260. සක් දෙවිඳුගේ වස්තුව

star_outline

තව ද සියලුම දුකට මුල්ව සිටිනා තෘෂ්ණාව නසා පී කලට බිජු වට නට කලට ගොයම් නැත්තා සේ සියලු ම දුක් නැති නියාව හඟවන්ට සක් දෙවිඳු ගේ වස්තුව දක්වමු.

කෙ සේද යත් -

එක් සමයෙක තව්තිසා දෙව් ලොව දෙවියෝ රැස් ව හිඳ ‘දනින් කවර දනෙක් උතුම් දෝ? රසයෙන් කවර රසයෙක් උතුම් දෝ? ඇල්මෙන් කවර ඇල්මෙක් උතුම් දෝ? අර්හත්‍ව ය කුමක් නිසා උතුම් දෝ හෝ’ යි මේ ප්‍රශ්න සතර උපදවා ලූහ. උපදවා ලූ පමණක් මුත් මොළවාලූ ගිනි මහත් වූ කලට නිවා ලිය නො හෙන්නා සේ ප්‍රශ්නයෙහි සරූප ය දැන ගත හෙන්ට එක දේවතා කෙනකුත් සමර්ථ නොවූහ. එක් දේවතා කෙනෙක් අනික් දේවතාවාණ කෙනකුන් අතින් විචාරති. ඌ අනික් දේවතාවාණ කෙනකුන් අතින් විචාරති. දස දහසක් සක්වළ දෙවියෝ ම විචාළ මනා ම ප්‍රශ්නයක් හෙයින් දොළොස් හවුරුද්දක් මුළුල්ලෙහිම විචාරා ඇවිද්දෝ ය. දොළොස් හවුරුද්දක් විචරිනු ත් සනිටුහනක් නොදැක දස දහසක් සක්වළ දෙවියෝ මේ සක්වළට රැස් ව සතර වරම් රජුන් කරා ගොසින් ‘දෙවතා සන්නිපාතය මහත: කුමක් නිසා දැ’යි කී කල්හි ‘ප්‍රශ්න සතරක් සිතා ලා ඒ ප්‍රශ්නවල සනිටුහන් නො දැනෙන හෙයින් රැස්වූහ’යි කිවු ය.

ප්‍රශ්න කවරේ දැ’යි විචාරා ප්‍රශ්නත් අසා දැන ‘තෙල ප්‍රශ්න වල අර්ථ නො දැනෙන්නේ තොප හැම දෙනාට මතු නො වෙ යි. අපටත් නොදැනේ මය. බල, එකෙක් ඇත. අපගේ සක් දෙව් රජ්ජුරුවන් වහන්සේ නුවණින් පිණින් අප හැමට ම වැඩී සිටිනා සේක. දහසක් දෙනා සිතා ලූ ප්‍රශ්න වුව ත් එක විට විසඳන්ට බල ඇති සේක. එව, ඔබ යම්හ’යි දෙව් පිරිස් කැඳවා ගෙන සතර වරම්හු සක් දෙවිඳුහු කරා ගොසින් ශක්‍රයනුත් ‘වරම් රජුනි, දෙවියන් රැස්වූ නියාව මහත. කුමක් නිසා දැ’යි විචාළ කල්හි වරම් රජදරුවෝ සෙසු දෙවියන් තමන්ට කී ලෙස ම ශක්‍රයන්ට කීහ. ශක්‍රයෝ ඒ අසා තුමූ ඒ ප්‍රශ්නවල අර්ථ විමසන්ට උත්සාහ නො කොට ‘හෙම්බා වරම් රජ දරුවෙනි, මේ ප්‍රශ්නවල අර්ථ කියා ලන්ට බුදු කෙනකුන් වහන්සේට මුත් තොප හැමටත් මටත් නොපිළිවන. බුදුහු දැන් කොයි දැ’යි විචාරා දෙව්රම නියාව අසා ‘තරාදිය තබා පියා අතින් කිරන්නා සේ තොපත් අප ත් ආයාස ගන්නේ හැයි ද? එව, ඔබ යම්හ’යි තමන් කරා ගොසින් රැස් වූ දෙවියන් කැඳවා ගෙන මධ්‍යම රාත්‍රි වේලෙහි සියලු දෙව්රම බුදුන්ගේ රස් පහළ වූ තැන් හැර බොහෝ සේ බබුළුවමින් බුදුන් කරා ගොසින් වැඳ එකත් පස්ව සිට ‘හැයි ශක්‍රයෙනි, බොහෝ දෙවියන් පිරිවරා කුමක් නිසා අවුදැ’යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, දේවතාවෝ තමන් අතුරේ ම ප්‍රශ්න සතරක් සිතූහ.

ඒ ප්‍රශ්නවල අර්ථ සෙස්සන්ට තබා උන් තමන්ට ත් නො හැඟෙයි. තමන්ට නොහැඟෙන්නා ඌ හැම වරමුන් කරා ගියහ. වරම්හුත් උන් හැම හැර ගෙන මා කරා අවු ය. මම මට ත් නො හැඟෙන හෙයින් මුඹ වහන්සේ කරා අයිමි. මුහුද කෙතෙක් පළල වුවත් වෙරලාන්තයට පැමිණ නවත්නා සේ ප්‍රශ්න නමැති කෙතෙක් රළත් සර්වඥ නමැති සමුද්‍ර රේඛාවට පැමිණ මුත් නො නවත්ති. වෙරලාන්තයට පැමිණ රළ බිඳී යන්නා සේ මේ ප්‍රශ්න නැමැති රළත් විසඳීමෙන් බිඳ වදාළ මැනැවැ’යි කී කල්හි ‘යහපත, ශක්‍රයෙනි, සම තිස් පැරුම් පුරා මා බුදු වූයේත් තොප හැම විචාළ ප්‍රශ්න හැර පියා සෙස්සක් විසඳන්ට නොවෙයි. මහා වහ්නි ස්කන්ධයක් ලූ ලූවක් ම නො තෝරන්නා සේ කවුරුන් විචාළ ප්‍රශ්නත් විසඳන්ට ය. විචාරව’යි වදාළ සේක. ශක්‍රයෝ ත් දෙවියන් සිතූ ලෙස ම විචාළෝ ය.

බුදුහු ත් ඒ ප්‍රශ්න විසඳන සේක් ‘හෙම්බා ශක්‍රයෙනි, යම් කෙනෙක් දිගිනුත් පළලිනුත් අට සාළිස් ලක්‍ෂ තෙ ළෙස් දහස් අට සියයක් ගවු පමණ වූ වටින් එක් කෙළ සිවු සාළිස් ලක්‍ෂ එක් සාළිස් දහස් සාර සියයක් ගවු පමණ වූ සක් වළ ඇතුළ මූදු මාන ය හැර සෙසු තැන් සමතල කරවා ලා බිම පටන් අකනිටා බඹලොව දක්වා රුවන් මණ්ඩපයක් කරවා ලා පත් කඩින් පත් කඩ ගාවා බුදු පසේ බුදු මහ රහතන් වඩා හිඳුවා ලා කෙහෙල් ගොප් හා සමාන සළු කප්වා පියා සිවුරු කරවා ලා දන් දුන්නු නමුත්, එසේම අති මධුරාහාරය පාත්‍ර පුරා දන් දුන්නු නමුත්, මහා විහාර ය වැනි ලක්‍ෂ ගණන් විහාර කරවා දන් දුන්නු නමුත්, ලෝවාමහාපාය වැනි ලක්ෂ ගණන් ප්‍රාසාද කරවා දුන්නු නමුත් -

‘සුරුචි බ්‍රාහ්මණ ව උපන් මා මඞ්ගල බුදුන් ප්‍රධාන වූ කෙළ ලක්‍ෂයක් මහ රහතන්ට පාත්‍ර පුරා ගිතෙල් මී සකුරු ආදි වූ බෙහෙත් බඩු දුන්නා සේ ගිලන්පස බෙහෙදු ත්[1] දුන්නු නමුත් දන් විෂයෙහි විශාඛාවන් පූර්වාරාමයට කළ පරිත්‍යාග ය සේ සත් විසි කෙළක් විතර වස්තු පරිත්‍යාග ය වී නමුත්, අනේපිඬු මහ සිටාණන් දෙව්රමට කළ පරිත්‍යාගය සේ සූ පනස් කෙළක් විතර වස්තු පෙනේ නමුත්, ධර්මාශෝක රජ්ජුරුවන් සුවාසූ දහසක් විහාරවලට කළ පරිත්‍යාග ය සේ සයානූ කෙළක් විතර වස්තු වියදම දන් විෂයෙහි පෙනේ නමුත්, වේලාම බ්‍රාහ්මණ ව උපන් මාගේ පාත්‍ර පත්ලේ පටන් මුව විට උසින් අට රියනක් උස ඇති මුඛ පළල නව රියන් පමණ වූ පාත්‍ර පත්ලේ සීන් බිජු වට අමුණක් වජ්යන විතර පා මුව විට අසුන් තුන් දෙනකු යෙදූ රථ ය යා හැකි සුවාසූ දහසක් රිදී පාත්‍ර පුරා රත්රන් හා රන් පාත්‍ර පුරා රිදී හා තඹ පාත්‍ර පුරා සත් රුවන් හා දඹ දිව් වැස්සන්ට දුන්නා සේ මහත් පරිත්‍යාගයක් පෙනේ නමුත්, ඒ හැමයටත් වඩා යම් කෙනෙක් නිස්සරණාධ්‍යාශයෙන් සතර පෙදෙන් යුක්ත වූ ගාථා පමණෙකිනු ත් බණ කිය ත් නම් එ ම උතුම.

ඊට කාරණ කිම් ද යත්? බණ ඇසීම පින් කිරීමට මුල් ව සිටිනා හෙයින. තව ද බුදු පසේ බුදු දෙ පක්‍ෂය හැර කපක් මුළුල්ලෙහි වටුවා වූ වැස්සෙහි ත් පොද ගණන් කියා ලන තරම් නුවණැති ශාරිපුත්‍රා දී මහ රහතන් රහසේත් තමන් වහන්සේගේ ශක්තීන් සෝවාන් විය නුහුණු සේක. අස්සජි ආදී වූ මහතුන්ගෙන් එක් ගාථා මාත්‍රයයක් පමණක් වුවත් අසා ම ලොවුතුරා ගුණ විශේෂයට පැමිණි සේක. බුදුන්ගේ බණ අසා අග සවු තනතුරු ලත් සේක. එ හෙයිනු ත් ධර්‍මදාන ය ම උතුම.

රසයෙන් කවර රසයෙක් උතුම් දැ යි විචාළ වා ද? ඉක්ෂු-මධු ගුළ-ශර්කරාදීවූ යම් රසයෙක් ඇත්නම් එයින් උඩත් පිරිසෙයින් දෙවියන්ගේ සුධාභෝජන රස ය දක්වා ත් ගෙධාපන්න ව අනුභව කරන්නවුන් සසර ඇවිද්දීමට කාරණ වෙයි. පර්‍ය්‍යාප්ති මූලක වූ ප්‍රතිපත්තීන් සාදා ගන්නා වූ තව ලොවුතුරා දහම් රසයෙක් ඇත් නම් වෘත්ත සන්නිශ්‍රිත නො වන හෙයින් එම උතුම.

තවද ඇල්මෙන් කවර ඇල්මෙක් උතුම් දැ යි විචාළ වා ද? අඹුදරුවන් කෙරෙහි කරන ඇලුම ය, වස්තුයෙහි කරන ඇලුම ය යනාදී වූ යම් ඇල්මෙක් ඇත් නම් සසර නමැති සිර ගෙයි ලා ලා මහ දුක් විඳුවයි. ඉඳුරා සිතින් බණ කියන්නවුන්ට වේව යි බණ අසන්නවුන්ට වේව යි එහි උපදනා ඇල්මෙක් ඇත් නම් ඒ ඇල් මෙන් රහත් වීමෙන් මුදුන් පමුණුවානු යි ඒ ධර්‍ම රති ය හැමට ම වඩා උතුම. අර්හතත්‍වය වූ කලි සියලු දුක් ම නසන හෙයින් ම එම උතුමැ’යි වදාළ සේක. බුදුන් මේ ප්‍රශ්න සතර විසඳ ත් විසඳත් සුවාසූ දහසක් දෙවියෝ නිවන් දුටහ. ඒක නේ මම කියන්නෙ.

සක් දෙවිඳු ත් මේ බණ අසා බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, ධර්‍මදාන ය මෙ සේ ම බලවත් කල බණ වදාරා අන්තයෙහි අපට පින් නො දෙන්නේ හැයිද? මෙවක් පටන් වහන්දෑට විධාන කොට ලා බණ කියා අන්තයෙහි පින් දෙවුව මැනැවැ’යි කිවු ය. බුදුහු ත් උන්ගේ බස් අසා වහන්දෑ රැස් කරවා ලා ‘මහණෙනි, අද පටන් යටත් පිරිසෙයින් අනුමෙවෙනි බණක් වුව ත් බණ කිවූ නම් බණ කියා අන්තයෙහි හැම දෙනාට ම පින් දෙව’යි වදාළ සේක. එ වක්

පටන් මෙ වක දක්වා ත් මෙ වක පටන් පස්වා දහස මුළුල්ලෙ හිත් පවත්ති.

එ හෙයින් සෞජන්‍යයෙහි පිහිටියවුන් විසින් දේශනාමය කුශල සිද්ධ කරන්ට තම හට බැරි වුව ත් විධාන කොට අනුන් ලවා ත් කරවා තමා කෙරේ ම පවත්වා ගෙන එයින් ජනිත කුසලානුභාවයෙන් භව සැප ත් වළඳා කෙළවර නිවන් අත් කට යුතු.

  1. බෙහෙතු ත්