256. උග්ගසේන නම් සිටුපුත්හු ගේ වස්තුව

star_outline

තව ද උගනිත ත් නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්ට උග්ගසේන නම් සිටු පුත්හු ගේ වත කියමු.

කෙ සේ ද යත් -

නටක විද්දතු පන් සියයෙක් හවුරුද්දෙන් ස මසින් රජගහා නුවරට අවුදින් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලෙහි කෙළි පෑ බොහෝ රත් රන් ලැබෙති. අතරතුරේ බලන සඞ්ග්‍රහයේ පමණ නැත. බොහෝ දෙනත් මැසි මත්තෙහි මැසි ගස්වා ගෙන කෙළි බලති.

එක් දවසක් කඹයේ නටන එකකු ගේ දුවක් හුණදඬු අග ක දී නටන එකක්[1] ශිල්ප බලයෙන් උඩ අහස සක්මනුත් කෙරෙයි. නටයි. ගී ත් කියයි. එ දවස් උග්ගසේන නම් සිටු පුත් යාළණු කෙනකුන් හා සමඟ මැස්සක් මත්තෙහි සිට ආස සිට නටන ඒ විද්දත් දුවගේ හාවභාව ලීලා දැක වායොධාත්‍වාධික[2] රූප කලාප විකාරයක් බලවත් නියා ය යි නො සිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ‘ඇති ව ලදොත් ජීවත් වෙමි. නො ලදොත් මියමී’ සිතා ගෙන නො කා නො බී හැඳට නැඟී ලා වැද හොත්තාහ. දෙමවුපියන් විචාළ කල්හි විද්දත් දුව කෙරෙහි ආලයෙන් නියාව කිවු ය. දෙමවුපියෝ ඒ අසා ‘පුත, තෙල ලෙස කිරීම තොපට ත් අපටත් තරම් නො වෙයි. තරම් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙම් හ’ම් කිවු ය. ඌ නො ගිවිසිමත් ම ය. නොගිවිස්නා උන්ගේ යාළුවාණන් ද, කැඳවා ලා මසුදාසක් දී ලා ‘තෙල අහසට සිට නැටූ විද්දත් දුවගේ පියාට දී ලා තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්ට කියව’යි කියා ලා යවූහ.

විද්දතාණෝ ද ඒ අසා ‘ම දුව විකුණන්නා නැත. රන් හැර ගෙන නොදෙමි. අපටත් රක්‍ෂාව නම් ඌ ම වේ ද? නො ලදොත් මියෙත් නම් මිය ප්‍රයෝජන කිම්ද? අප හා එක් වන්නා දුව පාවා දෙමි’යි කිවු ය. දෙමවුපියෝ එ පවත අසා බිඳුවන්ට[3] සිතා දෝ කීහ. ‘එ සේ වී නම් මම උන් හා එක් වෙමි’ කියා ලා නෑයන් සියන් නො එක් ලෙසින් නැවතුව ත් සිතා ගත් සිතිවිල්ල පිරිමැසූ බව මුත් කාරිය නො සලකා විද්දතුන් ළඟට ගියහ. විද්දතාණෝ ද, සිටු පුත්‍රයාණන් දන්නා විද්දත් ශිල්පයක් නැත ත් ඒ දෙය මේ දෙය අල්වා ගන්ට වුව ත් සහායක් වුව මනා හෙයින් දුවණියන් පාවා දී ලා උනු ත් කැඳ වා ගෙන රට මුළුල්ලේ කෙළි ලළු පෑ ඇවිදිති.

ඒ විද්දත් දූ ත් නො බෝ කලෙකින් සිටු පුත් හට පුතකු වදා පියා නළවන කල ‘ගැල් රකිනවුගේ පුත, ‘බර උසුලන්නවුගේ පුත ‘කුමකුත් නො දන්නවුගේ පුතැ’ යි කිය කියා නළවයි. සිටු පුත්හු ද, ගැල් රඳවා ලා හුන් තැන දී ගොන්ට තණ ගෙනවු ත් ලති. කෙළි ලළු පෑ ඇවිදි තැන ලත් දෙයක් යන එන තැන ට අදිති. එම නිසා විද්දත් දූ ත් පුතු නළවන යම් විටෙක එම කියයි. සිටු පුත්‍රයාණෝ ත් ගීයක් යමක් අනිකකු නොව තමන් අරභයා කියන නියාව දැන ලා ‘මේ හැම මා අරභයා කියවු දැ’ යි විචාළෝ ය. ‘එසේ ය, අනික් කාට කියම්ද? තොප ම කොට ඇවිදිනා කටයුතු හෙයින් තොප ම අරභයා කියමි’ කී ය. ‘තොප නිසා විද්දත් වූවා මඳින් නපුරු ත් ඇසුව මනා ද? පලා යෙමි’ බිනීම් හරවා ගත හැක්කැයි සිතා කීය. ඔයි ත් ‘තොප ගිය මැනව, හුන මැනව. තොප කුමකුත් නො දන්නා තැනැත්තවුගෙන් මට කම් කිම් දැ ‘ යි කියා ලා අවකප්පනයෙන්[4] සැදූ හසු රෑන අල්වා ඇදි ඇදි සේ දුවන්නා සේ එම කිය කියා පුතු නළවයි.

ඕ තොමෝ තමාගේ රූ සම්පත් හැර ගෙන සිටු පුත්‍රයාණන් තමාගේ කොල්ලකු කොට ත් නො සිතයි. සිටු පුත්‍රයාණෝ ද ‘මැගේ මේ අභිමාන ය මෑට වඩා සම්පත් ඇත්තන් ඇති හෙයින් සම්පත ත් නිසා ත් නො වෙ යි. තමා ජාති සම්පන්න නො වන හෙයින් ජාතියක් නිසා ත් නො වෙයි. රූපත් හෙයින් ඒ හා තමා දන්නා ශිල්ප පමණක් නිසා ය. මෑ දන්නා ශිල්ප ත් උගත් හෙයින් මුත් සයංසිද්ධ[5] නොවන්නේ වේ ද- ඇගේ ඒ බෑවුම් පලවා මම ත් ශිල්ප උගනිමි’ මයිලණුවන් කරා ගොසින් තමන් සමර්ථ හෙයින් උන් දන්නා ශිල්ප ඉගෙන ගෙන පයි ඇදීමෙන් හැරී ගොසින් රට මුළුල්ලේ ශිල්ප පෑ ගෙන ඇවිදිනෝ රජගහා නුවර උපන් වැඩි නුවර නොවේ දැ යි ලජ්ජාවෙන් වළහා ත් නොපියා ඊට ත් අවුත් ‘මෙතනට සත් වන දවස් මම ශිල්ප දක්වමි’ උග්ගසේන සිටු පුත් නුවරට කියා යවූහ.

සත් වන දවස් බොහෝ දෙන ත් රැස්ව මැසි මත්තේ මැසි ලා ගත්හ. උග්ගසේන සිටු පුත්හු ද සැට රියන් හුණ දණ්ඩක් බිම හිඳුවා ලා උණ දඬු අගට නැංගෝ ය. එ දවස් බුදුහු ත් අලු යම් වේලේ ලොව බලන සේක් හුණ දඬු අගට නැගෙන්නාට පෙරාතු ව තමන් වහන්සේගේ නුවණ නමැති හුණ දඬු අග හුන්නවුන් දැක වන්නේ කුමක් දෝ හෝ යි බලන සේක් ‘සිටු පුත් තෙමේ ශිල්ප දක්වමි කියා ලා හුණ දඬු අග සිට්ටි. ඔහුගේ නැටීම් දක්නා නිසා බොහෝ දෙන රැස් වෙති. මම එ තැන දී ගාථාවක් කියමි. ඒ අසා සුවාසූ දහසක් දෙන නිවන් දකිති. උග්ගසේනයෝ ත් හුණ දඬු අග දී ම රහත් වෙති’ දැන වදාළ සේක. එ සේ දැන දෙ වන දවස් සිඟා වඩනා වේලා සලකා ලා මහණ ගණ පිරිවරා රජගහා නුවරට සිඟා වන් සේක.

උග්ගසෙන නම් සිටු පුත් ද බුදුන් ඇතුළු නුවරට නො වඩනා තෙක් ම කෙළි ලළු බලන්ට රැස්වූවන් කොක්සන් ගසන නියාවෙන් ඇඟිලි පෑ හිඟි කොට ලා හුණ දඬු අග සිට ලා නික්ම සිස් අහස ම සත් විටක් පෙත්තක් මෙන් සිසෑරී ලා බැස හුණ දඬු අග සිටියහ. ඒ වේලාට බුදුහුත් නුවර ඇතුළට වඩනා සේක් රැස්වූ පිරිස බව අග[6] වුවත් සිටිනට සමර්ථ වූ තමන් වහන්සේ දිසාව බලත් මුත් හුණ දඬු සැට රියනක් විතර මුත් වඩා උඩ සිටිනට බල නැති උග්ගසේනයන් දිසාව නොබලන ලෙසට ඉටා වදාළ සේක.

උග්ගසේනයෝ ත් තමන් පානා කෙළි තමන්ම දක්නා පමණ මුත් රැස් වූවවුන් නො බලන නියාව දැන මුසුප්පු ව ගොසින් ‘හවුරුද්දකින් සමසෙකින් අරුමයක් සේ පානා කෙළි බුදුන් අවුත් මෙ තැනට සම්භව ඔබ ම අමුතු ව පහළ වූවා සේ බලන බව මුත් මෙ නුවරට මා ආදියෙන් පානා කෙළි බලන්නෝ නැත. පැසුණු ගොයම් මුල් වූවා සේ දුක් ගෙන උගත් ශිල්පය සිස් වී ය’ යි සිතූහ. බුදුහු ත් උන්ගේ අදහස් දැන මුගලන් මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘උග්ගසේන නම් සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්ට කියව”යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ත් ගොසින්-

ඉඞ්ඝ පස්ස නටපුත්ත - උග්ගසෙන මහබ්බල,

කරොහී රඞ්ගං පරිසාය – හාසයස්සු මහාජනං,

යන ගාථාව වදාරා බුදුන් වදාළ මෙහෙවර වදාළ සේක. කෙළි ලළුවෙහි යොදන්ට බුදුන් මහ තෙරුන් වහන්සේට විධාන කෙළේ හැයි ද යත හොත්-මත්තෙහි ඕ හට වන ප්‍රයෝජන ය සලකා ය. උග්ගසේනයෝ ද මහ තෙරුන් වහන්සේගේ කථාව අසා බුදුහු ත් මාගේ ශිල්ප දක්නා කැමැති නියා වනැ’යි සතුටු ව හුණ දඬු අග සිට ම-

‘ඉඞ්ඝ පස්ස මහාපඤ්ඤ - මොග්ගල්ලාන මහිද්ධික,

කරොමි රඞ්ගං පරිසාය - හාසයාමි මහාජනං’.

කියා ලා හුණ දඬු අගින් අහසට නැඟී ලා තුදුස් විටක් විචර අහස සිසෑරී පියා බැස ලා හුණ දඬු අග සිටියහ.

බුදුහු ත් බණ වදාරන සේක් ‘උග්ගසේනයෙනි, කෙළි ලළුවෙහි ඇලුම් තබා ලා ගිය දවස පැවැති පස් කඳෙහි ආලය ත් භරුව. එම පස් කඳ එන දවස පවත්නා ඇලුමු ත් හරුව. දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලයත් හරුව. එසේ කළා නම් කෙළි ලළුවෙන් තබා ජාති ජරා මරණිනු ත් මිඳෙව’ යි වදාළ සේක. දේශනා කෙළවර සුවාසූ දහසක් විතර සත්‍වයෝ නිවන් දුටහ.

උග්ගසේන සිටු පුත්‍රයාණෝ ද කර’ග රහත් වන්නා සේ නොවන බව මුත් හුණ දඬු අගදී පිළිසිඹියා පත් රහත් ව හුණදණ්ඩෙන් බැස පියා බුදුන් ළඟට ගොසින් පසඟ පිහිටුවා වැඳ ගෙන මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු ත් දකුණත දික්කොට ලා ‘මහණ, මෙ සේ එව’ යි[7] වදාළ සේක. ඒ වේලෙහි තුන් සිවුරු ආදි වූ අට පිරිකර ධරා සැට වස් ගිය මහ තෙර කෙනකුන් වහන්සේ මෙන් ආකල්ප සම්පන්න වූ සේක. වහන්දෑ ද ‘ඇවැත්නි, සැට රියන් හුණ දණ්ඩෙන් බස්නා ගමනේ භයෙක් නොවී දැ’යි විචාරා ‘අපට භයෙක් නැතැ’ යි කී කල්හි බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, උග්ගසේන තෙරහු හුණ දණ්ඩෙන් බස්නා ගමනේ තමන්ට භයක් නැතැ යි කියති. එ ලෙස කියා තමන් රහත් නියාවක් හඟවතී’ කී සේක. බුදුහු ත් ‘මහණෙනි, ම පුතුන් වැන්නවුන්ට භයෙක් කොයින්දැ’යි වදාරා බ්‍රාහ්මණ වගින් ගාථාවක් වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් නිෂ්ප්‍රයෝජන වූ කෙළි ලළු ආදියෙහි ඇලුම් හැර නිවනෙහි ම ඇල්ම කොට තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා මතු මතුයෙහි ලැබිය යුතු ලොවී ලොවුතුරා ගුණ විශේෂයට පිහිට විය යුතු.

නැවත එක් දවසක් ධම් සෙබෙයි කථාවක් උපදවන සේක් ‘ඇවැත්නි, රහත් වන්ට නිසි මෙ වැනි පිනක් ඇති කෙනකුන් විද්දතුන් හා එක් වන්ට ත් කාරණ කිම්ද? රහත් වන්ට නිසි ව කළ පිනු ත් කවරේ දැ’යි කී සේක. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, මේ දෙකට ම නිස්ස කොළෝ මූ තුමූ ම ය’ යි වදාරා එ ම විභූත කරන්ට “ගිය දවස කසුප් බුදුන්ගේ රන් දා ගබ කරන කල්හි බරණැස් නුවර ඇත්තෝ සාල් බත් ගෙන්වා ගෙන දා ගබ මෙහෙවර කරම්හ යි යන්නාහූ අතුරු මඟ දී එක් තෙර කෙනකුන් සිඟා ගිය වුන් එක් කුල දුවණි කෙනෙක් දැක සමණන්ට ‘එක් තෙර කෙනකුන් වහන්සේ සිඟා වැඩි සේක. ගෙන යන ගැල්වල බතුත් බොහො ව ඇත. බත් පාත්‍රයක් පිළිගන්වා ගන්ට පාත්‍ර ය ගෙනව මැනවැ’ යි කිවු ය. උයි ත් නො මැළි ව පාත්‍ර ය ගෙනවු ය. බත් පාත්‍රය පුරා ලා ස්ථවිර භික්ෂූන්ට පිළිගන්වා ලා ‘නිවන් දකුමෝව’ යි පතාගත්හ. උන්ගේ දන පිළිගන්ට සම්භ වූවෝ ත් රහත් කෙණෙක. එ හෙයින් දිවසින් බලනුවෝ ප්‍රාර්‍ථනාව තෙල ලෙසින් ම සමෘද්ධ වන නියාව දැන සිනා පහළ කළහ.

දන් දුන් උපාසිකාවෝ ද සිනා පහළ කළා දැක කාරණ ත් විචාරා නො පියා සමණන්ට ‘මුන් වහන්සේ සිනාවක් සී පී සේක. විද්දත් කමෙක් ඇති වනැ’ යි කිවු ය. සමණෝ ද ‘එ සේ නො කියව’ යි නො කියා ‘එ සේ සැටි ය’ යි කියා උන් කීවා ම ගිවිස ගෙන නික්මුණාවුය. මේ උන් දෙන්නා කළ කී කට යුතු ය. ඌ ඊ ආයු පමණින් සිට දෙව්ලොව ඉපැද දැන් ඉන් චුත ව එ ලෙස බස කියා ලූ ස්ත්‍රී විද්දත් දූ ව උපන. උග්ගසේනයෝ සිටු කුලයෙහි ඉපැදත් විද්දත් සැටි යැ යි කියා ලූ බස ගිවිසි පමණෙකින් තුමූ නො විද්දත් වත් විද්දතුන් හා එක් වූ ය. රහත් තෙරුන්ට දී ලූ බත් පාත්‍රයෙහි අනුසසින් උග්ගසේන තෙරහු රහත් වූහ. විද්දත් දූ ද මෙහෙණි සස්නෙහි මහණ ව රහත් වීමෙන් මනුෂ්‍ය ජාතීන් අඩු ව උපන ත් ආර්‍ය්‍ය ජාතීන් සරි වුව” යි වදාළ සේක.

මේ සිත තබා අනුන්ට හෙළා පිරිහෙළා කීමෙන් දුරු විය යුතු.

  1. එකකුට

  2. වයො සාත්‍වයික

  3. සිදුවන්ට

  4. අවකප්පනායෙන්

  5. ස්වයං සිද්ධ

  6. භව අඟ

  7. මහණ-මෙහි එව-ඇතැම්