තවද සෙතබ්බ මානයෙහි යහපත දක්වන්ට බද්ධෙරක නම් ඇතු ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
ඒ ඇතා ලදරු අවස්ථාවෙහි මහ බල ඇති ව පසු ව දුර්වල ව ගොසින් එක් මහත් විලකට බැස ලා කළල් මඬෙහි එරී ගොසින් ගොඩ නැංග නො හී සිටියේ ය. බොහෝ දෙන ත් ඔහු දැක ‘මේ තරම් ශක්ති ඇති ඇතා පවා දැන් දුර්‍වල වී ය’ යි කථා ඉපැදවූ හ. රජ්ජුරුවෝ එ පවත අසා ඇතරුවා බණවා ලා ඇතු ගොඩ නඟන්ට විධාන කළහ. උයි ත් ගොසින් එ තැන දෙ පෙළ පිරිස් බෙදා ලවා ලා සටන් ලෙසට සටන් බෙරයකු ත් ගැස්වූ හ. අභිමාන පර ඇතා උත්සාහවත් ව වේගයක් ලා ලා ගොඩ නැඟී ලා සිට පී ය. වහන්දෑ ත් ඒ දැක බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, ඒ ඇත් තමා තරුණ අවස්ථාවෙහි කවර ත් යුද්ධයකට පසු නො බස්නා හෙයින් අසෙවිත වූ අභිමානයක් ඇති ව අභිමාන බලයෙන් පියවි මඬින් ගොඩ නැංග. තෙපි හැම දෙන බොහෝ තැන් කෙලෙසුන් කෙරෙන් දුරු ව වසන කලට ‘අප එ සේ නො වන්ට කාරණ කිම්දැ’යි සෙවිතබ්බ වූ මාන ම උපදවා ගෙන කෙලෙස් මහ මඬින් නැඟෙව’යි වදාරණ සේක්- ‘හැම දවස් ම සිහි නුවණ ඇති ව විසීමෙන් නො පමා ව පවකට නැමී යා නොදී සිය සිත රකිනාහු යම් සේ ඒ මඬෙහි ගැලුණු ඇත් තෙමේ උත්සාහයෙන් මඬෙන් නැඟී ගොඩ සිටීද, තෙපිත් එපරිද්දෙන් කෙලෙස් මහ මඩින් විපස්සනා බල ඇති ව නිවන් ගොඩට පැන නැඟෙව’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ වහන්දෑ රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පින් කරන්නවුන් බලා වඩ වඩා පින් කිරීමෙහි කරන අභිමාන ය නම් සෙවිතබ්බ මානයක් බැවින් එ සේ වූ මාන ය මානයට[1] නොගෙන සොත්සාහීව පින්කම හැසිර හැම මන්ම රහත් මඟින් නසන්ට උත්සාහ කටයුතු.
-
මානසට-මනසට ↑