තව ද සර්‍වඥවරයන් ගේ කථා මතු මත්තට උපාශ්‍රය වන පරිදි හඟවන්ට උපකාජීවකයන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
බුදුහු බුදු ව ලා බෝ මැඬට නුදුරු ව සත් සති යවා වදාරා බ්‍රහ්මාරාධනාවෙන් දම්සක් පවත්වන්ට බරණැස් නුවරට වඩනා සේක් අතුරු මඟදී උපක නම් ආජීවකයන් දුටු සේක. උයිත් ඔබ දැක බුදු වූ නියාව නොදත් හෙයින් ‘ඇවැත්නි, තොපගේ ඇඟ මූණ පෑය යහපත. ඉන්ද්‍රියාවකාශයෝ ත් ඉතා ප්‍රසන්නයහ. කවුරුන් උදෙසා මහණ වූ ද? තොපට ශාස්තෘ කවුරු ද? කවුරුන් බණක් රැස්වා ගෙන වසවු දැ’යි විචාළහ.
බුදුහුත් ස්වයම්භු බව මුත් ආචාර්යර්‍ය්‍ය-උපාධ්‍යාය කෙනකුන් නැති නියාව වදාරන සේක්-‘රහත් මඟින් සව් කෙලෙසුන් නසා සිටි හෙයින් ත්‍රෛලොක්‍ය භූමක[1] ධර්‍ම ජාත ය මැඬ සිටියෙමි. සාදා ගත්තා වූ බුදු නුවණින් චාතුර් භූමක ධර්‍ම ජාතය මුළුල්ල ම දනිමි. වස මුසු දෙයක් බලා හරන පමණක් මුත් අනුභව ය නැත්තා සේ දත් පමණක් මුත් එහි ඇලුම් නැත්තෙමි. ඇලුම් නැති බැවින් ම නයින් නිරාලය ව සැව ගළවන්නා සේ ත්‍රෛභූමක ධර්‍ම ජාතය ආදීනව දැක්මෙන් හළිමි. ඇල්මක් කෙළෙම් නම් සාරාසැකි කප් සුවහස් මුළුල්ලෙහි කළා ඊ ම හෙයින් අර්හත් ඵල විමුක්තියෙහි ය. දත යුතු ධර්‍ම ජාතයෙහි ආදි මුළුල්ලට ම ගුරූපදේශ නැති ව මා ම දැන ගත් කල ආචාර්යය උපාධ්‍යාය කමට කවුරුන් පයිම්ද? දැන් බුදු වූ අවස්ථාවෙහි තබා උපන් දවසුත් මට වඩනන් තබා සරිව සිටිනෝ ත් නැත්තෝ වෙත් දැ’ යි වදාළ සේක.
බුදුන් වදාළ කථාවට උපකාජීවකයෝ සතුටුත් නොව මුසුප් පුත් නොව හිස සලා ලා දිවත් දික් කොට පියා එක් පියවර මං හසරකට නැඟී වැද්දන් වසන ගමකට ගොසින් වැදි දුවක රක්‍ෂා කොට ගෙන හිඳ පසුව ඈ හා ඩබරක් කොට වදාළ කථා පමණ උපාශ්‍රය කොට ඔබ කරා අවුත් බණ අසා අනගැමි ව ඒ ඇසිල්ලෙහි මිය අවිහ නම් බඹලොව ඉපැද උපන් ඇසිල්ලෙහිම රහත් වූහ.
එහෙයින් නුවණැත්තවුන් විසින් කරන කථාත් සත් පුරුෂයන් හා ම කොට බුදුන් හා කථා කළ උපකාජීවකයන් මෙන් අර්ථ සිද්ධි ය එළවා ගත යුතු.
-
ත්‍රෛෙලාක්‍ය භූමික ↑