24. සාමාවතී මරණ පරිදීපන කථා

star_outline

එ සමයෙහි උදේනී රජ්ජුරුවෝ දවස් පතා සාමාවතීන් පළඳින්ට මල් ගන්නා පිණිස අට මස්සක් තබා දෙති. ඒ රන් ගෙන සාමාවතීන් ගේ ඛුජ්ජුත්තරා නම් දාසියක් සුමන නම් මාලා කාරයා ළඟට ගොසින් දවස් පතා මල් ගෙනවුත් සාමාවතීන්ට දෙයි. එ දවස් සුමන මාලා කාර තෙම සාමාවතීන් ළඟ සිට මල් ගන්ට ආවා වූ ඛුජ්ජුත්තරාව දැක ‘අද මම බුදුන්ට ආරාධනා කෙළෙමි. වළඳා ඉක්බිති සුවඳ මලින් බුදුන්ට පූජා කෙරෙමි. තෝ සිට වළඳන තෙන සහායව වතා වත් කොට බණ අසා ඉතිරි මලක් ඇත, ඇරගෙන ය’යි කී ය. හෝ ද ‘යහපතැ’යි ගිවිස්සා ය. සුමන මාලා කාර තෙම බුදු පාමොක් මහ සඟ පිරිස වළඳවා අනු මෙවෙනි බණ පිණිස පාත්‍ර ය ගෙන සිටියේ ය. ඒ වේලෙහි බුදුහු මිහිරි කට හඬින් අනුමෙවෙනි බණට පටන් ගත් සේක. ඛුජ්ජුත්තරා තොමෝ බුදුන් වදාරණ බණ අසා සිටියා ම දහසක් නයින් හෙබියා වූ සෝවාන් පෙලෙහි පිහිටියා ය.

ඕ තොමෝ සෙසු දවස් අටමස්සෙන් සතර මස්සක් සඟවා ගෙන සතර මස්සෙක මල් ගෙන ගියා ය. එ දවස් සොර සිත් සහ මූලයෙන් සුන් හෙයින් අට මස්සෙහි ම මල් ගෙන ගියා ය. සාමාවතී ඒ මල් බොහෝ නියාව දැක ‘මෑණියෙනි, අද අපට රජ්ජුරුවන් වහන්සේ මල් මිල බොහෝ කොට දී පූ සේක් දැ’යි විචාළා ය. ඛුජ්ජුත්තරා තොමෝ ‘නැත ස්වාමිනි කිව. ‘එ සේ කල අද මල් බොහෝ වන්ට කාරණ කිම් දැ’යි කී කල්හි ‘ස්වාමීනි, මම මෙතෙක් දවස් මලට ගෙන යන අට මස්සෙන් සතර මස්සක් සොරා ඇර ගෙන සතර මස්සෙක මල් ගෙනාමි. එ සේ හෙයින් මේ තෙක් දවස් මල් බොහෝ නො වෙ’යි කිව. අද කුමක් නිසා නො ගත්තෙහි දැ’ යි විචාළ කල්හි ඛුජ්ජුත්තරාවෝ මා මල් ගෙනෙන්ට ගිය මාලාකාරීන්ගේ ගෙයි පන් සියයක් පමණ මහ සඟ පිරිවරා වැඩ හිඳ වැළඳු ගනරන් කඳක් සේ දිලියෙන ශරීරයක් ඇති සියල්ල ගෙවා දත් බුදුරජාණ කෙණෙකුන්ගේ පෙර මා නොඇසූ විරූ මිහිරි බසක් අසා සක්කායදිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බත පරාමාස යන තුන් දොස් හා සමඟ සියලු පව් දුරු කොට සෝවාන් පෙලෙහි පිහිටි හෙයින් අද අට මස්සෙහි ම මල් නො වළහා ගෙනාමී’ කිවු ය.

ඉක්බිති ‘හෙම්බල කෙල්ල, මෙ තෙක් තී සොරා හැර ගත් ඇම මසුරන් ම වහා ගෙනෙව’යි නොදොඩා එ බස් අසා සාමාවතී ප්‍රීතීන් පිනා ගොසින් ‘මෑණියෙනි, ඒ තොප පූ දහම් අමා අප විසිනු ත් පිය හැකි දැ’යි කිව. ඒ තෙපුල් අසා ඛුජ්ජුත්තරාවෝ ‘එ සේ ය, පිය හැක්කැ’යි කියා ‘එසේ වී නම් ඉස් සෝධා නහවා පියව’යි කී ය. එකල සාමාවතී ඛුජ්ජුත්තරාවන් සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නාවා යහපත් සුදු පිළී සඟළක් දුන්නුය. ඛුජ්ජුත්තරාවෝ එයින් එක් සුදු වතක් හැඳ එක් සුදු වතක් එකස් කොට පෙර ව ගෙණ පනවන ලද විසිතුරු ධර්මාසනයකට නැඟී විසිතුරු විජිනි පතක් ගෙන්වා අතින් අල්වා ගෙන පන් සියයක් ස්ත්‍රීන් හා සමග සාමාවතීන් කැඳවා බුදුන් වදාළ පරිද්දෙන් ම බණ කීහ.

ඒ බණ අසා සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ස්ත්‍රීහු හුනස්නෙහි ම හිඳ සෝවාන් ව ඛුජ්ජුත්තරාවන් වැඳ ගෙන හෙව මෙ වෙනි නිවන් රසයක් දුන්නා වූ තෙපි අද පටන් අපගේ මෑණියෝ ය. මෙ තැන්හි මින් සෙසු මෙහෙයක් නො කරව. අපට මවු තනතුරෙහි සිට දවස් පතා බුදුන් සමීපයට එළඹ දෙසු දෙසූ බණ අසා ධරා ගෙන අවුත් අපට කියව’යි කිවුය. ඛුජ්ජුත්තරාවෝ එ පරිද්දෙන් ම දවස් පතා බුදුන්ගෙන් බණ අසා අවුත් කියමින් පසුව තෙවලා දැරූ ය. ඉක්බිති බුදුහුත් ‘එතදග්ගං භික්ඛවෙ මම සාවිකානං උපාසිකානං බහුස්සුතානං යදිදං ඛුජ්ජුත්තරා’යි යනාදීන් ‘බහුශ්‍රැත ව බණ කියන මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් කෙරෙහි ඛුජ්ජුත්තරාවෝ අග්‍රයෝ ය’යි එතදග්‍ර පාලියෙහි තබා වදාළ සේක.

ඉක්බිති ඒ පන්සියයක් ස්ත්‍රීහු ඛුජ්ජුත්තරාවන්ට කියන්නාහු මෑණියෙනි, අපි හැම බුදුන් දක්නා කැමැත්තම්හ. දන්නා යම් පරිද්දකින් බුදුන් අපට දක්වා පියව. සුවඳ මල් ආදීන් බුදුන්ට පූජා කරණු කැමැත්තම්හ’යි කිවු ය. ඒ අසා ඛුජ්ජුත්තරාවෝ ‛ආර්‍ය්‍යාවෙනි, රජ ගෙයි කටයුතු නම් ඉතා බැරි දෙයෙක. තොප ඇම කැඳවාගෙන පිටතට යන්ට නො පිළිවනැ’යි කිවු ය. ඒ අසා සාමාවතීන් ඇතුළු වූ පන්සියයක් දෙන ‘මෑණියෙනි, බුදුන් නො දැක්මෙන් අපගේ ජීවිත ය නිෂ්ඵල කොට නොනසව. කිසියම් උපායකින් බුදුන් දක්වා පියව’ කීහ. ඒ අසා ඛුජ්ජුත්තරාවෝ ‘එසේ වුවහොත් තෙපි තොප වසන්නා වූ ගබඩාවල බිතත දෙ දෙනකු බැලිය නො හැකි පරිද්දෙන් ඡිද්‍ර කොට තබා ලා ගඳ දුම් මල් පහන් ආදිය සපයා ගෙන සිටුවරුන් තුන් දෙනාගේ ගෙවලට බුදුන් වඩනා වේලෙහි දැක වැඳ පුදා ගන්ව’යි කීහ. ඔහුද එපරිද්දෙන් ම සිට බුදුන් සිටුවරුන්ගේ ගෙට වඩිනා වේලෙහි ද වළඳා විහාරයට නික්මෙන වේලෙහි ද දැක වැඳ පුදා ගනිති.

ඉක්බිති එක් දවසෙක මාගන්‍දි තොමෝ තමාගේ ප්‍රාසාදයෙන් නික්ම සක්මන් කරන්නී ඔවුන්ගේ ප්‍රාසාදයට අවුත් වෙන වෙන ගබඩාවල තුබූ සිදුරු දැක මේ කිමෙක් දැ යි විචාළාය. ඔහු ඈ බුදුන් කෙරෙහි වෛර බැඳි බව නො දැන ‘බුදුහු නුවරට වැඩි සේක. අපි මෙ තැන සිට බුදුන් වැඳ පුදා ගන්නා පිණිස සිදුරු කළම්හ’යි කීහ. ඒ අසා මාගන්‍දි තොමෝ ‘මාගේ ශත්‍රැ වූ මහණ භවත් ගෞතමයන් මීට ආ පසු දැන් ඔවුන්ට හා ඔවුන්ට උපස්ථාන කරන්නා වූ මේ පන්සියයක් දෙනාට කටයුතු දනිමි’යි සිතා රජ්ජුරු වන් කරා එළඹ ‘මහරජ, සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් දෙන පිටත අනාචාරයක් ඇති නියාය. දෙ තුන් දවසකින් තොප දිවි ගනිතී’ යි කිව. ඒ අසා රජ්ජුරුවෝ ‘ඔහු එසේ නො කෙරෙතී’ ඇගේ බස් නො ඇදවූහ. මෙ පරිද්දෙන් ම තුන් වරෙක කියා රජ්ජුරුවන් නො අදහන හෙයින් ‘එ සේ වී නම් මා ගේ බස් නො අදහන පසු, මහ රජ, තෙපි ම ගොසින් උන් වසන්නා වූ ගබඩාවල් පරීක්‍ෂා කරව’යි කීහ. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ගොස් බලන්නාහු වසන ගබඩාවල සිදුරු දැක ‘මේ කිමෙක් දැ’යි විචාරා එ පවත් ඇති සැටියේ ම කී කල්හි ඔවුන්ට නොකිපී කිසිවකුට නො කියා සිදුරු වස්වා සියලු ම ගබඩාවල උඩින් ජාල කවුළු ලැවූහ. උඩින් සිදුරු ඇති සී මැදුරු[1] කවුළු ඵ තැන් පටන් ඇති විය.

එකල්හි මාගන්‍දි තොමෝ ඔවුන්ට කිසිවකුත් කරවා ගත නො හී ‘මොවුන්ට මා කිසිවක් කොට ගත නොහෙත්. මහණ භවත් ගෞතමයන්ටම කට යුත්තක් කෙරෙමි’ සිතා නුවර වැස්සන්ට අත්ලය්දී ‘මහණ භවත් ගෞතමයන් නුවරට සිඟා වන් කල්හි තෙපි හැම තොප තොපගේ කෙලි - කොල්ලන් හැර ගෙන ඒ ඒ තැන්හි සිට ආක්‍රොශ පරිභව බැණ ලුහුබඳවා පියව’යි කීහ. ඒ අසා තුනුරුවනෙහි අප්‍රසන්න වූ මිථ්‍යාදෘෂ්ටි ගතුවෝ ඇතුළු නුවරට සිඟා වන් බුදුන් දැක පසු පස්සෙහි ගොස් ගොස් ‘තෝ සොරෙක, අඥානයෙක, මූඪයෙක, ඔටුවෙක, ගොනෙක, කොටළුවෙක, තිරිසනෙක. තිරශ්චීනයෙක, තට සුගතියක් නම් නැත. දුගතිය ම තට අභිමත වේව’යි යනාදී දශ විධ ආක්‍රොශ පරිභව වස්තුවෙන් ආක්‍රොශ පරිභව බණන්ට පටන්ගත්හ. ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන්ට දන්වන සේක් ‘ස්වාමීනි, මේ නුවර වැස්සෝ ඉතා තුනුරුවන්හි ප්‍රසාද නැතියහ. ආක්‍රොශ පරිභව බෙණෙති. මේ නුවර හැර අනික් නුවරකට යම්හ’යි දැන්වූ සේක.

ඒ අසා බුදුහු ‘ආනන්‍ද ය, අප ගිය ඒ නුවර ඇත්තෝ ත් මෙ සේම පරිභව බෙණෙත් නම් අනික් කොයි යමෝ දැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, දඹදිව කුඩා නො ව ත් එසේ වුව එයින් අනික් නුවරකට යම්හ’යි දැන්වූ සේක. ‘ඒ නුවර මනුෂ්‍යයෝ ත් එසේම බෙණෙත් නම් කොයි යමෝ දැ යි, ආනන්‍දයෙනි’ විචාළ සේක. ස්වාමීනි, ඒ නුවරවාසීහු ත් එ සේම පරිභව බෙණෙත් නම් අනික් නුවරකට යම්හ’යි කී සේක. එ කල බුදුහු ‘හෙම්බා ආනන්දය, ඒ යාම යුක්ත නො වෙයි. යම් තෙනෙක්හි අධිකරණයෙක් උපන් නම් එ තැන්හි ම ඒ අධිකරණ ය සන්හිඳී ගිය කල අනික් තෙනකට යන බව සුදුසු ය’යි වදාරා ‘ආනන්‍දයෙනි, කවුරු ආක්‍රෝශ බෙණෙත් දැ’යි විචාළ සේක. එ බසට අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, දාශ - කර්‍මකාරයන් පටන්ගෙන සියල්ලෝ ම බෙණෙති. දැන් වූ කල්හි ‘හෙම්බා ආනන්‍දයෙනි, මම නම් සටන් බිමට වන්නා වූ ඇතකු වැන්නෙමි. සංග්‍රාම භූමියට වන්නා වූ ඇතු සතර දිශාවෙන් එන්නාවූ ශර ප්‍රහාරය ක්‍ෂමා කරන්නා සේ බොහෝ දුශ්ශීලයන් බණන පරිභව ක්‍ෂමා කිරීම මට සුදුසු මය’යි තමන් වහන්සේ, තමන් වහන්සේ ම අරභයා බණ දෙසන සේක් නාග වර්‍ගයෙහි මේ මතු කියන ගාථා තුන වදාළ සේක.

“අහං නාගොව සඞ්ගාමෙ - චාපාතො පතිතං සරං,

අතිවාක්‍යං තිතික්ඛිස්සං - දුස්සීලො හි බහුජ්ජනො.

දන්තං නයන්ති සමිතිං - දන්තං රාජාභිරූහති,

දන්තො සෙට්ඨො මනුස්සෙසු - යො‘තිවාක්‍යං තිතික්ඛති.

වරමස්සතරා දන්තා – ආජානීයා ච සින්ධවා,

කුඤ්ජරා ච මහානාගා – අත්තදන්තො තතො වරං”

මෙහි අභිප්‍රාය මතු කියන නාග වග පළමු වන කථා වස්තු මෙහි ප්‍රකාශ වන්නේ ය. එ සේහෙයින් මෙ තැන්හි නොදක්වන ලද මේ ගාථා තුනින් වදාළ බණ එතැන්හි පැමිණි ජනයන්ට බොහෝ වැඩ සෑදීය. මෙ සේ බණ වදාරා ‛ආනන්‍දයෙනි, නහමක් සිතව. මොහු සත් දවසක් පමණ බෙණෙති. අට වන දවස් ගොළුවන් සේ තුෂ්ණිම්භූත ව හිඳිත්. බුදුන් විෂයෙහි උපන් අධිකරණයෙක් ඇත් නම් සත් දවසකින් මත්තෙහි නො පවත්නේ ය’යි වදාළ සේක.

ඉක් බිති මාගන්‍දි තොමෝ බුදුන්ට ආක්‍රොශ පරිභව බණවා එ නුවරින් නික්මවා පිය නො හී කුමක් කෙරෙම් දෝ හෝ යි සිතා බුදුන්ට උපස්ථාන කරන්නා වූ පන් සියයක් ගෑනුන්ට ව්‍යසනයක් කළ මැනැවැ යි කල්පනා කොට එක් දවසෙක රජ්ජුරුවන් රා බොන තෙන සිට උපස්ථාන කරන්නී තමාගේ සුළු පියා උන් තෙනට අස්නක් කියා යවුව. කෙ සේ ද යත්:- නො මළ කුකුළන් අට දෙනකු හා මළ කුකුළන් අට දෙනකු ඇර ගෙන එව. ඇවිදිනු ත් හිණි හිස සිට තමන් ආ බව රජ්ජුරුවන්ට දන්වා රජ්ජුරුවන් ඇතුළට කැඳවා එවුව ත් ඇතුළට නො වැද පළමු කොට නො මළ කුකුළන් අට දෙන එවා මළ කුකුළන් අටදෙනා පසුව එවුව මැනැව’යි කියා අසුන් යවා චුල්ලූපස්ථායකයාට ද තමා කීවාක් කරණ පරිද්දෙන් අත්ලස් දුන්නී ය.

මාගන්‍දී බ්‍රාහ්මණයා ද ඈ කී පරිද්දෙන් අවුත් හිණි හිස සිට රජ්ජුරුවන්ට කියා එවා එන්ට කියව යි කියා යවු කල්හි රජ්ජුරුවන් රා බොන තැනට නො වදිමී’ කියා පිටත ම සිටියේ ය. මාගන්‍දි තොමෝ පළමු කොට අත්ලස් දුන් චුල්ලුපස්ථායකයා කැඳවා ‘මාගේ සුළු පියාණන් සිටි තෙනට යව’යි කියා යවූ ය. හෙ තෙම ගොස් ඌ දුන්නා වූ නො මළ කුකුළන් අට දෙනා ගෙනවුත් ‘ස්වාමීනි, පුරෝහිතයන් එවු පඬුරෙකැ’යි රජ්ජුරුවන්ට දැක්විය. රජ්ජුරුවෝ කුකුළන් දැක ‘අපට යහපත් අවුළෙක් උපන. කවුරුන් ලවා පිසවමෝ දැ’යි විචාළහ. මාගන්‍දි තොමෝ ‘මහ රජ, සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ගෑනු වූ කලී නිකම් ම හිඳිති. ඔවුන් ලවා පිසවා පියා ගෙන්වුව මැනවැ’යි කිව. ඒ අසා රජ්ජුරුවෝ ‘යව, තෙල ගෙන ගොස් ඔවුන්ට දී තෙල කුකුළන් අනික් කෙනකුන්ට නො දී තමන් ම මරා පිස එවන්ට කියව’යි මෙහෙවර කියා යවූහ. චුල්ලුපස්ථායක තෙම ‘යහපත, දෙවයන් වහන්සැ’යි ගිවිස කුකුළන් අට දෙන ගෙන ගොස් රජහු කී පරිද්දෙන් කියා ඔවුන් විසින් ‘අපි ප්‍රාණ වධ නොකරම්හ’යි ‘ඉදින් මළ කුකුළු වී නම් කී පරිද්දෙන් ම පිස එ වන්නමෝ වේ දැ’යි ප්‍රතික්‍ෂෙප කළ කල්හි රජ්ජුරුවන් කරා අවුත් එපවත් කී ය.

මාගන්‍දි එ පවත් අසා ‘මහ රජ, එසේ කල දැන් ඔවුන් ප්‍රාණ වධ කරණ නියාවත් නො කරණ නියාව ත් පරීක්‍ෂා කළ මැනව. නුඹ වහන්සේට ය’යි කී හෙයින් නො පිසූ බව මුත් ‘මහණ භවත් ගෞතමයන්ට පිස දෙව යි කියා යවුව හොත් දැන් ම තෙලේ කුකුළන් තුමූ ම මරා පියා ඇසිල්ලකින් පිස දෙති’ කිවු ය. රජ්ජුරුවෝ එ සේ වී නම් එ පරිද්දෙන් ම කියා යවූ ය. එ කල පළමු අත්ලස් ගත් චුල්ලුපස්ථායකයා ඒ කුකුළන් ගෙන යන්නක්හු මෙන් මඳක් තැන් ගොස් ඒ නොමළ කුකුළන් පුරෝහිතයා අතට දී පියා මළ කුකුළන් අට දෙනා ඇර ගෙන සාමාවතීන් ළඟට ගොස් “මේ කුකුළන් මස් කොට ඉඳුරා පිස පියා බුදුන් වළඳව’යි රජහුගේ මෙහෙවර බව කීයේ ය.

ඔහු ඒ උපක්‍රම නො දැන සැබවින් සැදැහැයෙන් කියා එවූ බසෙකැ යි සිතා මළ කුකුළන් හෙයින් “මේ අපට සුදුසු මෙහෙවරෙක් ම ය’යි කියමින් ඉදිරියට ගොස් කුකුළන් ඇර ගත්හ. චුල්ලපස්ථායකයා රජ්ජුරුවන් ළඟට ගොස් ‘කිමෙක් ද, සග ය’යි විචාළ කල්හි ‘මහ රජ, ‘මහණ භවත් ගෞතමයන්ට මේ කුකුළන් පිස දන් දෙව’යි කී ඇසිල්ලෙහි ම මා ඉදිරියට අවුත් ඇර ගත්හ’යි කීහ. එ කල්හි මාගන්‍දි තොමෝ ‘මහ රජ, නුඹ වහන්සේට ය’යි කී ‘කල ප්‍රාණවධ නො කරම්හ’යි දැමි කම් කියා ගෙන නො පිසන නියාව ත්, ශ්‍රමණ භවත් ගෞතමයන්ට ය යි කී කල පිසන නියාව ත් දැන් ම දුටුසේක් වේ ද? උන් ඇම ගේ තරම දැන මා නො එක් වාරයෙහි පිටත අනාචාර ඇති ව වසන බව කීවත් මාගේ බස නො ගිවිස්නා සේක් වේද? දැන් දැනී ගියේ දැ’යි කිව. ඈ එ සේ කිව ද රජ්ජුරුවෝ පොරොත්තුව කිසිවකු ත් නො කීහ.

ඉක් බිති මාගන්‍දි තොමෝ මෙ තෙක් උපාය කොටත් අන්තරායක් පමුණුවා පිය නො හී අනික් කවර උපායකින් මුන් හැම නසා පියම් දෝ හෝයි සිත සිතා වෙසෙ යි. එ සමයෙහි රජ්ජුරුවෝ සාමාවතී ය, වාසුලදත්තා ය, මාගන්‍දි ය, යන තුන් දෙනා ගේ ප්‍රාසාද තුනෙහි මුරයෙන් මුර තබා ගෙන එ කි එ කී මුරයෙහි සත් සත් දවස් වෙසෙති. එ කල්හි මාගන්‍දි තොමෝ සෙට හෝ අනිද්දා හෝ රජ්ජුරුවෝ සාමාවතීන්ගේ ප්‍රාසාදයට යෙතී, නියම දැන තමාගේ කුඩා පියාට කියා යවා දළෙහි ඖෂධ ගල්වා විෂ නැති කළ නයකු ගෙන්වා ගෙන තබා ගත. රජ්ජුරුවෝ යන යම් ම තැනකට තමන්ගේ හස්තිකාන්ත වීණාව ඇර ගෙන ම යෙති. ඒ වීණා පොකුරෙහි ද සිදුරෙක් ඇත.

මාගන්‍දි තොමෝ ඒ සිදුරෙන් නයා ඇතුළෙහි ලා පියා මල් වටකින් සිදුර වසා තබා සර්පයා දෙ තුන් දවසක් නිරාහාර කොට හොවා ලා රජ්ජුරුවන් යන දවස් නියම දැන ළඟට ගොස් ‘දෙවයන් වහන්ස, අද කාගේ ප්‍රාසාදයට වඩන සේක් දැ’යි විචාරා ‘සාමාවතීන්ගේ ප්‍රාසාදයට ය’ යි කී කල්හි ‘ස්වාමීනි, ඊයේ රෑ නපුරු සීනයක් දිටිමි. ඔබ නො වැඩිය මැනැවැ’යි තුන් විටෙක වළකා රජ්ජුරුවන් නො වැළැකම යන්නා දැක ‘එ සේ වී නම් දුටුවක් දකිමි. මම ත් මුඹ වහන්සේ හා එක් ව ම එමි’යි පිටත් ව රජ්ජුරුවන් වැළකුව ද නො වැළැක ම කුමක් වී නමුත් කැටු ව ම දකිමි කිය කියා රජ්ජුරුවන් හා එක් ව ම ගියා ය. රජ්ජුරුවෝ සාමාවතීන් දුන් මල් ආභරණ පැළඳ ඇඟ සුවඳ ගල්වා සළු පෙරළා සළු හැඳ මියුරු වූ රාජභොජන ය අනුභව කොට හස්ති කාන්ත වීණාව ඉස් දොර තබා ගෙන ශ්‍රී යහන මත්තෙහි වැද හෙව නිදන්ට පටන් ගත්හ.

එ වේලෙහි මාගන්‍දි තොමෝ සක්මන් කරණ ලෙසින් ඇවිද සිට ලා වීණා සිදුරෙන් මල් වට අයා ගත. එ කෙණෙහි දෙතුන් දවසක් නිරාහාර ව හොත්තා වූ සර්පයා වීණා සිදුරෙන් නික්ම සුස්මමින් පෙණය කොට ගෙන ශ්‍රී යහන් මත්තෙහි වැටුන. එ කෙණෙහි මාගන්‍දි තොමෝ සර්පයා දැක ආදි නො දන්නා එකක සේ ‘හෙම්බල, මහ රජ, සර්පයෙකැ’යි කියමින් මහත් කොට මුර ගා හඬා සසලා පියා රජහු පුබුදුවා පියා ‘මේ අන්ධ බාල කාළකණ්ණි රජ්ජුරුවෝ මා කී බස් නො ගිවිසිති’ යි රජ්ජුරුවනට ආක්‍රොශ පරිභව බැණ ‘හෙම්බල නිශ්‍රීක වූ නො කීකරු වූ දුෂ්ට කෙල්ලෙනි, තොප හැම මේ රජ්ජුරුවන්ගෙන් නො ලද්දේ කිම් ද? මේ රජ්ජුරුවන් මළ කල තෙපි හැම සුවසේ රැකෙම්හ යි සිතවු ද? එක විටෙක ත් ඒ සේ නොසිතව’ යනාදීන් සාමාවතීන් හා පිරිවර ගැහැණුන්ට නො එක් පරිභව බැණ පියා “මම අද නපුරු සීනයක් දිටිමි’යි සාමාවතීන්ගේ ප්‍රාසාදයට නො ගිය මැනවැ’යි මා වැනි හිතකාමී බිසොවක නො එක් ලෙස කාරණ කියා මුර ගාමින් සිටිය දී එ බස් නොගිවිස මේ දුෂ්ට ස්ත්‍රීන් කෙරෙහි ම සිත් අලවා ඉක්මන් ඉක්මන් ව ආ සේක් වේ ද? මඳකින් එහි විපාක දුටු සේක් වේ දැ’යි යනාදීන් නො එක් පරිද්දෙන් බස් කියා රජ්ජුරුවන් කුප්පවා පුව.

රජ්ජුරුවෝ ද සර්පයා දැක මරණ භයින් භය පත්ව ‘මෙබන්දක් කරන්නෝ ත් ඇද්ද? අනේ! ඉතා මොවුන්ගේ අදහස් පවිටු නියා ය. මම මොවුන්ගේ ලාමක අදහස දැන කියන්නා වූ මේ මාගේ මාගන්‍දි බිසොවුන්ගේ බස් පවා නො ගිවිස්සෙමි. මූ හැම පළමු තමන් හිඳිනා ගබඩාවල කවුළු තබා ගෙන එයින් නික්ම කැමැත්තක් කොට ඇවිදියහ. පසු ව මා මාළු පිස එවන්ට කියා තමන් ළඟට යවු කුකුළන් පෙරළා එවා පූහ. අද මා වැද හෝනා යහනෙහි නයින් ගෙන ලවා මරන්ට උපාය කළහ’යි කෝපයෙන් දිළිහුණහ.

එ කල සාමාවතී තොමෝ රජ්ජුරුවන් කිපී බව දැක පන් සියයක් පරිවාර ස්ත්‍රීන් කැඳවා ‘හෙම්බා නැගණියෙනි, රජ්ජුරු වන් වහන්සේ නිෂ්කාරණයෙහි අප කෙරෙහි කිපුණු සේක. මෙ තැන්හි අපට අනික් සරණෙක් නැත. අපගේ බුදුහු තමා කෙරෙහි ද්වේෂ කළ වුන්ට මෛත්‍රී කරණ බව ම සියලු උපද්‍රව වැද්ද නො දෙන දිව්‍ය ඖෂධයකැ’යි වදාළ සේක. එ සේ හෙයින් අප කෙරෙහි ද, මේ රජ්ජුරුවන් කෙරෙහි ද, අපට බොරුවෙන් වරද සලසන්නා වූ මේ මාගන්‍දින් කෙරෙහි ද, සම ව මෛත්‍රී සිත් පතුරුව යි, කිසි කෙනකුන් කෙරෙහි ත් ද්වේෂයෙක් නූපදව’යි අවවාද දුන්නු ය.

ඉක්බිති රජ්ජුරුවෝ කෝපාග්නියෙන් නැඟී සිට දහසක් දෙනා නඟාලන මැඬහඟු දුන්න නඟා දුනුදිය අත පොළා පියා බලා විෂ පෙවූ ශරයක් නිය පිට ලෙළවා ඇද මැඬ පියා හැර ගෙන සාමාවතීන් ඇතුළු වූ ගැහැණුන් පන් සියය පිළිවෙළින් සිටුවා හීය පතකඩ අවුළුවා ගෙන සාමාවතීන්ගේ ළයට අභිමුඛ කොට උර පුරා ඇද අත ඇර පූහ. එ කල්හි ඒ ශර ය සාමාවතීන් ගේ මෛත්‍රියෙහි ආනුභාවයෙන් ආපසු හැරී පගිළිය සාමාවතීන් දසාවට අභිමුඛ ව රජහු ළය පළා පිටත් වන්නක්හු මෙන් සිට ගත.

ඒ දැක රජ්ජුරුවෝ සිතන්නාහු ‘මෙ තෙක් දවස් මා විදි ශර ය පර්‍වතයක් වී නමුත් ගසා ගෙන නික්මෙන බව මිස අතුරෙහි නොරඳ යි. අද මේ ශර ය අතුරෙහි සිස් හෙයින් වැදගත් දෙයකුත් නැත. එතකුදු වුවත් දැන් මුණ ය පෙරළී මා දසාවට අභිමුඛ විය. මේ සිත් පිත් නැති ශර ය පවා සාමාවතීන්ගේ ගුණ දන්නේ ය. මිනිස් ව ඉපදත් ඔවුන්ගේ ගුණ නො දන්නෙම් මම්ම ය යි අත තුබූ දුන්න හෙළා පියා දොහොත් මුදුනෙහි තබා ගෙන සාමාවතීන්ගේ පා මුල උක්කුටුකයෙන් හිඳ ‘සාමාවතීනි, සිහි මුළා ව කටයුතු නො කටයුතු සලකා ගත නුහුණු අඥාන වූ මා රැක ගනුව තෙපි ම මට පිළිසරණ වව. මෙ තැන් පටන් තොප සරණ යෙමි’යි මේ මතු කියන ගාථාව කීහ.

‘සම්මුය්හාමි පමුය්හාමි – සබ්බා මුය්හන්ති මෙ දිසා,

සාමාවතී මං තායස්සු – ත්‍වඤ්ච මේ සරණම්භව’යි.

මෙ සේ රජහු කී තෙපුල් අසා සාමාවතී තොමෝ ‘යහපත, මහරජ, මම මුඹ වහන්සේට සරණ වෙමි’යි නොකියා ‘දේවයන් වහන්ස, මා සරණ යන්නේ කුමක් පිණිස ද? තමන් සරණ ගියා වූ මාගේ ළයට විදි ශර ය පවා පෙරළා විදි මුඹ වහන්සේ දසාවට මුණ ය සිට ගන්නා පරිද්දෙන් කරවන තරම මහානුභාව ගුණ ඇති උත්තමයාන කෙනකුන්ගේ සරණ ගියෙම් ද, ඒ උත්තමයාණෝ නම් ලෝකයෙහි කිසි කෙනකුන් හා අසාධාරණ ගුණ ඇති බුදු රජාණන් වහන්සේ ම ය. එ වෙනි ඒ බුදුන්ගේ සරණ යව. මේ තැන්හි වඩ වඩා තෙපි ම මට සරණ වව’යි කියා මේ මතු කියන ගාථා දෙක කීහ.

‘ඉදං වත්‍වා සාමාවතී-සම්මාසම්බුද්ධ සාවිකා,

මා මං ත්‍වං සරණං ගච්ඡ-යම’හං සරණං ගතා.

එස ‘බුද්ධො මහාරාජ - එස බුද්ධො අනුත්තරො,

සරණං ගච්ඡ තං බුද්ධං - ත්‍වං ච මෙ සරණං භව‍’යි.

මෙ සේ සාමාවතීන් කියන තෙපුල් අසා රජ්ජුරුවෝ ‘දැන් මම පළමු තරමට ත් අධික ව බා ගියෙමි’යි ගාථාවකින් කියන්නාහු:

“එස භීය්‍යො පමුය්හාමි – සබ්බා මුය්හන්ති මෙ දිසා,

සාමාවතී මං තායස්සු - ත්‍වඤ්ච මෙ සරණං භව”යි

යන මේ ගාථාව කීහ. ඉක්බිති සාමාවතී තොමෝ පළමු පරිද්දෙන් ම නැවත ත් ප්‍රතික්‍ෂෙප ‘කොට එ සේ වී නම් තොප සරණ ත් යෙමි. තොප කියන බුදුන්ගේ සරණ ත් යෙමි. තොපට කැමති වරයක් ද දෙමි” කී කල්හි ‘මුඹ වහන්සේ දුන් වර ය මා විසිනු ත් ගන්නා ලද්දේ ම ය’යි කිවු ය. එ කල්හි රජ්ජුරුවෝ බුදුන් කරා එළඹ තිසරණ පිහිටා සපිරිවර බුදුන්ට ආරාධනා කොට සත් දවසක් මහ දන් දී සාමාවතීන් කැඳවා ‘මට මේ සා ලාභයක් වූයේ තොප නිසා ය. වහා නැඟී සිටුව. තොප කැමැති වරයක් ගන්ව’යි කීහ. එ කල සාමාවතී තොමෝ ‘මහරජ, මට රත්රන් – අමුරන් ආදියෙන් ප්‍රයෝජන නැත. ඉදින් මට වරයක් දෙන සේක් වී නම් පන්සියයක් සඟ පිරිස හා සමඟ බුදුන් මා ගේ ගෙට වැඩ අහර වළඳා බණ දෙසා වදාරණ පරිද්දෙන් ආරාධනා කළ මැනැවැ’යි කීහ.

එ තෙපුල් අසා රජ්ජුරුවෝ බුදුන් වැඳ ‘ස්වාමීනි, පන් සියයක් මහණුන් හා සමග නිබඳයෙන් මේ ගෙට වැඩිය මැනව. සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ගෑනු බණ අසනු කැමැත්තෝ ය’යි දැන්වූහ. එ කල බුදුහු ‘හෙම්බල, මහරජ, සර්‍වඥවරයෝ නම් සියල්ලවුන් කෙරෙහි අනුකම්පා ඇතියහ. මහා ජනයෝ ද සර්‍වඥවරයන්ගේ දැක්ම ම ප්‍රාර්ථනා කෙරෙති. එ සේ හෙයින් එක තෙනකට නිබඳ ව ගිය කල සෙසු මහා ජනයෝ කෙසේ පින් කොට ගනිද්දැ’යි වදාළ සේක. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘එසේ කල, ස්වාමීනි, සාමාවතීන් ඇතුළු වූ ස්ත්‍රීන් පන් සියයට බණ කියන සේ එක්කෙනකුන් වහන්සේ නිළ කල මැනවැ’යි කිවු ය. බුදුහු එපවත් අසා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ආනන්දයෙනි, මෙ වක් පටන් තෙපි මේ උදේනී රජුගේ අන්තඃපුරයට බණ කියව’යි අනඳ මහ තෙරුන් වහන්සේ බණ කියන ලෙස සලස්වා වදාළ සේක.

අනඳ මහ තෙරුන් වහන්සේ ද පන් සියයක් මහණුන් පිරි වරා රජ ගෙට වැඩ නිබඳයෙන් බණ වදාරණ සේක. ඒ ස්ත්‍රීහු පන් සියය ද නිබඳයෙන් ඒ පන් සියයක් දෙනා වහන්සේ වළඳවා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් බණ අසති. ඉක්බිති එක් දවසෙක තෙරුන් වහන්සේ වදාරණ බණ අසා පැහැද ඒ පන්සියයක් බිසෝවරු පන්සියයක් උතුරු සළු පිදූහ. එයින් එකි එකී උතුරු සළුවෙක් පන්සියයක් පන් සියයක් අගනේ ය. දෙ වන දවස් රජ්ජුරුවෝ ඒ බිසෝවරුන් පන්සිය ය උතුරු සළු නො ලා සිටියා දැක ‘තොපගේ උතුරු සළු කොයි දැ’යි විචාළහ. ඔහු ‘ස්වාමීනී, අපි අනඳ මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා ඔබට ධර්‍ම පූජා කළම්හ’යි කීහ. ඒ අසා රජ්ජුරුවෝ ඒ පන්සියයක් සළු අනඳ මහ තෙරුන් වහන්සේ ම පිළිගත් සේක් දැ’යි විචාරා එසේ ය. සළු පන් සියයම පිළිගත් සේකැ’යි කී කල්හි රජ්ජුරුවෝ අනඳ මහ තෙරුන් වහන්සේ කරා එළඹ පසඟ පිහිටුවා වැඳ එකත් පස් ව හිඳ විචාරන්නෝ ‘ස්වාමීනි, අපගේ බිසෝවරු මුඹ වහන්සේ ගෙන් බණ පමණක් ම අසද්ද්ද? නොහොත් ධර්‍ම පූජා ත් කෙරෙද්දැ යි විචාළහ.

එ කල මහ තෙරුන් වහන්සේ ‘එ සේ ය, මහ රජ, බණ ත් අසති. ඊයේ දවස් ඌ තමන්ගේ උතුරු සළු පන් සියයක් පිදූහ’යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ ‘ස්වාමීනී, පිළි ඉතා බෙහෙව. මෙ තෙක් පිළි කුමක් කරණ සේක් දැ’යි විචාළහ. තෙරුන් වහන්සේ ‘මහ රජ, අපි අපට ප්‍රයෝජන චීවරක් ඇර ගෙන සෙසු පිළි සිවුරු දුර්වලව තිබෙන වහන්දෑට දෙම්හ’යි වදාළ සේක. ඔහු තමන්ගේ පොරණ දිරාගිය සිවුරු කුමක් කෙරෙද්දැ’යි විචාළහ. “ඒ සිවුරු ඉතා දුර්‍වල සිවුරු ඇති වහන්දෑට දෙතී.’ වදාළ සේක. ‘ඔහු තමන්ගේ ඉතා දිරුණු සිවුරු කුමක් කෙරෙද්දැ’යි විචාළහ. ‘පසතුරුණු කෙරෙතී’ වදාළ සේක. ‘පොරණ පසතුරුණු කුමක් කෙරෙද් දැ’යි විචාළහ. ‘සාංඝික බිම බුමුතුරුණු කෙරෙතී’ වදාළ සේක. ‘පොරණ බුමුතුරුණු කුමක් කෙරෙද්දැ’ යි විචාළහ. ‘පාපිස්නාබිසිකෙරෙතී’වදාළ සේක. ‘පරණ පා පිස්නා බිසි කුමක් කෙරෙද් දැ’යි විචාළහ. ‘සැදැහැ ඇත්ත වුන් දුන් දේයධර්‍ම ය නිෂ්ඵල නුවුව මැනවැ’යි කඩ කඩ කොට කොටා මැටි හා එක් ව භනා භිත්තිකර්මාන්ත කෙරෙතී’ වදාළ සේක.

එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, පිළිවෙළින් මෙ තෙක් තැන ගොසිනු ත් ආර්‍ය්‍යයන් වහන්සේට දුන් දන් නො නස් නේ ය’යි කීහ. මහ තෙරුන් වහන්සේ ද එසේ ය, මහරජ, බුද්ධ ශාසනයට දුන්නා වූ දෙය්‍යධර්‍ම ය නො නස්නේ ය’යි වදාළ සේක. එ වේලෙහි අතිප්‍රසන්න වූ රජ්ජුරුවෝ අනිකුත් සළු පන් සියයක් ගෙන්වා ගෙන මහ තෙරුන් වහන්සේගේ පා මුල තබා දුන්හ. අනඳ මහ තෙරුන් වහන්සේ වනාහි මෙ පරිද්දෙන් ම පා මුල තබා දෙන ලද එකක් එකක් ම පන් සියයක් පන් සියයක් අගනා දහස් සළු ලක්‍ෂයක් වාරයෙහි ලත් සේක. දහසක් දහසක් අගනා දහසක් සළු දහසක් වාරයෙහි ලත් සේක. ලක්‍ෂයක් ලක්‍ෂයක් අගනා දහසක් සළු සියක් වාරයෙහි ලත් සේක. එකෙක දෙකෙක තුනෙක සතරෙක පසෙක දසයෙක යනාදී වසයෙන් ලත් සළු මෙතෙකැයි පමණ ගණන් නැත. බුදුන් පිරිනිවි කල්හි ඒ අනඳ මහ තෙරුන් වහන්සේ මුළු දඹ දිව් තලෙහි ඇවිද සියලු විහාර වල වසන වහන්දෑට තමන් වහන්සේගෙන් ම සිවුරු දුන් සේක.

මාගන්‍දි තොමෝ සිතන්නී ‘මා කළ දෙයක් ම මා සිතු ලෙස නො වී අනික් පරිද්දෙකින් ම වෙයි. මෙ විට කුමක් කෙරෙම් දෝ හෝයි සිතා එක් උපායක් කල්පනා කොට දවසෙක රජහු හා සමඟ උයන් කෙළියට නික්ම තමාගේ සුළු පියා ළඟට කියා යවන්නී ‘සාමාවතීන්ගේ ප්‍රාසාදයට වහා ගොස් පිළි තිබෙන ගබඩා හා තෙල් තිබෙන ගබඩාවල දොරවල් හරවා පිළි ගෙන තෙල් සැළවල ගලා තෙමා කප්වල තෙල් කඩ සිසාරා සාමාවතීන් ඇතුළු වූ ගෑනුන් පන් සියය මාළිගාවට එක් කොට දොර වසා පිටතින් යතුරු එලා විලක්කුවක් ගෙන මාළිගාවට ගිනිලමින් මතු මහල් තෙලෙන් බැස පියා පලා ගිය මැනැවැ’යි කියා යවූ ය. ඒ අස්න අසා ඇගේ සුළු පියා ද ‘යහපතැ’යි ගිවිස සාමාවතීන්ගේ ප්‍රාසාදයට නැඟී ගබඩා ගෙවල දොර හැර පිළි ගෙන තෙල් සැළවල ගලා තෙමා කප්වල කඩ සිසාරන්ට පටන් ගත.

ඉක් බිති සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ස්ත්‍රීහු එ පවත් දැක ‘මේ කිමෙක් ද, සුළු පියාණන් වහන්සැ’යි කියමින් සමීපයට එළඹියහ. එකල එ තෙම ‘හෙම්බා දරුවෙනි, රජ්ජුරුවන් වහන්සේ කප් නොදිරා මහත් ව තිබෙන සේ තෙල් කඩ සිසාරන්ට කී සේක. රජ ගෙයි නම් යහපත-නපුර දත නො හැක්ක. දරු වෙනි, මා සමීපයෙහි නො සිටුව’යි කියමින් ළඟට ආවවුන් ගබඩා වලට නික්මවා දොරවල් වසා පිටතින් යතුරු ලා උඩු මාලෙහි පටන් ඒ ඒ තැන ගිනි ලමින් මාළිගාවෙන් බැසපී ය. එ කල සාමාවතී සෙසු බිසෝවරුන්ට අවවාද දෙන්නාහු ‘අප හැම ආදි කෙළවරක් නැත්තා වූ සසර ඇවිදිනා කල්හි මෙ පරිද්දෙන් ගින්නෙන් දා මළා වූ ජාති වෙන වෙන බලතොත් බුදුන් විසිනු දු පිරිසිඳ දත නො හැක්ක. එ බැවින් මේ සා අනර්ථයක් කරණ මේ බමුණා කෙරෙහි ද, මේ වධ යෙදූ මාගන්‍දි කෙරෙහි ද මෛත්‍රී කරව. පමා නො වව’යි අවවාද කිවූය.

එ තෙපුල් අසා බිසෝවරු හැම දෙන ම මාළිගාව දන වේලෙහි වෙදනා පරිග්‍රහ කර්‍මස්ථාන ය මෙනෙහි කරන්නාහු සම හරෙක් සෙදගැමි වූහ. සමහරෙක් අනගැමි වූහ. ඉක් බිති බොහෝ වහන්දෑ නුවරට සිඟා වන් සේක්, වළඳා පස්වරු බුදුන් කරා එළඹ පත් කඩ තබා වැඳ එකත් පස් ව හිඳ බුදුන්ට දන්වන සේක් ‘ස්වාමීනි, මෙ නුවර උදේනි රජ්ජුරුවන් උයන් කෙළියට යාදී මාළිගාව ගිනි ගත. සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් බිසෝවරු දා මළහ. ඒ බිසෝවරුන්ට නරකගති ආදි වූ පඤ්ච ගතියෙන් කවර ගතියෙක් වී ද? පර ලොව කවර වැඩෙක් වී දැ’යි විචාල සේක. එ තෙපුල් අසා බුදුහු ‘හෙම්බා මහණෙනි, එයින් සමහරෙක් සෝවාන් වූවාහු ත් ඇත. සෙදගැමි වූවාහු ත් ඇත. අනගැමි වූවාහු ත් ඇත. මහණෙනි, ඒ සියලු උපාසිකාවරු ම නිෂ්ඵල නොවී සඵල ව කාල ක්‍රියා කොළෝ වේදැ’යි වදාළ සේක. ඉක් බිති බුදුහු මේ කාරණ ය අරභයා උදන් අනන සේක්-

“මොහසම්බන්ධනො ලොකො – භබ්බරූපො ‘ව දිස්සති,

උපධිසම්බන්ධනො බාලො – තමස්ස පරිවාරිතො;

සස්සති වි ය ඛායති – පස්සතො නත්‍ථි කිඤ්චනං” යි.

මෙ සේ උදන් අනා වදාරා ‘හෙම්බා මහණෙනි, සසර ඇවිදිනා සත්‍වයෝ ඇම කල්හිම අප්‍රමාදව කුසල් කෙරෙතී යනු නියම නැත. ප්‍රමාද ව අකුසලු ත් කෙරෙති. එ සේ හෙයින් සසර ඇවිදිනාහු සුව දුක් දෙක අනුභව කෙරෙතී’ යි බණ වදාළ සේක.

උදේනි රජ්ජුරුවෝ සාමාවතීන්ගේ ප්‍රාසාද ය ගිනි ගත් බව අසා දිවන්නාහු ද ගෙය නො දන තෙක් ආ නුහුණහු ය. අවු දින් වනාහි ගෙයි ගිනි නිවා උපන්නා වූ බලවත් ශෝක ඇති ව ඇමැතියන් පිරිවරා හිඳ සාමාවතීන්ගේ ගුණ සිහි කෙරෙමින් මේ කවුරුන් කළ දෙයක් දෝ හෝ යි සිතා මාගන්‍දි විසින් කළ කට යුත්ත බව දැන ‘මෑ අතින් භය ගන්වා විචාළොත් නො කියන්නී ය. උපායෙන් සෙමෙන් විචාරමි’ යි සිතා අමාත්‍යවරුන්ට කියන්නාහු ‘හෙම්බා පින්වත්නි, මම මීට පළමු එකා වන්ව මෝ මට කවර අවැඩක් කෙරෙද් දෝ හෝ යි සැක ඇතිව ම හිඳිමි. උයිත් මට අවසරයක් ම සොයයි. දැන් මා සිතට සැප වී ය. මෙ තැන් පටන් සැප සේ වෙසෙමී’ කිවු ය. එ තෙපුල් අසා ඇමැතියන් ‘දෙවයන් වහන්ස, මේ කොළෝ කවුරුදැ’යි විචාළ කල්හි ‘කවුරුන් විසින් වී නමුත් මා කෙරෙහි ස්නේහයෙන් ම කළ දෙයෙක් මැ’යි කිවු ය. සමීපයෙහි සිටි මාගන්දී තොමෝ රජහු කී බස් අසා ‘දේවයන් වහන්ස, අන් කවරෙක් මෙ සේ කරන්ට සමර්ථ වේ ද? මම මාගේ සුළුපියාට කියා ගිනි දැල්වීමි’යි කීහ.

එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘තොප හැර මා කෙරෙහි අනික් ස්නේහ ඇති කෙනෙක් නම් නැත. තොප කෙරෙහි දැන් ඉතා සතුටු වීමි. මා සිත සතුටු කරවූවා වූ තොපට කැමති වරයක් දෙමි. තොපගේ නෑයන් වහා කැඳවා ගෙන එව’යි කිවු ය. උයි ත් ‘යහපතැ’ යි ගිවිස නෑයන්ට කියා යවන්නී ‘මා කෙරෙහි රජ්ජුරුවෝ සතුටු ව දැන් වර දෙමැ’යි කිවු ය. හැම දෙනා ම නොලස් ව වහා අව මැනවැ’යි කියා යවූ ය. එ බස් අසා ආවා වූ මාගන්‍දියගේ නෑයන්ට මහත් සත්කාර කළහ. එ පවත් අසා මාගන්‍දියගේ නො නෑයෝ ද අත්ලස් දී අපි මාගන්‍දියගේ නෑයෝ ය’යි කියමින් අවුත් වන්නු ය. රජ්ජුරුවෝ හැම දෙනා ම අල්වා රාජාඞ්ගණයෙහි පෙකිණි වට පමණ වළ කණවා ඔවුන් එහි බහා හිඳුවා වටින් පස් පුරවා මත්තෙහි පිදුරු ඉස්වා ගිනි ගසා ඔවුන් ශරීරයෙහි සම් පමණක් දෑ කල්හි නඟුලින් සාවා කඩ කඩ කොට හිර හිරා වධ කොට මැරූ ය. මාගන්‍දිය වනාහි ඇගේ ශරීරයය තියුණු මුවහත් ඇති ශස්ත්‍රයෙන් ඝන බොල් තෙන මස් උපුටා තෙල් ඇතිලියක් උදුනෙහි තබා පූප ජාතියක් මෙන් බැද බැද ඈ ම කැවුය.

ඉක්බිති ධම් සෙබෙහි රැස් වූ වහන්දෑ ඔවුනොවුන් හා කථා කරන සේක් ‘ඇවැත්නි, මෙ වෙනි ශ්‍රද්ධාසම්පන්න උපාසිකාවරුන්ට මෙ වෙනි මරණ ඒකාන්තයෙන්ම සුදුස්සෙක් නො වෙ’යි යනාදීන් කථාවක් ඉපද වූ සේක. එ කල බුදුහු එ තැනට වැඩ ‘හෙම්බා මහණෙනි, දැන් මා එන්නාට පළමු කවර කථාවකින් යුක්ත ව මෙ තැන්හි හුනුදැ’යි විචාරා මෙ පවත් දැන් වූ කල්හි ‘මහණෙනි, මේ ජාතියෙහි සාමාවතීන් ඇතුළු වූ ගැහැනුන්ට මේ මරණ යුක්ත නො වෙ යි පෙර ජාතියෙහි ඔවුන් කළා වූ අකුශල කර්මයට මේ පැමිණියා වූ මරණ සුදුස්සේ ම ය’යි වදාරා ‘කිමෙක් ද ස්වාමීනි, මොවුන් හැම විසින් පෙර කුමක් කරණ ලද ද? ඒ විස්තර වශයෙන් අපට වදාළ මැනවැ’යි ආරාධිත වූ බුදුහු ඉකුත් වත් දක්වා වදාළ සේක.

හේ කෙසේ ද යත්:-

‘යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනකුන් රාජ්‍ය කරන සමයෙහි ඒ රජහුගේ ආරාධනාවෙන් පසේ බුදුන් අට දෙනෙක් රජ ගෙයි දී නිබඳ ම වළඳති. එ කල රජහුගේ පන් සියයක් ස්ත්‍රීහු පසේ බුදුවරුන්ට උපස්ථාන කෙරෙති. පසේ බුදුන් අට දෙනා අතුරෙන් සත් දෙනෙක් හිමවතට යෙති. එක් පසේ බුදු කෙනෙක් ගං අස තණගබෙක ධ්‍යානයට සම වැද හිඳිති. ඉක්බිති එක් දවසෙක රජ්ජුරුවෝ පසේ බුදුවරුන් වළඳවා රජගෙන් ගිය කල්හි ඒ තමන්ගේ පන් සියයක් ස්ත්‍රීන් කැඳවා ගෙන දිය කෙළියට ගඟට ගියෝ ය. එ කල්හි ඒ ස්ත්‍රීහු දවස භාග ය මුළුල්ලෙහි ගඟ දිය කෙළ දියෙන් ගොඩ නැගී ශීතයෙන් පීඩිත ව ගිනි තප්නා කැමැති ව ‘අප ගිනි මොළවා ගන්නා තැනක් බලව’යි ඔබමොබ ඇවිදින්නාහු තණ ලැහැබ දැක හුදක් තණ රැසෙක් ම ය යි සිතා වට කොට සිටි යාහු ගිනි ලූහ.

තණ දා වගුළ කල්හි ඒ පසේ බුදුන් දැක ‘අනේ අපට වූ යේ අපරාධයෙක. රජ්ජුරුවන්ගේ පසේ බුදුන් වහන්සේ දන සේක. මේ බව රජ්ජුරුවෝ දැකපු නම් අපට නිග්‍රහ කෙරෙති. එ බැවින් රජ්ජුරුවන් නො දක්නා පරිද්දෙන් මේ පසේ බුදුන් වහන්සේ ඉඳුරාම දවාපුව මැනව’යි සිතා ඒ ස්ත්‍රීහු හැම දෙන එක් ව වටින් දර ඇද ලා පසේ බුදුන් වසා මහත් දර රැසක් කොට ගිනි දල්වා මෙ විට පසේ බුදුන්ගේ ඇට පමණකු ත් නො තිබී දා යන්නේ ය යි සැක නැති ව ගියහ. ඒ ස්ත්‍රීහු පන්සියය පළමු නො දැක වධක චේතනාවක් නැති ව ගිනි ලූවාහු වී නමුත් පසු ව වධක චෙතනාවෙන් ම කළ උපක්‍රම හෙයින් අකුශල කර්මයෙන් බැඳුනාහ. පසේ බුදුන්ගේ වනාහි සමාපත්ති ඇතුළත දහස් ගණන් ගැල් පුරා දර ගෙනවුත් ලමින් ගිනි ගැසුවාහු වී නමුත් ශරීර ය දවන්නා තබා ලෝමකූප මාත්‍රය කුත් හුණු කොට ගත නො හැක්ක. එ සේ හෙයින් ඒ පසේ බුදුහු එයින් සත්වන දවස් කිසි පීඩාවක් නැති ව හුනස්නෙන් පැන නැගී සැප සේ ගියහ.

ඒ පන් සියයක් ස්ත්‍රීහු එ ම අකුශල කර්‍මයාගේ විපාකයෙන් බොහෝ ලක්‍ෂ ගණන් හවුරුදු නරකයෙහි පැසී ශේෂ ව සිටි එ ම අකුශල කර්‍මයාගේ විපාකයෙන් සියක් ජාතියෙහි මෙ පරිද්දෙන්ම තමන් වසන ගෙය දන කල්හි එක් ව දා මළාහු ය. මේ උන් පෙර කළ අකුශල කර්‍ම ය’යි වදාළ සේක.

මෙසේ බුදුන් වදාළ කළ වහන්දෑ බුදුන් අතින් නැවත විචාරන සේක් ‘ස්වාමීනි, ඛුජ්ජුත්තරාවෝ කවර අකුශලයකින් කුදුවූද? කෙසේවූ කුශලයකින් මහ නුවණ ඇති වූ ද? කවර හේතුවකින් සෝවාන් වූ ද? කුමන අකුශලයකින් අනුන්ට දාසි වූ දැ’යි විචාළ සේක. එකල ‘බුදුහු හෙම්බා මහණෙනි, එම බරණැස රජ්ජුරුවන් රජ කරණ සමයෙහි එම යට කී පසේ බුදුවරුන් අතුරෙන් එක් පසේ බුදු කෙනකුන් මඳක් කුදු ශරීර ඇතියහ. එම පසේ බුදුන්ට උපස්ථාන කරණ එක්තරා ස්ත්‍රියක් රත් වූ කම්බිලියක් පෙර ව රන් තැටියක් අතින් ගෙන ‘අප ගේ පසේ බුදුන් වහන්සේ මෙ සේ ඇවිදිනා සේකැ’ යි කිය කියා නැඹුරුව වක ගසා ගෙන ඒ පසේ බුදුන් ඇවිදිනා ආකාර ය දැක්වුව. ඒ අකුශලයෙන් දැන් ඈ කුදු ව ගියා ය.

එම පසේ බුදුවරුන් පළමු වන දවස් රජගෙයි වඩා හිඳුවා පාත්‍ර ය ගෙන්වා ගෙන රජ්ජුරුවෝ උණු කිරි බත් පුරා පිළිගැන් වූහ. ඒ කිරි බත් පිරූ පාත්‍ර ය පසේබුදුවරහු අත දන හෙයින් පිටින් පිට පෙරළ පෙරළා අතින් ගනිති. එම ස්ත්‍රී තොමෝ එ පරිද්දෙන් පෙරළ පෙරළා පාත්‍රය අල්වන පසේ බුදුවරුන් දැක තමා සන්තක දළ කඩ වළලු අටක් දී ‘මෙහි තබා ගත මැනැවැ’යි කීය. ඒ පසේ බුදුවරයෝ ද එ පරිද්දෙන් ම දළ වළලු මත්තෙහි පාත්‍ර ය තබා එහි ආල ය ඇද්දෝ හෝ යි ඒ ස්ත්‍රිය මුහුණ බලා ‘ස්වාමීනි, මෙයින් අපට ප්‍රයෝජන කවරේ ද? මුඹ වහන්සේලා ම ඇර ගෙන වැඩිය මැනැවැ’යි කී කල්හි පසේ බුදු වරයෝ රැගෙන නන්‍දමූලපබ්භාරයට ම ගියහ. අද දක්වා ඒ දළ කඩ වළලු නොනැසී එහිම තිබෙයි. ඕ තොමෝ එහි විපාකයෙන් දැන්මහ නුවණ ඇතියහ. තෙවළාධර වුව. එ කල පසේබුදුවරුන්ට උපස්ථාන කළ කුශලයෙන් සෝවාන් ඵලයට පැමිණියා ය. මේ ඈ බුද්ධාන්තරයෙහි කළ කුශලාකුශල කර්‍මය ය.

කාශ්‍යප බුදුන් සමයෙහි වනාහි බරණැස් නුවර සිටාණ කෙනකුන්ගේ එක් තරා දුවක් හිර මුඳුනෙන් නැමූ පසු කැට පතක් අතින් ගෙන තමාගේ ශරීර ය සරහමින් හුන්නී ය. ඉක් බිති ඇගේ විශ්වාසික වූ එක්තරා රහත් මෙහෙණින්නක් ඒ සිටු දුව දක්නට ගියා ය. භික්ෂුණීහු රහත් වූවාහු වී නමුත් සවස උපස්ථාන කරණ කුලයන් දක්නා කැමැති වෙති. එ කෙණෙහි සිටු දියණියන් ළඟ යමක් ගෙන්වා ගන්ට කිසි කෙනකු ත් නැත. ඒ සිටු දියණියෝ මෙහෙණින්න දැක ‘වඳිමි ස්වාමීනි, තෙල මාගේ ආභරණ ලන කරඬුව ගෙනවුත් දුන මැනැවැ’යි කිවු ය. එ වේලෙහි මෙහෙණිනී සිතන්නී ‘ඉදින් මම මේ සිටු කුමාරිකාවට පළඳනා කරඬුව ගෙනවුත් නුදුන්නෙම් වී නම් මා කෙරෙහි වෛර බැඳ ගෙන නරකයෙහි උපදිනී ය. ඉදින් දුනිම් නම් අනුන්ට මෙහෙවර කරන සේ දාසි ව උපදිනීය. එ බැවින්’නරකයෙහි ඉපැද දුක් ගැන්මට වඩා අනුන්ට දාසී වීම යහපත් වේ දැ’යි සිතා ඈ කෙරෙහි අනුකම්පාවෙන් ඒ පළඳනා කරඬුව ගෙනවුත් සිටු දියණියන්ට දුන. ඒ මෙහෙණින්න අතින් එ පමණ මෙහෙවර ගත්තා වූ අකුශලයෙන් අනුන්ට මෙහෙ කරණ සේ දාසීව උපනැ යි වදාළ සේක.

නැවත දවසෙක දම් සෙබෙහි රැස් වූ වහන්දෑ ඔවුනොවුන් හා කථා කරන සේක් ‘හෙම්බා ඇවැත්නි, සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ස්ත්‍රීහු තමන්ගේ ගෙයි ම දා මළහ. මාගන්‍දියගේ පන් සියයක් නෑ යෝ මුදුනෙහි පිදුරු ගිනි ලා ය නඟුලින් හිරා බිඳිනා ලද ශරීර ඇති ව මළහ. මාගන්‍දි තොමෝ ලොහො දිය සේ කකියවන ලද තෙලෙහි බැද මරණ ලද්දීය. මොවුන් අතුරෙන් කවුරු ජීවත් වූවාහු වෙද්ද? කවුරු මළාහු නම් වෙද්දැ’යි කියමින් හුන් සේක. එ කල එතැනට බුදුහු වැඩ මහණෙනි, මා එන්නාට පළමු කුමන කථාවක් කෙරෙමින් හුන්නු දැ’යි වදාරා මෙ පවත් දැන්වූ කල්හි ‘මහණෙනි, යම් කෙනෙක් කුසල් කිරීමෙහි පමාවූ නම් ඔවුහු අවුරුදු සියයක් ජීවත් වෙත් නමුදු මළා නම් වෙති. යම් කෙනෙක් කුසල් කිරීමෙහි නො පමා වූ නම් මළාහු වූ නමුත් නො මළා නම් වෙති. එ සේ හෙයින් මාගන්‍දි නො මළත් මළා නම් වෙයි. සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ස්ත්‍රීහු මළාහු වූ නමුත් නො මළා නම් වෙති.

“මහණෙනි, කුසල් කිරීමෙහි නො පමා වූවාහු නො මළාහු නම් වෙති’යි වදාරා මත්තෙහි දු බණ දෙසන බුදුහු ‘හෙම්බා මහණෙනි, නිරන්තර ව සිහි නුවණින් යෙදී නො පමාව කුසල් කිරීම නම් නිවන් පුර වදනා මඟ ය. සිහි මුළාව නුවණින් මෙනෙහි නො කොට සැපතෙහි ලොල් ව කුසල් කිරීමෙහි පමා වීම නම් මරණට මඟය. කාරණ කිම යත්:- කුසල් කොට නිවන් දුටු උත්තමයන් නැවත නූපදනා හෙයින් මරණ ත් නැත්තේ ම ය. කුසල් නො කොට අකුසල් කළ අඥාන ජනයන් සසරින් මිඳී යා නො හී නැවත නැවත උපදනා හෙයින් මරණ ත් ඇත් ම ය. කුසල් කිරීමෙහි නො පමා වූ නුවණැති සත්‍වයෝ පමා ව අකුසල් කරන අඥාන ජනයන් පරිද්දෙන් නො මියෙති. කුසල් කිරීමෙහි පමා වූ සත්‍වයන්ට සසර දුකෙහි කෙළවරක් නො පෙනෙයි. නො පමා වූ සත්‍වයන්ට සසර දුකෙහි කෙළවර පෙනෙයි. කුශල කරණයෙහි පමා වූ සත්‍වයෝ ජාති ආදීන් නො මිදුණු හෙයින් ජීවත් වෙත්, නමුත් මළවුන් වැනියහ. නො පමා වූවාහු වනාහි කුසල් මුහුකුරුව වහා මාර්‍ගඵල උපදවා දෙවන තුන්වන ජාතියෙහි නූපදනා හෙයින් මළ ද නො මළා නම් වෙති. පමා ව කුසල් නො කළ සත්‍වයෝ මළවුන් මෙන් කිසි පිළිසරණක් කොටගත නො හෙන හෙයින් නො මළාහු වූ නමුත් මළාහු නම් වෙති.

මේ කාරණ ය නුවණැත්තෝ විශේෂයෙන් දැන බුදු පසේ බුදු මහ රහතන්ගේ ගෝචර ය යි කියන ලද සතර සතිපට්ඨානාදී වූ ප්‍රභේද ඇති සත් තිස් බෝධි පාක්ෂික ධර්‍මයෙහි හා නව විධ ලෝකොත්තර ධර්මයෙහි ඇලුම් කෙරෙති. එ සේ නො පමා බැව්හි පිහිටියා වූ නුවණැති සත්‍වයෝ අෂ්ටසමාපත්ති ය යි කියන ලද ආලම්බනූපනිධ්‍යානය, විදර්ශනා මාර්‍ග ය යි කියන ලද ලක්‍ෂණොප නිධ්‍යානය යන දෙ වැදෑරුම් වූ ධ්‍යානයෙන් යුක්ත ව ගිහි ගෙන් පිටත් වූ තැන් පටන් අර්හත් ඵලයට පැමිණෙන තැන් දක්වා නිරන්තරයෙන් පැවැත් වූ කායික-චෛතසික වීර්‍ය්‍යයෙන් යුක්තව අනවරතයෙන් කළමනා පුරුෂ වික්‍රමයෙන් යම් ගුණ ධර්‍මයකට පැමිණිය යුතු ද-ඒ ගුණ ධර්මයට නොපැමිණ හෙවත් වීර්‍ය්‍ය කිරීමට ස්ථාන නොවන්නේ ය යි-අතුරෙහි වීර්‍ය්‍ය පසු නොබස්වා නිරන්තරයෙන් පැවැත්තා වූ තද වීර්‍ය්‍යයෙන් යුක්ත ව ආර්‍ය්‍යඵලය යි කියන ලද සතර ඵලයෙන් නිවන් දහම් පසක් කරන්නා වූ නුවණැත්තාහු විපාක ඵුසන ය යි කියන ලද ආර්‍ය්‍ය ඵලයෙන් නිවන් දහම් අත් පත් කෙරෙතී-හෙවත් කාමයෝගාදී වූ සතර යොගයෙන් නිර්භය වූ උතුම් නිවන් අත් පත් කෙරෙතී’ වදාළ සේක.

මේ ධර්‍ම දේශනාව කෙළවර බොහෝ දෙනා සෝවාන් ආදී වූ සතර මග සතර ඵලයට පැමිණියහ. එ සේ හෙයින් නුවණැති සත් පුරුෂයන් විසින් සැදැහැ වඩා නොපමා ව කුසල් කොට අජර වූ අමර වූ අතෘප්තිකර වූ නිවන් සම්පත් අත්පත් කරන්ට උත්සාහ කටයුතු.

  1. සිවු මැදුර