255. ඛේමා නම් මෙහෙණින්නන් ගේ වත

star_outline

තව ද වර්‍ණමදාදියෙහි ත් නපුර දක්වන්ට ඛේමා නම් මෙහෙණින්නන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

ඌ තුමූ පියුමතුරා බුදුන් සමයෙහි අග්‍රශ්‍රාවිකා තනතුරට පතා ආ ‍කෙනෙක. උතුම් තනතුරට පැතූ තරමට රුවෙනු ත් උතුම් ව සිටිති. රුවින් උතුම් හෙයින් වර්‍ණ මදයෙන් මත් ව ‘බුදුහු රූප විරාග ය උපදවනු නිසා කවර තරම් රුවකත් දොස් දක්වන සේක් ල’යි යන නපුරු අදහසින් බුදුන් කරා යන්ට මැළි යෝ ය. උන් නො සිතු ව මනා සිතිවිල්ලක් සිතා ගෙන බුදුන් ළඟට යන්ට මැළි නියාව රජ්ජුරුවෝ දැන වෙළුවන ය වර්ණනා කොට ගී බඳවා ලා විද්දතුන්ට දෙවූහ. විද්දතුන් ඒ ගී කියන නියාව අසා නන්දා දේවීන්ගේ රූප වර්ණනා ව අසා චූලනි රජ්ජුරුවන්ට නන්දා දේවීන් නො හඳුනන ලෙසට වැටහුණා සේ ඛේමා දේවීන්ට ත් ඒ උයන නො හඳුනන්නා සේ වැටහිණ. මේ කවර උයන් වර්ණනාවෙක් ද තොප කරන්නේ ය’යි විචාරා ‘බිසොවුන් වහන්ස, මුඹ වහන්සේගේ වෙළුවන විස්තර කරම්හ’යි කී කල්හි අමුතු ආශ්චර්‍ය්‍යයක් ඇසූ කෙණුකුන් ඒ දක්නට රුචි ඇති හෙයින් බිසවු ත් යනු කැමැති වූහ. බුදුහු ත් ඒ නියාව දැන පිරිස් පිරිවරා වැඩ හිඳ බණ වදාරන සේක් ම තල් වැටක් හැර ගෙන තමන් වහන්සේට පත් සල සලා සිටිනා දෙවඟනක සේ මනහර රූ ධර ස්ත්‍රී වෙසක් මවා ලූ සේක.

ඛේමා බිසවු වෙළුවන විහාරයට යමින් සිට ම ඒ ස්ත්‍රී රුව දැක ‘බුදුන් කවර තරම් රුවක් දුටත් ඊ දොස් වදාරතී කියති. දැන් මුන් වහන්සේ ළඟත් ස්ත්‍රී කෙනෙක් පත් සල සලා සිටිති. මම උන් අස සිටිනට ත් නැත. මෙ සේ වූ කෙනකුන් තමා ත් නු දුටු විරීමි. බුදුන් ළඟට එන කෙනකුන් එත නො දෙන්ට කියා ගත් දෙයක් වනැ’යි සිතා බුදුන් වදාරන බණෙ යි සිත නො හෙළා එ ම ස්ත්‍රී රුව බල බලා සිටියෝ ය. බුදුහු ත් ඛේමා බිසොවුන් ඒ ස්ත්‍රී රුව සිත හෙළා බලනා නියාව දැන ඒ ස්ත්‍රී රුව සොළොස් හැවිරිදි වයස් තරමේ ද, මධ්‍යම වයස් තරමේ ද, කෙළවර වයස් තරමේද මවා පෑ ලා කෙළවර දී ඇට සම් පමණක් කොට ප්‍රෙති රුවක් සේ මවා පෑ ලූ සේක. ඛේමා බිසවු ද සිත හෙළා ඒ රුව බලන බැවින් මෙ වැනි මේ රුව ත් ඇසිල්ලකින් ම අනිත්‍යතාවට පැමිණියේ ය. සිතින් සිතා මුළා විඳිනා පමණක් මුත් කේල් ගස්වල සාරයක් නැත්තා සේ මී ත්[1] සාරයක් නැතැ’යි සිතූහ. බුදුහුත් උන්ගේ අදහස් නිරායාසයෙන් ති ලකුණට නැමෙන නියාව දැන -

“ආතුරං අසුචිං පූතිං - පස්ස ඛෙමෙ සමුස්සයං,

උග්ඝරන්තං පග්ඝරන්තං - බාලානම ‘හිපත්‍ථිතං.’

යන්න වදාරා දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් මැණික් ආදීන් මවා පී රුවක් නොවන හෙයින් දෙ තිස් කුණු කොටසින් ගැවසී ගත් මහනෙල් ඉපුල් ආදි වූ පවිත්‍රයෙකින් නොව, මවු කුසින් පහළ වූ හෙයින් ප්‍රභව ස්ථානය ත් නපුර. තෙමේ ත් නපුරැ’යි රූපයෙහි නපුර වදාළ සේක. ගාථාව වදාරා නිමවා ලන්නා ම වර්‍ණ මද ය හැර තවත් තවත් හළ මනා කෙලෙසුන් හැර සෝවාන් වූහ. උන් බුදුන් කරා නොගි ය ගමන නම් නුවණ මුහු කුරණ තෙක් හුන්නාක් වැන්න. වදාළ ගාථාවෙන් සෝවාන් පමණක් ව රහත් නුවූ හෙයින් රහත් කරවනු සඳහා ‘හෙම්බා ඛේමාවෙනි, යම් සේ මකුළු දැල් බැඳ ලා දැල් මැඳ වැද හෙව දැල් කෙළවර මැස්සෙක් හෝ මදුරුවෙක් හෝ බැඳෙන්ට නිසි එකෙක් බැඳිනි නම් දැල් සෙල වී යන්නා ම ඒ සලකුණෙන් දැළ හුය හොස්සෙහි ගොසින් ලා අල්වා ගෙන රස බී පියා පෙරළාත් අවුත් එ තැන ම වැද හොවී ද එ පරිද්දෙන් යම් සත්‍ව කෙනෙක් රාගයෙන් රැඳුණා වූද, ද්වේෂයෙන් දුෂ්ට වූ ද, මෝහයෙන් මුළා වූ ද ඒ සත්‍ව නමැති මකුළුවෝ අනුන් බැඳෙන්ට නොව තමන් බැඳෙන්ට කොට ගත් තෘෂ්ණා නමැති දළ බැඳෙති.

බැඳී ගිය කරුණා පුරස්සර කෙනකුන් උපදෙසින් ගළවා ලත් මුත් තුමූ ගැළවී ගත නොහෙති. නුවණැත්තෝ එ සේ වූ තෘෂ්ණා දැළත් අර්හන් මාර්‍ග ඥාන නමැති ගින්නෙන් දවා පියා සියලු දුක් ගෙවමින් සුව සේ දවස් යවතී’ වදාළ සේක. දේශනා කෙළවර ඛේමා බිසවූ පිපෙන්ට ආසන්න ව සිටි පියුමක් හිරු රස් ගැසී පිපෙන්නා සේ රහත් වූහ. පිනැති කෙනකුන් මුල් ව වැස පී රුවන් වැසි බොහෝ දෙනාට ප්‍රයෝජන වන්නා සේ ඛේමා බිසොවුන් මුල් ව වැස පී සදහම් නමැති රුවන් වැස්ස බොහෝ දෙනාට ප්‍රයෝජන විය. බොහෝ දෙන ඒ හැර ගෙන ලොවී ලොවුතුරා සැප ත් ලත්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් වර්ණ මදය ත් ආරෝග්‍ය මදා දී වූ සෙසු මදය ත් තත් තත් මුඛයෙන් සෙසු කෙළෙසුනු ත් නසා අමා මහ නිවන් අත් කටයුතු.

බුදුහු රජ්ජුරුවන්ට ‘මහ රජ, ඛේමා බිසවු මහණවන්ට හෝ වුව මැනව පිරිනිවන් හෝ පෑව මැනැවැ’යි වදාළ සේක. රජ්ජුරුවෝ ‘ස්වාමීනි, ආයුශක්තිය ඇත් නම් පිරිනිවි කිම් ද, මහණ කර වා වදාළ මැනව’යි කිවු ය. බුදුහු ත් මෙහෙණවරට යවා මහණ මාලු පැවිදි කරවූ සේක. උන්දෑ ත් කප් ලක්‍ෂයක් පිරූ පැරුම් ඇති බැවින් අග්‍රශ්‍රාවිකා වූහ.

  1. මෙයිත්