258. මාරයා ගේ වත

star_outline

තව ද කවුරුන් කුමක් කළත් කළවුන්ට වන රහතන්ට භය නැති නියාව හඟවන්ට මාරයා ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

එක් දවසක් නො කල් නොවේලා කොට ලා බොහෝ තෙරවරුන් වහන්සේ දෙව්රමට අවුත් සැතපෙන තැන් නො සෑහෙන්නා රාහුල තෙරුන් වහන්සේ වසන තැනට ගොසින් උන් වහන්සේ උගුළුවා පියා තමන් වහන්සේ සැතපුණු සේක. රාහුල තෙරුන් වහන්සේ ද සැතපෙන තැනක් සොයා පියා අනික් තැනක් නො ලදින් බුදුන්ගේ දිව්‍ය මණ්ඩපයක් මෙන් සරහා තිබෙන වැසිකිළි පෙර මාලෙහි සැතපුණු සේක. උපසම්පන්නව වසක් විතර ත් නො ගිය හෙයින් වයසින් බාල වුව ත් රහත් වූ හෙයින් ගුණෙන් මූකුරා සිටි සේක.

වසවත් මර දෙව් ලොව දී ම ඒ රාහුල තෙරුන් වහන්සේ වැසිකිළි පෙර මාළේ සැතපුනා දැක ‘මහණ ගොයුම්හුගේ රෙදෙන ඇඟිල්ලක් වැනි පුතණුවන්දෑ වැසිකිළි පෙර මාළේ වැද හොත් දෑ ය. තමන් වහන්සේ ඇතුළු ගඳ කිළියෙහි සැතැපුණු සේක. ඇඟිල්ල රෙදවා ලූ කලට ඊ ගහට ඔබට ත් ඇති වන්නේ වේ දැ’යි යන දුර්බුද්ධියක් සිතා ගෙන මඳ නැඟි මහත් ඇත් වෙසක් මවා ගෙන අවුත් ලා සොඬින් සිකනලකු හිසට නැඟි කලක් මෙන් හිස වෙළා ගෙන භය ගන්වන්ට මහත් කොට ගසක් බිඳෙන කලක් මෙන් ගුගුරා පී ය.

බුදුහු ගඳ කිළියේ වැඩහුන් සේක්-ඌ මාරයා නියාව දැන ලා *මාරය, තා වැන්නෝ ලක්‍ෂයකු ත් ම පුතුන්ට භයක් උපදවා ලිය හෙත් ද, ඒ නො පිළිවනැ’යි වදාරා ලා පුතණුවන් වහන්සේගේ තරම් වදාරන බුදුහු ‘හෙම්බල මාරය, මේ රහල් තෙරහුගේ මේ ශාසනයට නිෂ්ටාව නම් අර්හත්‍වය ය. ඊට ත් මූ පැමිණියෝ ය. භය කාරණ මුලින් ම නසා පී හෙයින් භයකු ත් නැත්තෝ ය. කිසිවෙක ත් මුන්ගේ ඇල්මක් නැත. එහෙයින් කෙලෙසුන්ට අවසරයෝ නොවෙති. භවොත්පත්තිකාරණත් සිඳ පීහ. තෙල තුලුන්ගේ ආත්ම භාවයත් කඩ තෙල් නිමා සිටි පානක් මෙන් කෙළවර අත් බැව ය. පෙරළා අනික් තැනෙක උත්- පත්තියකුත් නැත. ස්කන්ධ භාවය මෙවක් පටන් ඔබ්බෙහි අය වීම නැති හෙයින් ස්කන්ධයන්ගේ ගැන්මෙකු ත් නැත. සිවු පිළිසිඹියායෙහි ත් දක්‍ෂයෝ ය.

‘තව ද අවයව අක්‍ෂරත් දනිති. අක්‍ෂරාත්මක වූ ශබ්ද වින්‍යාස ද දනිති. ඒ සුනිශ්චිත කොට දන්නා හෙයින් ආදි ය පෙනුණු කලට මධ්‍යවසාන දෙක නොපෙනුණ ත් ‘මේ අකුරු මුල්ව සිටි කලට මේ මධ්‍යය ය. මේ කෙළවර ය’යි කියා ත් දනිති. කෙළවර අකුරු පෙනී ආදි මධ්‍ය ය නො පෙනුණු කලට මේ අකුරට මේ මධ්‍ය ය, මේ ආදිය’යි කියා ත් දනිති. මධ්‍යයේ අකුරු පෙනුණ කලට ‘මේ අකුරට මේ අකුරු ආදියය. මේ අකුරු කෙළවර ය’යි කියා ත් දනිති. පශ්චිම භවික හෙයින් ත්‍රි හේතුක ප්‍රතිසන්ධික ව මහා නුවණැත්තෝ ය. පූජ්‍ය පුරුෂ ව සිටි හෙයින් මහා පුරුෂයෝ ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. වසවත් මර තෙමේ පලා ගොසින් තමාගේ දිව සම්පත් දිට. අච්ඡින්‍දික තැනැත්තවු හෙයින් මත්තට උපාශ්‍රය විවරකු ත් නො වී ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අසන බණ දහම් මාරයා ඇසූ බණ දහම් සේ නො කොට භවක්‍ෂයට කල් නො වත ත් මත්තට උපාශ්‍රය වන ලෙසට බණ අසා ඒ වූ පරිද්දෙන් පිළිපැද තෘෂ්ණා දෘශත්‍වයෙන් මිදෙන්ට උත්සාහ කටයුතු.