථාව රජ්ජුරුවෝ අසා ‘අනේ ස්වාමීනි, සිටාණන් ගේ තරමක් නපුරු නියා ය. බත් බිජුවට ඇති වම ගොයම් නො කළා සේ මේ සා මහත් සම්පතක් ඇතිව මුඹ වහන්සේ වැනි බුදු කෙනකුන් වහන්සේ බල බලාත් පිනකුත් කට නුහුණු වූය. පින් කරන්නා තබා තුමූ ත් ප්‍රයෝජනයක් විඳ ගත නුහුණු වූ ය’යි කිවුය. බුදුහු ත් ඒ මුල් ව බණ වදාරන සේක් ‘මහරජ, යම් කෙනෙක් නිවන් සාදා ගත නුහුණු නම් එසේ වූ නුවණ නැත්තවුන්ට සම්භ වූ සම්පත් කකුළුවන්ට සම්භ වූ දරුවන් මෙන් නසයි. නුවණ නැත්තා වූ සත්‍වයෝ වස්තු ලෝභයෙන් වෙදබ්භ ජාතකයෙහි එක් කෙනකුන් අධික යෙළ දහසක් විතර අනුනු ත් නසා තමනුත් නැසී එක් කෙනකුන් විතරත් ඉතිරි වන්ට නු වූ වා සේ ලද සම්පත් නිසා සාර්ථක කරන උපදෙසක් නො දන්න හෙයින් අනුනුත් නසති. තුමූත් නැසෙති’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ලද සම්පතෙක් ඇත් නම් අපුත්තක සිටු සේ නොව ලොවී ලොවුතුරා සැපත් ම සාදන්ට උත්සාහ කටයුතු.

  1. බත්කරවා ගෙණ

  2. සොලි

  3. බැණා