257. ධනුග්ගහ වත

star_outline

තව ද ශාසනයෙහි උකටලී ඇත්තවුන් ගේ උකටලී හරවනු සඳහා ධනුග්ගහ වත දක්වමු.

කෙසේද යත් -

එක් බාල භික්ෂු කෙනකුන් වහන්සේ ලා පතින් පැමිණි කැඳත් ලැබ ගෙන වළඳන්ට හසුන් හලට ගෙන ගොසින් පැන් නැති හෙයින් පැන් සොයා එක් ගෙයකට වැඩි සේක. ඒ ගෙයි එක් කුමාරිකා කෙනෙක් දැක ඔබ කෙරෙහි ආලයක් ඇති ව ඉල්වා ගිය පැනුත් පරහා දෙවා ලා එ ලෙසින් වුව ත් දක්නා කැමැති ව ‛ස්වාමීනි, තවත් පැණින් ප්‍රයෝජනයක් ඇති කල මුඛම වඩනේ යහපතැ” යි කිවුය. උන් වහන්සේ ත් එවක් පටන් යම් දවසෙක පැන් අඵාසු වී නම් කුමාරිකාවන් ගෙන් ආරාධනා ඇති හෙයින් ඔබ ම යන සේක. කුමාරිකාවෝ ත් පාත්‍ර ය හැර ගෙන පැන් පරහා දෙති.

මෙ සේ කල් යත් අතුර තුරෙහි කැඳ ත් දී ලා එක් දවසක් ගෙයි වඩා හිඳුවා ලා දන් වළඳවා ලා වළඳා අන්තයෙහි ළඟ ව හිඳ ඔබ තමන්ට ලං කොට ගන්නා කැමති ව ‘ස්වාමීනි, මේ ගෙයි වුව මනා දෙයින් නැති දෙයෙක් නැත. එක් ව ප්‍රයෝජන විඳ ගන්නා තරම් පිරිමි මිනිස් කෙනකුන් පමණක් නො ලබම්හ. අඩු ව නම් එ පමණකැයි අරුන් වහන්සේට ඇසෙන ලෙස කථා කෙරෙති. ‘මුඹ වහන්සේ සිවුරු හැර වැඩි ය මැනැවැ’ යි අදහස දත නො හී කියා පිය නො හෙති.

උන් වහන්සේ ද කීප දවසක් විතර ම ඒ කථාව අසා සස්යනහි උකටලී සේක. උකටලිය මහත් හෙයින් වාරිනට වන් සේක. එක් දවසක් අමුතු ව ආ වහන්දෑ ඒ ලදරු නම වෑර ගිය නියාව දැක ‘අඵාසු කිම් ද? වෑර ගියේ හැයි දැ’යි විචාළ කල්හි සස්නෙහි උකටලිය නිසා සිවුරු හරිනට නැති හෙයින් වාරින නියාව[1] කී සේක. වහන්දෑ ඒ අසා පා සිවුරු ආදියෙහි ආලයෙන් සිවුරු හරිනට ම උත්සාහ නො කරවා ඇදුරු තෙර වත් තෙරවරුන් වහන්සේ කරා ගෙන ගිය සේක. ඒ තැන් බුදුන් කරා කැඳවා ගෙන ගොසින් බුදුන්ට දැන්වූ සේක. බුදුහුත් සැබෑ දැ’ යි විචාරා සැබැවැ’යි ස්වාමීනි’ කී කල්හි ‘මහණ තෝ කුමක් නිසා මෙ බඳු බුදු කෙනකුන්ගේ සස්නෙහි මහණ ව ගෙන රහතැ’යි හෝ අනගැමි යයි හෝ සෙදගැමි ය යි හෝ යටත් පිරිසෙයින් සෝවානැ’යි හෝ කියවා නො ගෙන උකටලී ය යි කියවා ගනිත්ද? කළ දෑ නපුර. එ සේ ත් කුමක් නිසා උකටලී ද? පිළිවෙත් පිරීම බැරි හෙයින් ද? ගිහි කම්කටුලකට ම සිතා දැ’යි විචාළ සේක.

‘ස්වාමීනි, එක් කුමාරිකා කෙනෙක් මා එතැනට ගිය විටෙක තමන්ගේ සම්පත් ඇති නියාවත් එක්ව ප්‍රයෝජන විඳිනා කෙනකුන් නැති නියාවකු ත් මා ඇසිය දී කියති. මම ඒ අසා ඒ සම්පත් එක් ව ප්‍රයෝජන විඳිනා කැමති ව ශාසනයෙහි උකටලී වීමී’ කී කල්හි ‘මහණ, ඒ ස්ත්‍රිය දැන් තාගේ බ්‍රහ්මචර්යාවට බාධා වට සිතීම ආශ්චර්‍ය්‍ය නො වන්නේ වේ ද? පෙර එක් කලෙක මුළු දඹදිව දුනුවායන්ට අග්‍ර වූ ධනුග්ගහ පණ්ඩිතයන් වැනි වූ නිසි තරම් ඇත්තවුන් අත් හැර ඒ ඇසිල්ලෙහි දුටු සොරකු කෙරෙහි ස්නේහ ය උපදවා ගෙන අර තරම් කෙනකුන් මරවා පීදැ‘යි වදාරා එ පමණෙකින් නො හැඟෙන හෙයින් ඒ තත්‍ව ය හඟවන සේක්-

යට ගිය දවස චුල්ල ධනුග්ගහ පණ්ඩිත කල තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් ළඟ ශිල්ප මුළුල්ලෙන් ධනු ශිල්ප ය යහපත් කොට ඉගෙන ශිල්ප උගත් නියාවට සතුටු වූ ආචාරීන් සතුටු ලෙස හඟවා සරණ පාවා දුන් උන්ගේ දුවණියනු ත් කැඳවා ගෙන දුන්නක් හා හීදඬු පණසකු ත් හැර ගෙන බරණැස් නුවරට යෙමින් සිට කර්‍ම බලයෙන් බොහෝ දෙන නැවතුව ත් නො නැවත වල් කඩ දී සම්භ වූ සොරුන් පණස හී දඬු පණසින් විද හෙළා පියා සොර දෙටුවා විදිනට හී දඬු නිමා ගිය හෙයින් ගසා අල්වා බිම හෙළා ගෙන ‘සොඳුර, කඩු පත දෙව’යි කී කල්හි ඒ ඇසිල්ලෙහි දුටු සොරු කෙරෙහි ස්නේහ උපදවා ගෙන ඕහට කඩු පත දී සමණන් මරවා පූ නියාව ත් සොරු ද මෝ සමණන් මැරෙව්වා සේ ම මාත් මරවා පිය යි. මෑ ගෙන් මට ප්‍රයෝජන කිම් දැ’ යි සිතා ලා -

‘සබ්බං භණ්ඩං සමාදාය - පාරං තිණ්ණොසි බ්‍රාහ්මණ,

පච්චාගච්ඡ ලහුං ඛිප්පං - මම්පි තාරෙහි දානිතො’

යනු හෙයින් අතුරු මඟදී ගඟක් දැක ලා හන් පිළී ත් පළන් ආභරණ ත් හැර ගෙන ඈ මෙ තෙර ම සිටුවා ලා සොරු ගඟින් එ තෙර වූ නියාව ත් ඈ තමා හැර පියා යන නියාව දැන ලා ‘මා ත් කැඳවා ගෙන ගිය මැනැවැ’යි කී හෙයින් ‘කිසි ත් පුරුදු කමක් නැති මා දැක ලා බොහෝ කලක් පුරුදුව හුන් සමණන් මරවා පිව. මඟ එන මිනිසුන් අරුම නො වන හෙයින් අනික් කෙනකුන් දුටු නම් මා ත් මරවා පියව. එ සේ හෙයින් දුරුබා ම යෙමි’යි කියා ලා ගිය නියාව ත්, ඈ තමාත් අපගත වස්ත්‍ර ව ගොසින් එළියෙහි සිටිනට ලජ්ජා ඇති ව කැළිල කැළයක් හස්සට වැදලා හුන් නියාව ත්, ඈට ම ලජ්ජා තර කොට උපදවනු නිසා ශක්‍රයන් කැණහිල් වෙසක් මවා ගෙන මස් කැටියක් ඩැහැ ගෙන ගං වැල්ලේ ඇවිදිමින් සිටි නියාව ත් ශක්‍රයන්ගේ විධානයෙන් ම කුඩමසු වෙසක් ගත් දෙවතාවකු දියස් බඩ ගාවා ඇවිදිනා නියාව ත් කැණහිලාණන් කට තුබූ දඩ මස් කැටි ය වැල්ලේ තබා පියා කුඩ මස්සා සොයා නික්මුණු නියාවත්, සක් දෙවිඳුහුගේ නියමයෙන් ම උකුසු වෙසක් ගත් දෙවියකු මස් කැටිය ඩෑගෙන අහසට නැගි නියාව ත් කුඩ මස්සා දියට ම වන් නියාව ත් කැණහිලාණන් දඩ මස් කැටියෙනුත් කුඩ මස්සාගෙනුත් නො ව උපන් වනින් හිඳිනා උන් තමන් හා සරි ගස්වන්ට කළා සේ ඈ වැද හුන් කැළයට මූණ ලා ලා මුසුප්පු ව ගෙන හුන් නියාවත් අරුන් ඒ දැක තමාට අනුන් සෙන සිනා තමා ම සෙන්නා සේ කළයක් බිඳ පූවාක් මෙන් මහත් කොට සී පූ නියාව ත් සිනා සී පූ හඬ අසා නොදත් බඳු ව කැණහිලාණන් ‘මෙතැන සිනාවට නිසි වූ කෙළි ලළුවක් නැත. ‘සී පූයේ හැ යි දැ’යි විචාළ නියාවත් ඒ නු නුවණ තැනැත්තිය ත් ‘නුවණ නැති කැණහිල, ඩෑ ගෙන යෙමින් සිටි දඩ මස්කැටි ය දිය කෝල් බඩ ඇවිදිනා කුඩමස්සා කෙරෙහි ආලයෙන් හැර කුඩමස්සා සොයා ගොසින් කුඩමස්සා දියට වැදගිය හෙයිනුත් දඩ මස්කැටිය උකුස්සා ගත් හෙයිනුත් දෙකින්ම නොව මුසුප්පු ව ගෙන හුන් තාගේ නුවණ නැති කම සිතා ලා සීපීමි’යි කී නියාවත්, පෙරළා කැණහිලා ‘අනුන්ගේ වරද හබයකට කුඩා වුව ත් මහමෙර සේ මහත් ව පෙනෙයි. තමාගේ වරද මහ මෙර සේ මහත් වුව ත් හබයක් විතර වත් නො පෙනෙයි. තොපි චෞර පුරුෂයාට ආල ය කොට පූර්ව ස්වාමිහුගෙනුත් නු වුව. චෞර පුරුෂයාගෙනු ත් නුවුව. තෙලටත් මෙතැන සී පියන කෙනකුන් නැති හෙයිනු ත් මුත් මෙයට වඩා සිනා නම් එ ම වේ දැ’යි කී නියාව ත් ඒ දුර්ජන තැනැත්තියත් -

‘කැණහිලාණෙනි, ඒ එසේ ම ය. එකෙක් නම් වැරද නො යේ ද ? මෙ විට සුදුසු ස්වාමි කෙනකුන්ට සම්භ වීම් නම් උන්ට හිත පක්‍ෂ වෙම්හ’යි කී නියාව ත් කැණහිලාණන් ‘යම් කෙනෙක් මැටි මලාවක් සොරා හැර ගත්තු නම් ඌ තුමූ කළ අභ්‍යාසයට රන් තැටියක් වුවත් සඟවති. උන් කෙරෙහි හැදහිල්ලක් කට නොහැක්ක. තෝ ආදින් තෙල තරමක් කෙළේ යි. පෙරළාත් නැවැත්මෙක් ඇද්ද? එ ලෙසට ම කෙරෙයි කීය” යනාදීන් චුල්ලධනුග්ගහ ජාතකය විස්තර කොට වදාරා එ කල චුල්ල ධනුග්ගහ පණ්ඩිතයෝ නම් තොපි ය. ඒ ස්ත්‍රී නම් මේ ස්ත්‍රී ය. තොප මෑ කෙරෙහි ඇලුම් කරන බව මුත් එ වක මරවා ලුව. කැණහිල් ලෙසින් අවුත් ඈට ලජ්ජා ඉපැද වූ සක් දෙවිඳු නම් මම ය’ යි වදාරා මෙ සේ ඒ ස්ත්‍රී ඒ ඇසිල්ලෙහි දුටු සොරු කෙරෙහි පෙම් කොට මුළු දඹදිව දුනුවාවනට උතුම් ව සිටි එ වැන්නවුන් මරවා පිව. තොප වැන්නවුන් කෙරේ නවතී ද? ඈ කෙරෙහි කළ ඇල්මෙක් ඇත් නම් හරුවයි බණ වදාරන බුදුහු -

‘යම් කෙනෙක් කාම විතර්කාදි වූ විතර්ක බහුලව වෙසෙත් නම් රාග බහුලයෝ වූ නම් එ සේ වූවන්ට ධ්‍යානාදී ගුණ ධර්‍මයෙන් කුමකුත් නැති ව ගොයම් නැති තැන තණ පිරෙන්නා සේ තෘෂ්ණාවම වඩ්ඩි. එ සේ වූ තැනැත්තේ උනා පියන්ට නිසි උපදෙස් නො දන්නා බැවින් හූ ලණුයේ ගැට ත් ඇද තර කරන්නා සේ තෘෂ්ණා බාන තර කෙරෙයි. යම් කෙනෙක් ධ්‍යාන බලයෙන් වත් කුශල විතර්‍ක බලයෙන් වත්, මිථ්‍යා විතර්කයෙන් දුරු වෙත් ද, අසුබ කමටහන යෙදී වෙසෙත්ද ඌ තුමූ ක්‍රම ක්‍රමයෙන් භාව ප්‍රාර්ථනාවත් සිඳිති. නැවත මාරයා හෙළා ලූ මලක් වැනි වූ කම් වට විවා වට කෙලෙස් වටත් සිඳිතී’ වදාළ සේක. දේශනා කෙළවර සස්නෙහි උකටලී භික්ෂූන් වහන්සේ සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන ලොවී ලොවුතුරා සැප ත් අත් කළහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කාම විතර්කාදි වූ මිථ්‍යා විතර්‍ක නම් අනර්ථාවහ දෙයක් බැවින් තදඞ්ගාදී විසින් එයින් දුරුව නෛෂ්ක්‍රම්‍ය විතර්කාදියෙහි පිහිටා භවක්‍ෂයට ම යත්න කටයුතු.

  1. වෑරෙන නියාව