තව ද අකුශලයෙහි ම ආදීනව දක්වන්ට කපිල නම් මත්ස්‍යයාගේ වස්තුව කියමු.
කෙ සේ ද යත්-
යට ගිය දවස කසුප් බුදුන් පිරිනිවි සමයෙහි කුල දරුවෝ දෙ බෑ කෙනෙක් ගිහි ගෙයින් නික්ම බුදුන් පිරිනිවීය ත් වහන්දෑ ළඟ මහණ වූහ. ඒ දෙනමින් වැඩි මාලු නම සොධන නම් සේක. බාල නම කපිල නම් සේක. ලමන්දු උපාසිකාවෝ සාධනී නම්හ. නැගණියෝ තාපනා නම්හ. ඌ දෙ පුතු මවුත් මෙහෙණි සස්නෙහි මහණ වූහ. මෙ සේ හැම දෙන ම මහණ වූ කලට දෙ බෑයන් වහන්සේ ඇදුරු වත් තෙර වත් ආදි ය කිරීමෙන් ආභිසමාචාරික ශික්‍ෂාවෙහි ත් හැසිර උපසම්පදාව ලදින් එක් දවසක් ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් වහන්සේ අතින් ‘ස්වාමීනි, මේ සාසනයෙහි ධුර කීයෙක් දැ’යි විචාරා ග්‍රන්ථ ධුරය හා විපස්සනා ධුරය නියාව අසා වැඩි මාලු තැනැත්තන් වහන්සේ විපස්සනා ධුර ය පුරමී සිතා ගෙන පස් වසක් ආචාරි උපාධ්‍යායයන් වහන්සේ ළඟම වැස රහත් වීම දක්වා කමටහන් ඉගෙන වලට පලා ගොසින් විවසුන් වඩන සේක් එ බඳු පින් ඇති හෙයින් රහත් වූ සේක.
මලණුවන් වහන්සේ ‘මම තව සග බාලයෙමි. මාලු කලත් විවසුන් වැඩිය හැක්ක. සග අවස්ථාවෙහි ග්‍රන්ථ ධුරය පුරමි’ සිතා තෙවළා බුදු වදන් උගත් සේක. ආගමධර වීමෙන් ඇසීම් පිරිවීම් නිසා අසන පිරිවානා වහන්දෑ බොහෝ ඇති වූ සේක. ගණය මහත් වත් වත් ගණතො ලාභය වූ හෙයින්[1] ලාභයත් මහත් වි ය. ආගම පණ්ඩිතත්‍වය නිසා අභිමානය ත් ඇති ව ලාභයෙහි ලෝභයත් බලවත් ව අනුන් කැප ය යි කී දෙයෙක් ඇත් නම් අකැප ය යි කියා ත් අකැප යයි කී දෙය කැප ය යි කියා ත් සාවද්‍ය ය යි කී දෙය නිරවද්‍ය ය යි කියා ත් නිරවද්‍ය ය යි කී දෙය සාවද්‍ය ය යි කියා ත් නපුරු අදහසින් බණ උගත් නියාවට කියමින් ලජ්ජිපෙසල වහන්දෑ ධර්‍ම විනය පෑලා ‘කපිලයෙනි, තෙල සේ නො කියව, නො කරව’යි අවවාද කළ තැන් කෙරෙහි ත් ශික්‍ෂායෙහි ත් ගෞරව නැති ව ‘මුඹ වහන්සේලා කුමක් දන්නා සේක්ද? බොල් වැනි සේකැ’යි යනාදී දොඩාගෙන බැණගෙන අනාචාරී ව අනුපාධ්‍යාය ව ඇවිදිනා දෑ ය.
වහන්දෑ බෑණන් වහන්සේ සෝධන තෙරුන් වහන්සේට ත් එ පවත් කී සේක. උන් වහන්සේ ත් මලණුවන්දෑ කරා ගොසින් “කපිලයෙනි, තොප වැනි බුද්ධි සම්පන්නයන් උගත් පර්‍ය්‍යාප්ති ය පිටට සම්‍යක් ප්‍රතිපදාවෙකුත් ඇත් නම් හෙන ගෙයට දෙන රුකුලක් සේ ශාසනයට මහා වත්තම. තොප උගත් බණ ලෙසට ක්‍රියා කරත් මුත් අනික් ලෙස ක්‍රියා කොට ඇවිදිනා කලට ධර්මයටත් පිටි පෑ තිබෙයි. තොපටත් අල්වන සර්පයා අල්වන සැටියේ නො අල්වා නපුරු කොට ඇල් වූ කල වන අනර්ථ සේම බොහෝ අනර්ථ වෙයි. තෙල ලෙස නො කරව’යි වදාළත් තමන්දෑගේ අස්ථානයෙහි උගත් බුහුටි කමට එයි ත් නොගිවිසි දෑය. එසේ වුවත් බෑ තෙරුන් වහන්සේ දෙ තුන් විටක් කොටත් වදාරා නො ගිවිස්නා නියාව දැන ‘තොපගේ නපුරු කටයුත්තෙන් තොපි ම පෙනෙන්නාවා දැ’යි වදාරා ලා වැඩ පී සේක. එවක් පටන් සෙසු ත් ලජ්ජි වහන්දෑ ශාසනයට ප්‍රයෝජනයක් නැති නියාව දැන හළ සේක.
ඒ වහන්දෑ ද මර්‍ය්‍යාදාව[2] නපුරු ව ගොසින් කසළ පර්ෂත් ඇති ව වසන දෑ ය. එක් දවසක් කසළ පිරිස් පිරිවරා පොහෝ ගෙට ගොසින් විජිනි පත්‍රයකුත් හැර ගෙන ධර්මාසනයෙහි හිඳ ‘මෙ තැනට රැස්වූ තැන් පා මොක් වන පොත් ඇත් දැ’යි විචාරා ‘මුන් ලා දෙඩීමෙන් ප්‍රයෝජන කිම්ද? සරු සාර තැනක් ලා වේ ද දෙඩුව මනා ය’ යි නිරස්ත ව හුන් වහන්දෑ දැක ‘ඇවැත්නි විනයත් හැයි ද? පාමොකුත් හැයිද? බණත් හැයිද? දහමුත් හැයි දැ’යි කියා ගෙන බුදු සස්නෙන් ගොඩ නැඟි නියා හඟවමින් ආසනයෙන් නැඟී දෑය. මෙ සේ ඒ කර්‍ම කළ වහන්සේ කසුප් බුදුන්ගේ සස්න නිෂ්කලඞ්ක ව පවතිමින් සිටියා පසු බා පුදෑය. සොධන තෙරුන් වහන්සේ ද සසුන් නමැති ගුවන් කුස ගුණ රසින් හොබවා පිරිනිවි සේක. කපිලයන්දෑ ත් ආයු ගෙවා ගෙන මිය අවීචියෙහි උපන්හ. මෙහෙණි සස්නෙහි මහණ වූ මෑණියන් හා නැගණියෝ ත් නපුරු තැනැත්තවුන් හා එක් ව සිල්වත් තැනට දොඩා බැණ පුතණුවන් අත් නොහැර මෑණියෝත් බෑණන් අත් නොහැර නැගණියෝ ත් එ ම නරකයෙහි උපන්හ.
එ කල පන්සියක් දෙන ගම් පැහැරීම් ආදි වූ සොර කමින් ජීවත් වන්නාහු එක් දවසක් සොර කමෙක දී මිනිසුන් ලුහුබඳවා ගන්නා වල් වැද ගොසින් ඊත් සැඟවී ගන්නා අත් නැති ව වන වාසව වැඩ හිඳිනා එක් කෙනකුන් වහන්සේ දැක වැඳ පියා ‘ස්වාමීනි, අපට පිහිට වුව මැනැවැ’යි කීහ. තෙරුන් වහන්සේද ‘තොපට මෙ තැන්හි පන් සිල් විනා අනික් පිහිටෙක් නැත. පන්සිල් හැර ගනුව’යි කියා ලා උනු ත් ගිවිසි හෙයින් පන් සිල් දෙවා ලූ සේක. පන්සිල් දෙවා ලා ‘මෙ තෙක් කල් කුම් වුවත් දැන් තෙපි සිල්වතුව. ජීවිත ය නසිතත් පන්සිලට හානි නොකරව. සියල්ලවුන් කෙරෙහි ම මෛත්‍රී කරව’යි වදාළ සේක. උයි ත් ඒ ගිවිස්සාහ. ලුහුබඳවා ආ වස්තු ස්වාමීහු ද එ තැනට අවුත් ඈත මෑත බලා සොරුන් දැක පන්සියය ම මරා පූහ. උයි ත් ඇසිල් ලෙක රැකි පන්සිල් පමණෙකින් හා කළ මෛත්‍රී පමණෙකින් නිසි බෙහෙදක් ලදින් ලෙඩක් ගුණ වූවා සේ නරකොත්පත්ති ය නැති ව දෙව් ලොව උපන්හ.
සොර දෙටුවාණෝ දෙව්ලොවදී නායක ව උපන්හ. ඒ සත් පුරුෂ සමවායේ තරමය. පාත දෙව් ලොව පටන් උඩ දෙව්ලොව ටය, උඩ දෙව් ලොව පටන් පාත දෙව්ලොවට ය’යි අනුලොම - ප්‍රතිලොම විසින් දහසක් හවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව සත් ගවුවෙක වඩනා විතර කල් දෙව්ලොව දෙව් සැප ත් වළඳා අපගේ බුදුන් උපන් සමයෙහි සැවැත් නුවර වාසල් බඩ පන්සියක් කෙවුළන් හිඳිනා කෙවුළු ගම යහපත් ජාති ලබන පිනක් නො කළ හෙයින් උපන්හ. දෙටු දෙව් පුත් කෙවුළු මුදලියාණන් අඹුවන්ගේ බඩ පිළිසිඳ ගත. සෙස්සෝ සෙසු කෙවුළන්ගේ අඹුවන් බඩ පිළිසිඳ ගත. මෙ සේ උන් හැම දෙනාගේ මවු කුස පිළිසිඳ ගැන්මත් එක දාම විය. දස මස් පිරෙන්නා මවු කුසින් බිහි වීම ත් එකදාම විය. කෙවුළු මුදලි ද ‘මේ ගම තව ත් අද උපන් දරු කෙනෙක් ඇත්දෝ හෝ’යි පරීක්‍ෂා කරවා උන් හැම දෙනා ත් උපන් නියාව අසා ‘මේ ගමට නායක හෙයින් මුන් හැම දෙනා මා දරුවන් පිරිවරා ඇවිද්ද මනා වේ දැ’යි උන් හැම දෙනාට ත් පෝෂණය තමන්ගෙන්ම තබ්බවා ලූහ. ඌ හැම දෙනත් එක්වම වැඩි විය පත් වූහ. කෙවුළු මුදලින්ගේ පුතණුවෝ ම සෙසු කෙවුළු කුමාරවරුන්ට මුදලි වූහ.
කපිලයෝ ද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නරකයෙහි පැසී පියා තව කර්මය ගෙවී නො ගිය හෙයින් චුත ව අවිරවතී ගඟැ කුඩ මසු ව උපන්හ. යහපත් ව විසූ භාගයෙහි සිල් රක්‍ෂා කළ හෙයින් රන්වන් වූහ. කුණු බොරු කියා ඇවිදි හෙයින් කුණු ගඳ හමන කටක් ඇති වූහ. එක් දවසක් කෙවුළු මුදලින්ගේ පිරිවර කෙවුළු පන්සියය කුඩ මස්සන් මරනු නිසා ගඟට මහ දැල් දමාලා සිටියහ. උන් දමා ලූ දැල් ඇතුළත රන්වන් කුඩ මසු හසු වි ය. ඔහු දැක ලා කෙවුළු ගම ඇත්තෝ මුළුල්ල ම ‘අපගේ දරුවන් ආදියෙන් දමා ලූ දැලට ම රන්වන් කුඩ මස්සෙක් හසුවිය. රජ්ජුරුවන් වහන්සේ මහ සම්පත් දෙන සේකැ’යි සමාධි ව එක විට ම කොක් සන් ගැසූහ. ඒ දැල් දැමූ කෙවුළු පන්සිය ය ද කුඩමස්සා හොරුවෙක ලා ගෙන නො මියන ලෙසට පැනුත් වත් කොට ලා හොරුව පිටින් ම රජ්ජුරුවන් කරා ගෙන ගියහ.
රජ්ජුරුවනුත් ‘මේ කිම් දැ’යි විචාළ කල්හි කුඩ මස්සකු නියාව කිවුය. රජ්ජුරුවෝ රන් වන් කුඩ මස්සා දැක රන් වන් වන්ට කාරණ ය කර්ම විෂය දන්නා බුදුන්ට මුත් තමන්ට නො දැනෙන හෙයින් කුඩ මස්සා ගෙන්වා.ගෙන බුදුන් කරා ගෙන ගියහ. කුඩ මස්සා කට දල්වා ලන්නාම සියලු දෙව්රම දුගඳ පැතිරිණ. රජ්ජුරුවෝ ද බුදුන් අතින් ඇඟ රන් වන් වීමටත් කට කුණු ගඳ වීමටත් කාරණ විචාළහ. බුදුහු ‘මහ රජ, මේ තෙමේ කසුප් බුදුන්ගේ සස්නෙහි මහණ ව කපිල නම් ව බහුශ්‍රැත ව මහ පිරිවර ඇතිව ලාභ ගරුක ව අවවාද කළවුනට දොඩා බැණ ගෙන ධර්‍ම විනයට විරුද්ධ ලෙස කොට බුදු සස්න පසු බස්වාපී ය. ඒ අකුශල කර්මයෙන් අවීචි නරකයෙහි ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි පැසීත් තව කර්‍මය නො ගෙවුණු හෙයින් දැන් තිරිසන් අපායෙහි කුඩ මසු ව උපන. ආදි භාගයෙහි රක්‍ෂා කළා වූ සීල මහිමයෙනුත් බණ හදාරා හදාළ බණ අනුන්ට කී හෙයිනු ත් බණ කීම් මුඛයෙන් බුදු ගුණ කී හෙයිනු ත් තිරිසන් ව ත් රන් වන් වි ය. සිල්වතුන්ට බොහෝ කොට බැණ දොඩා ඇවිදි හෙයින් කටින් දුගඳ හමයි. මහරජ, උහු ලවා කථා කරවම් දැ’යි වදාළ සේක. රජ්ජුරුවෝ ‘යහපතැ’යි කිවු ය.
බුදුහු ත් ‘තෝ කපිලයා වේ දැ’යි විචාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘කොයි සිට අයි දැ’යි විචාළ සේක. අවීචියෙහි සිට ආ නියාව කීය. ‘තාගේ බෑණෝ සොධන තෙරහු කොයි දැ’යි විචාළ කල්හි පිරිනිවි නියාව කිව. ‘තොපගේ මවු සාධනීන් හා නැඟණියෝ තාපනාවෝ කොයි දැ’යි විචාළ කල්හි උන් දෙන්න ත් සිල්වත් තැනට බැණ ඇවිද නරකයෙහි උපන් නියාව කිව. දැන් කොයි යෙයි දැ’යි විචාරා වදාළ කල්හි උදවු මෙහෙවරෙක ආ කෙනකුන් මෙහෙවර කල් යන හෙයින් උදවුව ම යන්නා සේ කර්ම ගෙවීම් මෙහෙවර කල් යන හෙයින් උපන් තැනින් පෙරළා ත් අවීචියට ම යන නියාව කියා ලා මුසුප්පුවත් බලවත්ව හොරු හිස ඉස ගසා ගෙන මිය ගොසින් අවීචියෙහි ම උපන. බොහෝ දෙන ත් පාපයෙහි භය ඇති වූ හ.
බුදුහු එ විට එ තැනට රැස් වූ පර්ෂද්ගේ අදහස් බලා -
“ධම්මචරියං බ්‍රහ්මචරියං - එතදාහු රසුත්තමං”
යනාදී සූත්‍ර නිපාතයෙහි කපිල සූත්‍ර ය වදාරා ඉක් බිති ව ‘යම් කෙනෙක් පින් කම් පමා වූවෝ නම් උන්ට ධ්‍යානයක් වත් විදර්ශනාවක් වත් මාර්‍ගයක්වත් ඵල ධර්‍මයක් වත් වඩනට නැත. වඩනේ කවරේ ද යත් - යම් ගසක් වැළඳ ගත් නම් ඒ ගස නසන්නා වූ මාලුවා ලීයයක් මෙන් ඌ තමා ඊටම අවසර හෙයින් අෂ්ටොත්තරශත ප්‍රභේද වූ තෘෂ්ණා ව වඩ්ඩි. ඒ තෘෂ්ණා වඩනා ම තෘෂ්ණා වශඟ වූ සත්‍වයෝ වල්හි ඵලා ඵල කැමැති ව දුවන පනන වඳුරන් මෙන් භව ප්‍රාර්ථනා බලයෙන් සසර දුක් ගෙන ඇවිදිති.
යම් සේ පැන ඇවිදිනා වඳුරෝ ඒ අත්ත අල්වාගෙන මේ අත් තට පනිති. මේ අත්ත අල්වා ගෙන ඒ අත්තට පනිති. අත්තක් නො ලද්දු නම් සන්හිඳී වැඳ හිඳිති. යම් කෙනෙක් මහා වල[3] හෙයින් නැත් ද එ මෙන් තෘෂ්ණා වශඟ වූ සත්‍වයෝ භවයෙහි ඇවිදිනාහු යම් තාක් භවක්‍ෂය නො කොළෝ නම් අරමුණක් නො ලදින් තෘෂ්ණාවෙන් නැවැත්තෝ ය යි කියා ගත නො හෙති.
‘තව ද මේ තෘෂ්ණාව ඉතා ලාමක වූ තරම් ඇත්තී සසර දුක් නමැති වස එළවන හෙයින් ද, නැවත ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්ධි විපාක වශයෙන් අනිෂ්ට විපාක නිපදවන හෙයින් වස මල් වස පක් ඇති හෙයින් ද විෂානුභවයක් වැනි හෙයින් ද, රූපාදියෙහි විශේෂයෙන් ශක්ත බැවින් ද, විසත්තිකා යන නම් ලදින් යම් කෙනකුන් වෙළා ගත් නම් යම් සේ මහ වල එක් වන් පොද හෙන කලට නො එක් තණ යහපත්ව හට ගෙන වැඩේ ද, එ මෙන් ඒ සත්‍වයන්ට ත් ශෝක ය වඩ්ඩි. යම් කෙනෙක් තෘෂ්ණාව නො එක් ලෙසින් ඉක්ම පූ නම් යම් සේ නෙළුම්පත පැන් බින්දු නොරඳා ද, එ මෙන් ඔහු කෙරෙහි ශෝකයත් නො රඳයි.
‘එ හෙයින් තොප හැමට කියමි. යම් තාක් මෙ තැනට රැස් වූ කෙනෙක් ඇත් නම් ඒ තොප හැම දෙනාට ම වැඩෙක් වේව’ යි ආ වඩාලාත් ‘තර වනු නිසා කියන නියා ය. යම් සේ සැවැන්දෙමින් ප්‍රයෝජන ඇති කෙනෙක් හුදැල්ලෙකින් සැවැන්දෙට ගස් සාරත් ද අර්හන් මාර්‍ග ඥාන නමැති හුදැල්ලෙන් සකල ක්ලේශයන් ට මුල් ව සිටිනා අවිද්‍යාව නසන්නා වූ සව් කෙලෙසුන් නස්නා හෙයින් තෘෂ්ණාවගේ මුල උදුරා දමා ද, ගඟක් බඩ හට ගත් හුණ ගසක් උදුරා යවන මහ වතුරක් මෙන් පස්මරහු තොපට හානියක් නො කෙරෙත්ව” යි වදාළ සේක. දේශනා කෙළවර එක දා උපන් කෙවුළු පන් සියය සසර දුකට බා ගොසින් නිවන් පතා බුදුන් ළඟ මහණ ව නො බෝ කලකින් රහත් ව කෙවුළු ජාති නැති ව ආර්‍ය්‍ය ජාතීන් සම්පන්න වූහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් අකුසලින් දුරු ව කුසල්හි පිහිටා නො පමා ව පිළිපන් කෙවුළන් පවා ලබන ආර්‍ය්‍ය ජාති ය ලබන්ට උත්සාහ කටයුතු.[4]