තව ද සසර නමැති සිරගෙට වඩා සිර ගෙයක් නැති නියාව ත් සුව විඳිනාහු කර්‍මය ත් තෘෂ්ණා නමැති බානට වඩා සත්‍වයන් බැඳලීමෙහි තර බානක් නැති නියාව ත් හඟවන්ට බන්ධනාගාර වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක උමං බිඳීම් මං පැහැරීම් ආදි වූ බොහෝ අකාරියෙහි බැඳී ඇවිදිනා සොරුන් අල්වාගෙන ගොසින් කොසොල් රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ උන් දඬු කත් තළ ආදියෙන් මස්වා ලූහ.
පිටිසර හිඳිනා වහන්දෑ ද බුදුන් දකින්ට අවුත් දැක වැඳ පියා දෙවන දවස් සැවැත් නුවර සිඟන සේක් සිරගෙය කරා ගොසින් මැස්මේ හුන් සොරුන් දැක වළඳා අන්තයෙහි සවස් කොට ලා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, අපි අද සිඟා ගිය ගමනේ සිඟන්නමෝ සිර ගෙවල මැස්මේ හුන් බොහෝ දෙනා දුටුම්හ. තමන් උමං බිඳිනවුන් දම් බිඳ ගෙන යන්ට බැරි නියාද? ස්වාමීනි, මීට වඩා තව ත් තර බැඳුම් ඇත් දැ’යි විචාළ සේක. මහණෙනි, මේ කුමන බැඳීම් ද පෙර නුවණැත්තෝ යම් බැම්මක් සිඳගෙන හිමවු පියසට ගොසින් මහණ වූ නම් තෘෂ්ණා බන්ධන ය මෙයට ලක්‍ෂ ගණන් තරමින් වඩිනේ වේ දැ’යි වදාරා ඒ වහන්දෑ විසින් ආරාධිත වූ බුදු රජුන් වහන්සේ ඉකුත් වත් ගෙන හැර දක් වන සේක් -
යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනකුන් රජ කරන කල්හි බෝසත්හු ඉතා දුප්පත් වූ ගොවි කුලෙහි උපන්හ. උන් වැඩී ගත් කලට පියාණෝ මළහ. ඌ බැළ මෙහෙ කොට ලා කනවැන්දඹු මෑණියන් රකිති. උන්ගේ මෑණියෝද උන් කිව නොකිව එක් කුල දුවණි කෙනකුන් ගෙනවුත් පාවා දෙවා ලා පසු ව කල් යෑමකදී තුමූ ත් මළහ. ඇඹේණියන් බඩත් දරු කෙනෙක් පිහිටා ගත්හ. ඌ ඇඹේණියන් බඩ දරුවන් ඇති වූ නියාව නො දැන ම ‘සොඳුර, තෙපි තොපට පිළිවන් ලෙස රැකෙව. මම මහණ වෙමි’යි කිවු ය. ‘දැන් මහණ වන්නේ කෙසේද? මා බඩ දරුවන් වුව. උන් වදා පියන්නා උනුත් දැක මහණ වුව මැනැවැ’යි දරුවන් පිට ලා ලා මහණ වීමට බාධා කළහ. උයි ත් යහපතැයි ගිවිස උන් වදාපී කල්හි සොඳුර, තෙපි සුව සේ ම වදාපීහ. ඉතිකින් මහණ වෙමි. උන් දැක පූයෙම් වේ දැ’ යි කිවු ය.
‘තව ද මේ දරුවන් කිරි බොන අවස්ථාවෙන් පනන තෙක් බැලුව මැනැවැ’යි කියා ලා එලෙසින් රඳවා ලා තවත් දැරි ඇති වූ ය. උපාසකයෝ සිතන්නෝ ‘මුන්ට කියා මුන් ගිවිස්සා ගෙන මහණ වතොත් මුන්ට කන්නලවු නොපෙනෙන්නේ ත් නැත. අපට මහණ වීමු ත් නැත. මහ වත හෙළා පූ හකුලක් සේ නිවන් මහවතට හකුල් වූ මුන්ට නොකියාම පලා ගොසින් මහණ වෙමි. උන්ට නො කියා ම රෑ දවස් පලා ගියහ. ගිය ගමනේ ගම රකවල ඇත්තෝ අල්වා ගත්හ. ‘ස්වාමිනි, මම කනවැන්දඹු[1] මෑණියන්ට උපස්ථාන කෙරෙමි. මා හළ මැනැවැ’යි කියා හරවා ගෙන එක් තැනක සැතපී පියා හිමවු පියසට පලා ගොසින් මහණ ව අභිඥා හා සමඟ සමාපත්ති උපදවා ගෙන විසූහ. එසේ වසන්නෝත් ‘අනේ, තර ව මුත් සිඳ ලිය නොහැකි කෙලෙස් බාන් සිඳ පීමී’යි උදන් ඇනූහ.
බුදුහු ත් උන්ගේ උදන්ම මෙ තැන්හි එළවන සේක් බුද්ධාදි වූ නුවණැත්තෝ යම් යකඩින් කළ දමෙක් ඇත් නම් එයි ත්, දණ් ඩෙන් පතින් ඉදි කළා වූ යම් දඬු හැකිල්ලෙක් ඇත් නම් එයි ත් කොසු ආදියෙන් කළා වූ යම් රෑන බාන් ආදියෙක් ඇත් නම් එයි ත් යකඩ ආදියෙන් කපා කඩා සිඳ බිඳ පිය හැකි හෙයින් ම තර යයි නොකියති. තර බහන් කවරේ ද යත්-රත්රන් රිදී ආදි වූ අවිඤ්ඤාණක වස්තුයෙහි ත් වැල් සරක් ආදිවූ සවිඤ්ඤාණක වස්තුයෙහි ත් පැවැති යම් ආලයෙක් ඇත් නම් ඒ යකඩ ආදියෙන් සිඳ ලිය නො හැකි හෙයින් නුවණැත්තෝ ඒ තර බහන් ය’යි කියති.
ඒ බහනේ සැටි කවරේ ද යත්–යම් කෙනකුන් බැඳ වෙලා ගත් නම් ඇද පාත් කොට කොට අපායෙහි හෙළා ලයි. බැඳ ගත් තැන මළ සම පමණකටත් හානි නො කරයි. අළුත් නො වැටෙයි. බැඳ ගත් නියාව ත් නො හඟවා දියෙහි ගොඩෙහි වන කර්මාන්ත ත් කට දෙයි. එ හෙයින් ලිහිල ලෝභ වශයෙන් එක වරෙක ත් යම් තැනක් ඩෑ ගත් නම් ඉදුබන් ඩෑ ගත්තාක් මෙන් ගලවා ලිය නො දෙයි. මෙසේ තර වූ කෙලෙස් බාන අර්හන් මාර්‍ග ඥාන නමැති කඩුවෙන් කපාපිය ත් මුත් සෙසු ලෙසක කෙසේ කැපුවත් නිමවා කැපිය නොහෙයි’ වදාළසේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් උනා ලිය, ගළවා ලිය නො හැකි කෙලෙස් මළෙයි ඉස් ලන්ට මැළි වුවොත් පිනක හැසිර මුනි නිවන් සාධා ලිය නො හැකි හෙයින් කුසල්හි හැසිරිය යුතු.
-
කනවැන්දුමු-කනවැන්දවු ↑