250. මාරයා ගේ වත

star_outline

තවද වසවත් මරහුගේ අදහසෙහි නපුර හඟවන්ට මාරයා ගේ වත කියමු.

කෙ සේ ද යත්-

බුදුන් සමයෙහි බුදුන්ගෙන් බණ අසාත් රජදරුවෝ වස්තු ලෝභයෙන් ජන පීඩාව බොහෝ කොට කෙරෙති. ඉක්බිත්තෙන් බුදුහු රජ දරුවන්ගෙන් ගහට වුන් බොහෝ මිනිසුන් දැක කරුණා අදහසින් නො මරා නො තළා දඩ මුඩු නො ගෙන කවුරුනු ත් මුසුප්පු නො කරවා දැහැමින් රාජ්‍ය ය කරන්ට පිළිවන් දෝ හෝ’යි සිතූ සේක. වසවත් මරු ද බුදුන් සිතා වදාළ සිතිවිල්ල දැන ලා ‘මහණ ගොයුම් රාජ්‍ය ය කරවන්ට පිළිවන් දෝ හෝ යි සිතී ය. බුදු වුව ත් සිඟා කැවිලි දුක් හෙයින් රාජ්‍යයත් කොට ලන්ට සිතාපී වන. රාජ්ජය කිරීමුත් පව් පිරෙන දෙයෙක. රාජ්ජය කෙරෙත් නම් මා වෙසෙයි. පවත්වන්ට අවසරයත් ලැබෙමි. ගොසින් උත්සාහ වඩවමි’ සිතා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, රජ දරුවන්ගේ අධර්මිෂ්ඨකම් නිසා මිනිසුන් විඳිනා ගහට මහත. බුද්ධ රාජ්‍ය ය තබා පියා ජන සඞ්ග්‍රහ නිසා දැහැමින් රජ කළ මැනව.

‘බුදු වන්ට සිතා ගත්තෙන් සත්‍වොපකාර නිසා වේ ද, ඒ සත්‍වොපකාර ය කරන දෙය කළ හෙයිනුත් නො කළ දෙයට උපදෙස් තබා ලූ හෙයිනුත් නිමියා හා ම සරිය, මේ ජන පීඩාවත් අවශ්‍යයෙන් හළ මනා බැවින් රජ පැමිණ මුත් හළ නො හැකි හෙයින් අවශ්‍යයෙන් ම රජ වුව මැනැවැ’යි බුදුන්ගේ අදහස් පුරා දත නො හී තමාගේ ගොඩිගල් කම හඟවා කී ය. බුදුහු ‘මාරය, කුමක් නිසා තෙල ලෙස කී දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේ හිමාල ය පර්‍වත ය වුවත් රත්රන් වන්ට සිතා වදාළ සේක් වී නම් රත්රන් වෙයි. ඉනුත් වස්තුවෙන් අඩු නැත. මමත් අඩුවකට සිටියෙමි. ඒ නිසා කීමි’ කියා බුදුහු ත් ඒ තැනින් නෙරනා සේක් දඬු පත් එසවීම් පමණෙකින් නො යන්නවුන් බස මහත් කොට බැණ නැඟී ලා නෙරනා සේ-

“යො දුක්ඛ මද්දක්ඛි යතො නිදානං -

කාමෙසු සො ජන්තු කථං නමෙය්‍ය,

උපධිං විදිත්‍වා සඞ්ගාති ලොකෙ-

තස්සෙව ජන්තු විනයාය. සික්ඛෙ”

යන මේ ගාථාව වදාරා ලා භය ගන්වා ලා ‘මාර ය, තාගේ අවවාද නම් විරුද්ධ වාදවත් මුත් අවවාද නො වෙයි. මකුළුවන් කෑ කෑ දෙය හූ වන්නා සේ අවවාද වන්නේ මා කියා ලූ දෙය කැ’යි වදාරා ලා අවවාද වදාරන සේක් ‘ගිහීන්ට වුවත් කෘෂි වණික් ආදියට යම් කෙනෙක් සහාය ව ඒ සාදා දී ලත් නම් පැවිදිවරුන්ට වුවත් සිවුරු ගෙත්තම් ආදියට සහාය ව ඒ නිමවා දී ලත් නම් ඌ තුමූ මිත්‍ර ප්‍රතිරූපයකු නො වන හෙයින් යහපත් මිත්‍රයහ. ඒ මිත්‍රයන් නිසා සැපයක් මුත් දුකක් නො වන හෙයින් ඌ යහපත්හ. තවද ගිහීන් වුව ත් නිරවද්‍ය ජීවිකා තිබිය දී ම උමං බිඳීම් ආදි විසින් පව්කම හැසිරෙත් ද, පැවිදි වුවත් ධර්‍ම ජීවිකා තිබිය දී එක් විසි අන්වෙෂණ වසයෙන් අධර්‍ම ජීවිකාවෙන් දවස් යවත් ද, ඒ මෙ ලොව සැප යැයි සිතා ඇවිදින පමණක් මුත් පරලොව බොහෝ දුක් හෙයින් ඒ ජීවිකාව දුක් ම ය. ගිහි වුවත් කෘෂි වණික් ආදියෙන් හා පැවිදි වුවත් භික්‍ෂාටනයෙන් ලැබ ගත් දෙයකින් මුත් අධර්‍ම ලෙසකින් ජීවත් නො වෙත් නම් නැවත ශාසනිකයෝ චීවරාදී චතුර්විධ ප්‍රත්‍යයෙහි යථා ලාභාදී ද්වාදශ විධ ආර්‍ය්‍ය සන්තෝෂයෙන් සන්තුෂ්ට වූ නම් සැප වූ සන්තෝෂ නම් එම ය.

‘තව ද මියන්ට ආසන්න ව කළා වූ කුශල කර්‍මයෙක් ඇත් නම් ආසන්න කර්‍ම ව සිට ඉෂ්ට විපාක දායක හෙයින් එයිත් සැපය. ඒ හැමට ත් වඩා සියලු දුක් නසන්නා වූ අර්හත්‍වය සැපය. ලෞකික කුශලයෙන් දෙමවුපියන්ට උපස්ථාන කිරීම ත් මෙලොවත් පරලොවත් සැප හෙයින් යහපත් වූ කුශලයෙක. දෙමවුපියෝ ද වැළි ත් තමන්ගේ දරුවන් නො ළෙන් ගතු නියාවත් දත්තු නම් තමන් සන්තක දෙය නිධාන කොට සඟවා හෝ යෙති. අනුන්ට හෝ දෙවා පියති. දෙමවුපියන්ට නොළෙන් ගතු නියාවට මේ ලොව නින්දා පරිභව ත් ලැබෙති. දෙමවුපියන්ට නිහරසර ව පරලොව අශුචි නරකයෙහි ත් උපදිති. යම් කෙනෙක් සකසා උපස්ථාන කොළෝ නම් දෙමවුපියන් සතු වස්තුවත් අපවත් නො කරවා ලැබෙති. මෙලොව ප්‍රශංසා ත් ලැබෙති. ඒ හැම නැත් නමුත් පර ලොව සුව සම්පත් ලැබෙති. එ හෙයින් දෙමවුපියන්ට උපස්ථාන කිරීම ත් සැප කාරණ හෙයින් සැප ය. තව ද බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධාදී උත්තමයන් කෙරෙහි මනාව පැවැත්ම ත් හෙවත් එතැනට උපස්ථාන කිරීම ත් සුඛ කාරණ හෙයින් සැප ය.

තව ද මුත්හර තිසර සඞ්ඛලා ආදි වූත් පා මුදු පාඩගම් කයි බන්‍දි ආදි වූ ත් ආභරණ හැම දවසට ම තරම් නො වෙයි. සග බාලයන් පළඳනා වූවා මාලු මිනිසුන්ට තරම් නොවෙයි. මාලු මිනිසුන් පළඳනා වූවා සග බාලයන්ට තරම් නො වෙයි. තුමූ මාලු ව සිට සග මිනිසුන් පළඳිනා ආභරණ හැම දවසට ම පළඳිති. තුමූ සඟ ව සිටි මාලු මිනිසුන් පළඳිනා දෙය පළඳිති. මුන් දෙපක්‍ෂයට ම වියරු ඇති සැටි යැ යි බෙණෙති. පන්සිල් වුවත් දශ සිල් වුව ත් කවරත් අවස්ථාවකට යහපත. එ හෙයින් කොට ගත හෙතො ත් මියන තුරා ත් සිල් රක්‍ෂා කිරීම යහපත. තව ද ලොවී ලොවුතුරා සැදෑ යම් කෙනකුන්ට ඇත් නම් කවර ත් කුශලයකට මුල් ව සිටිනා ශ්‍රද්ධාව සැපයට ත් මුල් වන හෙයින් සැදෑ ඇති වීමත් යහපත. නුවණැත්තවුන්ට කුමකුත් බැරි නොවන හෙයින් ලොවී ලොවුතුරා නුවණ ඇති වීම ත් සුඛ කාරණ හෙයින් සැප ය. පව් නොකිරීම කොට ගත හෙන පිනක් නැතත් වෙන ම පිනක් හෙයින් සැපයෙකැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙවියෝ නිවන් දුටහ. මර දෙවි පුත් කළ පින් නැති හෙයින් ගොයම් නො කළ එකකු ලබන පැල් දොර නැත්තා සේ සිස් ව ම පලා ගියේය.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ලද මිනිසත් බව නිශ්ඵල නොකොට බුද්ධෝත්පාද කාලය ත් නො වරදවා පින්කම හැසිර හැම සැපයට උතුම් සැප වූ නිවන් සැප විඳ ගත යුතු:

_________