252. සූකර පොතිකාව ගේ වස්තුව

star_outline

තව ද භවොත්පත්තියෙහි ම දෝෂ දක්වන්ට සූකර පෝතිකා වගේ වස්තුව කියමු.

කෙසේ ද යත් -

එක් දවසක් බුදුහු රජ ගහා නුවරට සිඟා වඩනා සේක් එක් හීරි පැටියක දැක මඬ වැකී පියා සිටි සැටියට සිනා පහළ කල සේක. සිනා පහළ කළ කලට මුඛ විවර විනිර්‍ගත වූ දන්ත රස්මි ශෝභාව දැක අනඳ මහ තෙරුන් වහන්සේ කාරණ විචාළ සේක. බුදුහු ත් ‘ආනන්‍දයෙනි, තෙල සාරා කා ඇවිදිනා හීරි පැටිය දුටුවා දැ’ යි විචාරා ‘එ සේ ය, ස්වාමීනි’ යි කී කල්හි ‘තුලූ කකුසඳ බුදුන් සමයෙහි භෝජන ශාලාවක් ළඟ උළු අවුළා කන කිකිළියක. එක් යෝගාවචර භික්ෂු කෙනකුන් විවසුන් කමටහනක් පිරිවන්නා අසා සිත පහදවා ගෙන එයින් චුත ව රජ කුලයෙක ඉපැද උබ්බරි නම් රජ දුවක් වුවව. ඕ තොමෝ එක් දවසක් අමෙධ්‍ය පිණ්ඩයෙක ගලා ගෙන හුන් පණු රැසක් දැක පුළවක සංඥාව උපදවා ගෙන භාවනා කොට ප්‍රථම ධ්‍යාන ලාභී ව මිනිස් ලොව ආයු පමණින් සිට ස්ත්‍රීන්ට ධ්‍යාන පස උපනත් උපදනා ප්‍රථම ධ්‍යාන තලයෙහිම හෙයින් මිය පළමු ධ්‍යාන තෙලෙහි උපන. චුති ප්‍රතිසන්ධි වශයෙන් ඒ ඒ තැන ඉපැද ඇවිදිනී දැන් හීරි ව උපන. ඒ දැක සිතා පහළ කෙළෙමී’ වදාළ සේක.

ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ පටන් නො රහත් බොහෝ දෙනා වහන්සේට සසර භය ත් භයාකාරයත් ඇති වි ය. බුදුහු මේ ලෙසින් භය උපදවා ලා භව තෘෂ්ණාවෙහි ආදීනව හඟවා ලා ඇතුළු වීථියෙහි සිට ම බණ වදාරන සේක් ‘යම් සේ ගසෙක සතර දිගට ගිය මුල් සතරත් පාතට බට මුල ත් මුල් පස කැපීම් ඉපිරීම් නැති ව තරව සිටි කල්හි තල් පොල් ආදියක් නො ව හට ගන්ට නිසි ගසක් උඩත්[1] බාතබා පීවත් නැඟේද, එපරිද්දෙන් රහත් මගින් තෘෂ්ණාව නසා නො පී කලට තෘෂ්ණාවට වූ හානියක් නැති බැවින් ප්‍රභව ය නුසුන් කලට ගඟ දිය පවත්නා සේ ඇති වේ ම ය.

තවද යම් කෙනකුන්ට දෘෂ්ටි සන්නිශ්‍රිත නොව හුදක් රූපාදි සාරමුණෙහි උපදනා තෘෂ්ණාවෝ ස දෙන ය, එ ම සාරමුණෙහි ශාශ්වත දෘෂ්ටි සන්නිශ්‍රිත ව උපදනා තෘෂ්ණාවෝ ස දෙන ය, උච්ඡෙද දෘෂ්ටි සන්නිශ්‍රිත ව උපදනා තෘෂ්ණාවෝ ස දෙන ය යි ස්වසන්තාන වර්ති වූ අටළොසෙක, අන්‍ය සන්තාන වර්ති වූ අටළොසෙකැ යි තෘෂ්ණාවෝ සතිස් දෙන තුන් කල්හි ම වීමෙන් එක් සිය අටක් අටක් පමණ වූවාහු සත්‍වයන් සසර නමැති මුහුද ලීමට වතුරක් වන හෙයින් ශ්‍රෝත නම්හ. එසේ වූ ශ්‍රෝතසින් යුක්ත වූ තෘෂ්ණා තොමෝ මහත් ව පවත්නා හෙයින් ප්‍රවාහ ව පවතී ද, ධ්‍යානාදියක් නො නිසා නපුරු අදහස් ඇති ඕ හට රාග සන්නිශ්‍රිත ව පවත්ති. තවද නො එක් ආකාරයෙන් පවත්නා මේ තෘෂ්ණාවෝ සත්කාය නුවර රඳා හිඳ ලා චක්ෂුරාදී වූ වාසල්වලින් පිටත්ව බඩු ඇති තැනක් බලා ඇවිදිනා වල් සොරුන් මෙන් රූපාදී වූ සාරමුණෙන් එක අරමුණකු ත් නො හැර හැම තැන ම හෙවත් තුන් භවයෙහි ම අරූප භවයෙහි මුත් මුනි දොර ඇති බැවින් පවත්ති. යම් අරමුණක්හු පැවැත්තෝ නම් ගස් වළඳන ලිය ගසින් කිසිවකු ත් නොතෝරා ගස කඩා ගෙන හෙන මුත් වෙළන්නා සේ වෙළා ගෙන සිටිති.

කළ මනා කවරේද යත්-වස ලියයක් නසන්නවුන් මුලුත් නොරඳවා උදුරා දමන්නා සේ අර්හන් මාර්‍ග ඥාන නමැති කැපෙන යකඩින් තෘෂ්ණා නමැති වස ලිය ය මුල දී ම සිඳුව. කාරණ කිම් යත්-යම් සන්තානයෙක මෝ[2] පැවැත්තී නම් උන් සසර නමැති මහ මුහුදින් නිවන් පර තෙරට නැංග නොදී ජාති දුක් ආදි වූ නොඑක් දුකට පමුණුවයි. තෘෂ්ණා වසඟයත් මාලු ගොන් සීයට මැළි වන්නා සේ සසරින් ගොඩනැඟෙන්ට මැළි හෙයින. තව ද තෘෂ්ණා වසඟ වූ සත්‍වයෝ සංයෝජන නමැති දැල බැඳී ගිය සත්තු සා දැල බැඳුණු සාවුන් මෙන් සැලෙති. පෙළෙති. සැලී පෙළී බොහෝ කලක් සසර දුක් ගනිති. එ හෙයින් නිවන් පතන්නවුන් විසින් නැති කළ මනා නම් තෘෂ්ණාව ම ය’ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

ඒ හීරිපැටි ද ඉන් මිය ගොසින් මලයුරු පාවුරුවෙයි[3] රජකුලයෙහි උපන. ඉන් චුත ව වනවාසී නම් රට එක් කුලයක උපන. ඉන් චුතව සුප්පාරක නම් පටුන් ගම අස් වෙළෙඳ ගෙයක උපන. එයින් චුත ව කාවීර නම් පටුන් ගම නියමුවාණ කෙනකුන්ට දූ ව උපන. ඉන් චුත ව ලක්දිව අනුරාධපුර නුවර පොහොසත් කෙනකුන්ට දූ ව උපන. ඉනු ත් මිය ගොසින් අනුරාධපුරයට දකුණු දිග හෙක්ඛන්ත[4] නම් ගම සුමන නම් කෙළෙඹියාණන්ට දූ ව සුමනාවෝ ය යි ප්‍රසිද්ධ වූහ. උන්ගේ පියාණෝ ද එ ගම හැර පියා රූණට පලා ගොසින් දිගා මඬුල්ලේ මහ මුනි[5] නම් ගම රඳා හුන්හ.

එ කල දුටුගැමුණු රජ්ජුරුවන්ගේ ලකුණ්ටක අතිම්බරු නම් ඇමැත්තෙක් කිසි කටයුත්තක ඒ ගමට ගියේ සුමනා නම් ඒ කුමාරිකාවන් දැක උන් කෙරෙහි ඇලුම් ඇති ව මඟුල් කොට සරණ පාවා ගෙන මහා පුණ්ණ නම් ගමට ගියේය. එකල කෙළ පව් වෙහෙර වසන මහා අනුල නම් තෙරුන් වහන්සේ එ ගමට සිඟා වැඩි සේක් සුමනා නම් කුමාරිකාව දැක වහන්දෑ ලා කථා කරන සේක් ‘ඇවැත්නි, හීරිපැටි පවා ලකුණ්ටක අතිම්බරු නම් ඇමැත්තාණන්ට අඹු වුව. ඉතා ආශ්චර්‍ය්‍යය යි වදාළ සේක. සුමනාවෝ ද ඒ කථාව අසා සිහි නැති ව තුබූ දෙයක් සිහි කරන්නාක් මෙන් ජාති සිහි කරන නුවණ ලදින් ජාති සිහි කොට පියා සසර කළකිරී මෙහෙණිනි වනු කැමැති නියාව සමණන්ට කියා ලා මහ පෙරහරින් ගොසින් මෙහෙණි සස්නෙහි මහණ ව තිස් මා[6] වෙහෙරදී මහ සීවටන් සුත අසා බිසෝ ව උපන් අවධියේ කළ භාවනොපාශ්‍රයෙන් සෝවාන් වූහ.

පසුව දුටුගැමුණු රජ්ජුරුවන් දෙමළුන් සාධා පී කලට නෑයන් හිඳිනා හෙක්ඛන්ත නම් ගමට අවුත් එහි වසන්නාහු කල්ලක වෙහෙර දී ආසිවිසොපම සූත්‍රය අසා රහත් වූහ. පිරිනිවන් පානා දවස් මහණ-මෙහෙණිනි දෙ පක්‍ෂ ය විචාළ කල්හි එපවත් මුළුල්ල ම කියා ලා පිරිනිවන් පානා තැන රැස් වූ වහන්දෑලාගෙන් මුඬුලු වෙහෙර වසන ධර්‍ම පියා අටුවා ආවෙණිකව පිරිමසන මහා තිස්ස තෙරුන් වහන්සේට ‘මම පෙර කකුසඳ බුදුන් සමයෙහි කිකිළි ව ඉපැද පියා උකුස්සකු අත නැසී, රජ කුලයෙක ඉපැද පරිබ්‍රාජිකා ව, ප්‍රථමධ්‍යාන උපදවා බඹලොව ඉපැද, ඵයින් සැව සිටු කුලයෙක ඉපැද නොබෝ කලකින් මිය, ගෞතම බුදුන් සමයෙහි හීරි ව ඉපැද, ඉන් මිය මලයූරුවේ‍[7] ඉපැද, ඉන් මිය වනවාසී නම් රට ඉපැද, ඉන් මිය සුප්පාරක නම් පටුන් ගම ඉපැද, ඉන් මිය කාවීර නම් පටුන් ගම ඉපැද, ඉන් මිය දඹදිව උපදිනා තැන් නිමියා සේ මෙ ලක්දිව අනුරාධපුර නුවර ඉපැද, ඉනුත් මිය මේ හෙක්ඛන්ත නම් ගම ඉපැද ය’යි මුල අත් බැව් මට තබා නිමවා දක්නට බුදුන්ටත් පිළිවන්ද? කිකිළිව උපන් ජාතියේ පටන් තෙළෙස් අත් බැවෙක ඉපැද දැන් මෙ වක මට පිහිට කොට ගතිමි. මා බලා හැම තැන් ම නො පමා වුව මැනැවැ’යි අවවාද කොට ලා සිවුවනක් පිරිස් මැද පිරිනිවියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් සංසාර දෝෂ ය භික්ෂුණින්ට ම නො වන නියා ත් තමහටත් වන නියාව දැන අවුල් වියවුල් සසර නො රඳන්ට ම සිතා කුසල්හි හැසිරිය යුතු.

  1. උඩ තබා

  2. මොහ

  3. පාවුරුවෙයි-පාරුවෙයි, පායුරුවෙනි

  4. හොක්ඛන්ත-හොක්කන්ත

  5. මහා ලුම්මුච්චිනි, මහා ලුම්බිනි

  6. තිස්ස මහ

  7. අරමණයේ-ඇතැම්.