253. සිවුරු හළ කෙනකුන් ගේ වත

star_outline

තව ද තෘෂ්ණාව වශඟ වූවනුත් සත්පුරුෂ සමවාය බලයෙන් පැමිණි දුකින් මිඳෙන නියාව හඟවන්ට සිවුරු හළ කෙනකුන් ගේ වත කියමු.

කෙ සේ ද යත් -

මහසුප් මහ තෙරුන් වහන්සේ ගේ සද්ධිවිහාරික නමෙක් ධ්‍යානලාභී ව සිටත් බඩාල් කුලෙන් අවුත්. මහණ වූ හෙයින් බඩාල් දුවක කෙරෙහි පිළිබඳ සිත් ඇති ව සිවුරු හළහ. සිවුරු හළත් කර්මාන්තයට මැළිකම නො හළ බැවින් ගෙන් සපා නෙරපීහ. ඌ තුමූ රැකී ගන්නා අනික් උපදෙසක් නැති බැවින් සොර කොට කති.

එක් දවසක් සොරකම් හසුකොට ගෙන ගසා අල්වා ගෙන පිටිතල[1] හයා බැඳලා ඒ ඒ තැන දී සැමිටිවලින් මරන්නාහු මිනී මරණ තැනට ගෙන යෙති. මහසුප් මහ තෙරුන් වහන්සේ ද සිඟන සේක් සිවුරළුවාණන්[2] දකුණු වාසලින් ගෙන යන්නවුන් දැක බැම්ම ලිහිල් කරවා ලා ‘පෙර තොප පිරිමසා ආ කමටහන සඳහන් කරව’යි වදාළ සේක. උයි ත් ඒ අවවාදයෙන් කමටහන් මෙනෙහි කොට අපවත්ව ගිය දෙයක් සොයා ගත්තා සේ ධ්‍යාන සතර ම පෙරළා ත් උපදවා ගත්හ.

ඉක්බිත්තෙන් මිනී මරණ තැනට ගෙන ගොසින් ලා මරන්නෝත් එක විටම නො මරා දුගෙන මියන ලෙසට දිවස් හුලට නැංගූ ය. උන්ට භයකුත් ශඞ්කාවකුත් නැත. ඒ ඒ දිග සිටි මිනිස්සු කොන්ත තෙප් අඩයටි ආදිය අනිනා ලෙසට පොවා ත් උන් නො බන නියාව දැන ‘බල ව මුන්ගේ නිර්භීත කමක් ය. මෙ තෙක් දෙනා ආයුධ අල්වා ගෙන සිටියත් තමන් උලට නැංගු වත් අචෙතනික දෙයක් මෙන් භයෙක් වත් වෙවිලීමෙක් වත් නැත. ඉතා විස්ම ය’යි සතුටු ව කොක්සන් ගසා ගෙන රජ්ජුරුවන්ටත් එපවත් කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා ඌ හැර පියව’යි කිවු ය. බුදුන්ට ත් එ පවත දැන්වූහ.

බුදුහු ත් උන් කරා රස් කඳක් විහිදුවා ලා උන්ට බණ වදාරන සේක් ‘යමෙක් ගිහි සම්පත ආල ය නැති ව තපසෙහි ඇලී මහණ ව නපුරැ’යි දමා පූ දෙයකට පෙරළාත් ආලය කරණා සේ පෙරළාත් ගිහී සම්පතට ආල ය කෙරේද, ඌගේ තරමක් බලව. ආලය හළ සම්පතෙහි පෙරළා ත් ආලය කෙරෙයි. ආදීනවයක් දැක දමා පී දෙය පෙරළා හැර ගන්නා සේ කලට අර ආදීනව ය තදස්ථ ව සිටිනා සේම ආලය හළ ගිහි සම්පත ත් ආදීනව වුව ආල ය හැරී තුබූ දවස් ගණනේ ආදීනව ය හැරෙන්නා නැත. හළ ගිහි සම්පතෙහි ආල ය කරන්නේ හැයි ද? ඊට කරන ආලය නිවනට කළ මනා වේ දැ’යි වදාළ සේක.

උලට නැඟි තැනැත්තෝ ද මේ දේශනාව අසා තිලකුණු මෙනෙහි කෙරෙමින් සෝවාන් ව සමවත් සුව විඳිනාහු කර්මය ත් එ පමණෙකින් ගෙවුන වන්නා හුලින් ගැළවී අහසට නැඟී ලා අහසින් ම බුදුන් කරා ගොසින් බුදුන් වැඳ ලා මහණ ව සරාජික වූ පිරිස් මැදයේ ම රහත් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සියලු පවින් දුරු ව පින්හි හැසිර සසර නමැති මහ හුලින් නැඟෙන්ට උත්සාහ කටයුතු.

_________

  1. පිටි තොල

  2. සිවුරුළුවාණන්-සිවුරු අළුවාණන්