249. පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද නුවණ නැති පාපී පුද්ගලයන් හා එක්ව විසීම බලාත් තනිව විසීම යහපත් නියාව හඟවන්ට ඒ ඒ දිගින් වැඩි පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව කියමු.

කෙසේද යත් -

මෙහි විස්තර කථා ව යමක වග ආ ය. එ හෙයින් මේ වස්තු වෙයි විස්තරයත් ඉන් ම දත යුතු.

අනඳ මහතෙරුන් වහන්සේ පිටු බලකොට ගෙන පාරිලෙය්‍ය වනයට ගිය පන්සියක් දෙනා වහන්සේ බුදුන් වල්හි වැඩ හුන්නා දැක දුක් වුන්නා’යි සිතා ‘ස්වාමීනි, මුඹ වහන්සේ බුදු සිවුමැලි වුව, රජ සිවුමැලි වුව, මේ වල වැඩ හුන්නේ කෙසේද? වත් පිළිවෙත් පමණකුත් නොලත්හයි සිතුම්හ’යි කී සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, තොප හැම අවුත් වත් පිළිවෙත් නොකළත් පාරිලෙය්‍ය ඇතාණෝ මට කළ මනා වත් පිළිවෙත් කොළෝ ය. මෙ බඳු සහායක් ලදොත් ඒ එක් ව හිඳීම යහපත. එලෙස නැත්නම් කග විසුණු හඟක් සේ තනි ව විසීම යහපතැ’යි වදාරන සේක්- ඉදින් ගඞ්ගොදක ය හා යමුනොදක ය සේ සම අදහස් ඇති කල්‍යාණ මිත්‍ර කෙනකුන් ලදොත් සිංහ ව්‍යාඝ්‍රාදී ප්‍රකටොපද්‍රව ත් රාග ද්වේෂාදී අප්‍රකටොපද්‍රවත් හැර සිහිමත් ව නුවණින් යෙදී සතුටුව වසන්නේ ය. ඉදින් කැටු ව වැස පියන්ට නිසි එ බඳු සම වායක් නොලදොත් කළ මනා කවරේද යත් -

‘මහත් වූ රජ සැප ත් හැර වලට පලා ගොසින් තපස් කරන රජ්ජුරු කෙනකුන් මෙන් උදකලා වම වලට පලා ගොසින් යම් සේ තෙල පාරිලෙය්‍ය ඇත් රජ ‘ඇත් මුළ හා එක් ව විසීමෙන් හැම දෙනා අගින් අගින් ගසා කා පූ තණ මුල් පමණක් තණින් ලැබෙමි. දලු කොළ නෙලා කා පූ නටු මුල් පමණක් කොළින් ලැබෙමි. හැම දෙනා බැස පැන් පූ කලට බී පියන්ට බොර පැන් ලැබෙමි. නා පියන්ට ය’යි බට කලට කුණු පලවා ඉලීම් නැතත් මා මධ්‍යකොට ලා දෙ ඇලයෙන් ගාවා ගෙන යෙති’ ඇත් මුළැ කළකිරී භික්ෂූන්ගේ විවාද සන්හිඳුවා ගත නොහී තනිවම මා නැඟී ආවා සේ අවුත් තනිව ම වෙසේ ද, එ මෙන් හුදකලාව ම වසන්නේය. යම් කෙනෙක් හුදකලා ව වසන්ට නිසි තරම් ඇත්තෝ වූ නම් මහණ වූ තැන් පටන් හුදකලා ව ම විසීම යහපත. දික් සඟියෙහි සිල් කඳු වග ආවා වූ ත්‍රිවිධ ශීල ය, අල්පෙච්ඡ කථා ආදි වූ දශ කථා වස්තුය, ත්‍රයොදශ ධුතාංග ය, විවසුන් නුවණ ය, චතුර්විධ වූ ආර්‍ය්‍ය මාර්‍ග ය, චතුර්විධ වූ ශ්‍රාමාණ්‍ය ඵල ය, ත්‍රි විද්‍යාවෝ ය, ෂඩභිඥාවෝ ය, අමා මහ නිවන’යි මේ හැම කෙ තෙක් කල් එක් ව වසත් බාලයන්ගෙන් ලද නොහැකි හෙයින් බාලයන්ගේ සහා ය කමෙක් නැත.

එ හෙයින් උන් හා එක්ව විසීම් තරමට තනිව විසීම යහපත පවිටුන් හා එක්ව විසීමෙන් පවිටු අදහස් ඇති වන මුත් සත් පුරුෂයෝ තුමූ තනි ව ම හිඳිති. එ සේ හිඳිනාහු නිවන් පතා හෙයින් පවුත් නොකෙරෙති. යම් සේ මේ ඇතා කිසි විටෙකත් ඇතුන් ළඟට ගියොත් පීඩා හෙයින් උත්සාහ නැත්තෝ ද එ පරිද්දෙන් කාය ජීවිත නිරපෙක්‍ෂ ව සුචරිත පූරණයට නියම වූවාහු කිසිවෙකත් උත්සාහ නො කොට තුන් සුසිරි පිරීමට ම උත්සාහ ඇත්තෝ ය. එ හෙයින් තෙපිත් එ ලෙසට ම උත්සාහ කරව’යි වදාළ සේක. දේශනා කෙළවර පන්සියක් දෙනා වහන්සේ ම රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තනි ව හිඳිත ත් පාප මිත්‍ර සංසර්ගයෙන් දුරු ව කල්‍යාණ මිත්‍ර භජන ය කොට කුශලයෙහි භැසිර නිවන් අත් කටයුතු.