තව ද අනික් මාගන්‍දි නම් ස්ත්‍රියක් එ ම රජ්ජුරුවන් සමීපයෙන් අග මෙහෙසුන් තනතුරු ලද්දී ය. ඒ කෙ සේ ද යත්:- ඕතොමෝ කුරුරට මාගන්‍දි නම් බමුණකුගේ දුව ය. ඇගේ මවුද මාගන්‍දි නම. සුළු පියා ද මාගන්‍දි නම් වී ය. ඒ මාගන්‍දි නම් බැමිණි තොමෝ අධික වූ, රූ ඇත්තී ය. දිව්‍යාඞ්ගනාවක් සේ ශෝභමාන ය. ඇගේ පිය තෙම තමාගේ ඒ දුවට සුදුසු ස්වාමි පුත්‍රයකු නො ලබන්නේ බොහෝ ධන ඇති මහත් වූ පරිවාර ඇති ඉසුරුමත් කුලවලින් තම දුව විචාරා ආ කල්හි ‘තෙපි මාගේ දියණියන්ට නුසුදුස්සව’යි නින්දා බැණ නික්ම වන්නේ ය. ඉක්බිති එක් දවසක් බුදුහු අළුයම් වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැඟී ලොව බලන සේක් මාගන්‍දි නම් බමුණා හා අඹුව හා අනාගාමී ඵලයට පැමිණෙන උපනිශ්‍රය සම්පත් ඇති බව දැක තමන් වහන්සේගේ පා සිවුරු තමන් වහන්සේ ම ඇර ගෙන මාගන්‍දි බ්‍රාහ්මණයන්ගේ ගමින් පිටත ගිනි දෙවියා පුදන තෙනට වැඩි සේක.
බමුණු තෙම බුදුන්ගේ දෙ තිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා අසූ අනු ලකුණෙන් හොබනා රූපයෙන් අග පැමිණි ආත්ම භාව ය දැක ‘මෙලොව මේ පුරුෂ රත්නය හා සමාන අනික් පුරුෂ රත්නයෙක් නැත. මෙ තෙම මාගේ දුවට ම සුදුස්ස ය. මා දුව මෝහට ම පාවා දෙම්’යි සිතා බුදුන් කරා එළඹ ‘හෙම්බල මහණ, මාගේ දුවක් ඇත. ඈ මම මෙ තෙක් දවස් සුදුසු පුරුෂයෙකු නො දැක ගෙයි ම රක්‍ෂාකොට තබා ගෙන හුන්නෙමි. දැන් තොප ගේ රුව දුටු නියාවට ඕ තොපට සුදුසු ය. තෙපි ද ඈට සුදුස්සව. දැන් ඒ මාගේ දුව තොපට පාදපරිචාරිකා කොට පාවා දෙමි. ඈ කැඳවා ගෙන මා එන තෙක් මෙ තැන්හි ම සිටුව’යි කී ය. බුදුහු යහපත නපුර යන දෙක ම නො වදාළ සේක. බමුණු තෙම ගෙට දිව ගෙන ගොසින් තමාගේ අඹු බැමිණිය බණවා ‘හෙම්බල පින්වත, තී කුමක් කෙරෙයි ද? දැන් මම තීගේ දුවට සුදුසු වූ මහණ කෙනකුන් දැක මඟ සිටුවා ලා ආමි, තීගේ දුව සරහා ගෙන වෙලෙවි ව එව’යි කියා දුව සරහවා අඹුව හා සමඟ දුව කැඳවා ගෙන නික්මිණ.
මෙ සේ බමුණා නික්මෙන්නා දැක මුළු නුවර වාසීහු අසුරන් වන් දෙවු පුරයක් සේ එක පැහැර ක්‍ෂොභ ව ‘මේ කුමන ආශ්චර්‍ය්‍යයෙක් ද? පෙර මේ බමුණු අඟු-මගධ- කාසි-කෝසල- වජ්ජි-මල්ලාදී වූ ඒ ඒ දේශයෙහි බොහෝ උත්තම පුරුෂයන් තමාගේ දුව සරණ විචාරා ආ කල උන් උන්ගේ යශෝ පරිවාර භෝග සම්පත් ආදි වූ විද්‍යමාන ඓශ්චර්‍ය්‍යය දැක දැක ත් ‘මා දුව ගේ රූපශ්‍රිය වූ නියාවට තෙපි නුසුදුස්සව’යි සරණ නො දෙයි. අද මෙ තෙම මාගේ දුවට සුදුසු වූ සමණ කෙනකුන් දිටිමි යි ඉක්මන් ඉක්මන් ව දුව කැඳවා ගෙන යෙයි. ඒ කෙබඳු පුරුෂ රත්නයෙක් දෝ හෝ ඔවුන් බැලුව මැනවැ’යි ආශ්චර්‍ය්‍යමත් ව මහා ජනයෝ බමුණා පසු පස්සෙහි වන්හ. මෙ සේ ඔහු දුව කැඳවා ගෙන එන කල්හි බුදුහු බමුණා සිටුවා ලා ගිය තෙන නො සිට එ තැන්හි ශ්‍රී පාදය ඔබා පෙනෙන පරිද්දෙන් අධිෂ්ඨාන කොට මඳක් ඉවත් ම වැඩසිටි සේක.
බුදුන්ගේ පියවර එබූ තැන්හි පෙනෙව යි යන අධිෂ්ඨානයක් ඇතිව විනා නො පෙනෙන්නේ යි. මෙ තෙක් දෙනාට පෙනෙව යි අධිෂ්ඨාන කළ කල ඔවුන්ට මුත් සෙස්සවුන්ට නො පෙනෙයි, මෙ තෙක් කල් තිබේව යි අධිෂ්ඨාන කළ කල සතර මහ දිවයින වැසි වැස එක හෙළා වතුරු හෙළා නමු දු කෙ තෙක් ඇත් අස් ගව මහිෂාදීහු මැඬ ගෙන යෙත් නමුදු කෙසඟක් පමණ තෙනට ත් උවදුරෙක් නො වෙයි. ඒ පියවර මකන පිණිස ඉදින් සෘද්ධිමත් කෙනෙක් වෙරම්බ වාත ය වැනි මහ සුළඟක් මවා පෑවාහු වී නමුදු බුදුහු පියවර එබූ තෙනින් ලේඬිත්තක සා රජස් සුඟකුත් සොල්වා පිය නො හෙති. කිසි කෙනෙකුදු පියවර මකාලිය නො හෙති.
ඉක්බිති බැමිණි බමුණා මුහුණ බලා ‘ඒ තොප දුටු තෙනැත් තෝ කොයි දැ’යි විචාලී ය. එ බසට බමුණු ‘උන් මෙ තැන්හි සිටු වාලා ගියෙමි. කොයි ගියේ දෝ හෝ’යි බලනුයේ වැඩසිටි තැන එබූ ශ්‍රීපාද ය දැක මේ උන් සිටි පියවර ය යි බුදුන්ගේ ශ්‍රීපාද ය දැක්විය. බැමිණි පියවර බලා පියා තමා වෙදත්‍රයෙහි කෙළ පැමිණි බැවින් හා ලක්‍ෂණ මන්ත්‍ර දන්නා හෙයින් හා පියවර සලකුණු බලා, බමුණ, තෝ කුමක් කියයි ද ? මේ ගෑනුන්ගේ තන නැමැති මස් ගඬුවෙහි තමන්ගේ ළය පහරවා අපවිත්‍ර කරණ කෙනකුන් එබූ පියවරෙක් නො වෙයි. දෙ තිස් කුණු කොට සකින් යුක්ත වූ ගැහැණියගේ බොල් කෙළ නැමැති අසූචි පිරුණු මුඛ නැමැති වැසිකිළියට තමන්ගේ මුහුණ යොමු කරණ කාමාතුර කෙනෙකුන්ගේ පියවරෙක් නො වෙයි. බොහෝ කොට දෙඩීමෙන් කිම් ද? එකාන්තයෙන් පඤ්ච කාම සේවන ය කරණ කෙනෙකුන්ගේ පියවරෙක් නොවෙයි. හුදක් රාගයට දුරු වූ, දෝෂයට විෂ වූ, මෝහයට අදෘශ්‍යාඤ්ජනයක් හා සමාන වූ සකල ක්ලේශයන් ප්‍රහීණ කොට සියල්ල දත්තා වූ උතුමාණ කෙනකුන්ගේ පියවරෙක් ම යයි කියා පියවර සලකුණු දක්වන්නාහු මතු කියන ගාථාව කීහ.
“රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ
දුට්ඨස්ස හොති සහසානුපීළිතං පදං,
මූළ්හස්ස හොති අවකඩ්ඪිතං පදං
විවත්තච්ඡද්දස්සිදමීදිසං පදං” යි
ඉක්බිති බමුණා කියනුයේ ‘හෙම්බල බැමිණි ය, තෝ තළියේ පැනෙහි කිඹුලන් දක්නා එකක වැන්නෙහි ය. ගෙ මැද සැඟවී වසන සොරුන් දක්නා එකක් ද වැන්නෙහි ය. තෙල මැත නො දොඩා බැණ නොනැඟී හිඳුව’යි කීය. එ බසට බැමිණී තොමෝ ‘හෙම්බල බමුණ, තා බමුණු කුලයෙහි ඉපද ත් මෙ පමණ ශාස්ත්‍ර මාත්‍රයක් පවා දන්නා නො කල තා කැමැත්තෙක් ම කී ය. තෝ කුමක් කියයි නමුත් මේ පඤ්චකාම ගුණයන් සේවනය කරණ කෙනෙකුන්ගේ පියවරෙක් නො වේ ම ය’යි කිව. එ තෙපුල් අසා බමුණු ඈත මෑත බලනුයේ අමා පිඬක් සේ වැඩ සිටි බුදුන් දැක ‘අර මා කී තෙනැත්තෝ මූ වෙද්දැ’යි කියමින් බුදුන් කරා එළඹ ‘හෙම්බල මහණ, මා දුව තොපට සරණ පාවා දෙනු නිසා ගෙනාමි. පාවා ගන්ව’යි කී ය.
එ තෙපුල් අසා බුදුහු ‘තොප ගේ දියණියන් ගෙන් අපට ප්‍රයෝජන ඇත නැත’ යන දෙක ම නො වදාරා බමුණ, තට එක් කාරණයක් කියමි’යි වදාරා–’කිය මහණැ’යි කී කල්හි මහාභිනික්මන පටන් වදාරණ සේක් ‘එම්බල බමුණ, සසරෙහි කළ භයින් දිව්‍යපුරයක් හා සමාන කිඹුල්වත් පුර ය වැනි රාජධානියක් හා, යසෝධරාවන් වැනි අගබිසෝ කෙනකුන් හා රහල් කුමරුවන් වැනි පුත් රුවනක් හැර හස්තප්‍රාප්ත වූ චක්‍රවර්ති රාජ්‍යයෙහි ලෝභ නො කොට සතළිස් දහසක් පමණ දෙවඟනන් බඳු වරඟනන් උන්නා වූ රාජභවනයෙන් මධ්‍යම රාත්‍රියෙහි පිටත් ව දිවන්නමෝ සැපින්නක් හොත් තුඹසෙක ලෝභ නො කොට දිවන්නා සේ පසු නො බලා දිවුම්හ. සාවුරුද්දක් මුළුල්ලෙහි අප පසු පස්සෙහි ඡායාවක් සේ ඇවිදිනා මාරයා පවා අපගේ කාම විතර්‍කයකු දු සොයා ගත නොහීමසැ යි සිතා කෑල මල් රැක ගෙන හුන් කැණහිලකු සේ සිට වෙහෙසී පියා පලා ගියේ ය. සාවුරුද්දක් මහා වීර්ය්‍ය කොට ඉක්බිති බෝ මැඬ විදුරසුන් නැඟී මාර පරාජය කොට වා පොළොවෙහි පටන් අකනිටා බඹ ලොව දක්වා දස දහසක් සක්වළ එක පැහැර වෙවුල් පියා බුදු වූම්හ.
පසු ව පියාට වූ පරිභව පසිඳුම්හ යි කියා වහසි බැණ ගෙන ආවා වූ අරතී ය, රතී ය, රගා ය, යන මාර ස්ත්‍රීන් තුන් දෙනාගේ එ වැනි තුන් මුහුණට අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම ය යන තුන් ලකුණුම යෙදූ බව මුත් රාගයක් නො යෙදුම්හ. කාමයෙහි අග පැමිණි ස වැනි දෙව් ලොව එ වැනි දිව්‍ය ස්ත්‍රීන් දැක පවා රාග චිත්තයක් නොඉපද වූ අපි දැන් තාගේ දුව ය යි කියන ලද අසුචි හා මූත්‍ර පිරූ නව සිල් බඳනෙහි ලෝහ කරමෝ ද? එසේ වූ තාගේ දුව අතින් ළං කොට සිප ගන්නා තබා පා පිස්නා බිස්සක් සේ පය පිස්නට පවා කැත ඇත්තම්හ’යි වදාරා ඒ බව ගාථාවකින් දක්වන සේක්:
“දිස්වාන තණ්හං අරතිං රගඤ්ච,
නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං,
කිමෙවි දං මුත්තකරීසපුණ්ණං,
පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ” යි.
මේ ගාථාව වදාළ සේක. ගාථාවගේ අවසන්හි බමුණා හා අඹුව හා දෙ දෙන අනාගාමි වූහ. බමුණාගේ දූ තොමෝ බුදුන් වදාරණ බස් අසා ‘නො කැමැති කල නො කැමැත්තෙමී නො කියා අපිස්කම් පානේ, අප වැන්නවුන් අසුචි බඳනක් කොට බැණ ලාද? කුමක් වේ ව යි මට සුදුසු වූ කුල, පෙදෙස්, වයස්, භෝග, සම්පත් ඇති සමණ කෙනකුන් කෙරෙහි උන් දවසෙක මට බිණූ පරිභවයට සුදුසු සේ වෛර පා කොට මහණ භවත් ගොයුම් හට කියැටියක්[1] කියවමී’ බුදුන් කෙරෙහි වෛර බැන්දීය.
කිමෙක් ද ? බුදුහු ඈ තමන් වහන්සේ කෙරෙහි වෛර බඳිනා බව දන්නා සේක්ද, නොහොත් නො දන්නා සේක් ද යත්:- දන්නා සේක්මැයි. ඉඳින් දන්නා කල කුමක් පිණිස ගාථාව වදාළ සේක් ද යත්’ ඇගේ මවුපිය දෙ දෙනාට වන්නා වූ වැඩ සඳහා වදාළ සේක. හේ එසේ මැ යි. සර්‍වඥවරයෝ ඒ ජාතියෙහි අධිගම ලබන්ට හේතු නැති අභව්‍ය පුද්ගලයන් වෛර බැඳ අපායෙහි උපදිතෝතිනුත් ඔවුන් නො බලා ම මාර්‍ග ඵලාධිගමයට සුදුස්සවුන්ගේ වශයෙන් බණ දෙසන්නාහු මැයි.
ඉක් බිති මවු පිය දෙ දෙන ඈ කැඳවා ගෙන ගොසින් සුළු පියාණන් අතට පාවා දී තුමූ බුදු සසුන් වැද මහණ ව රහත් වූහ. එ කල ඇගේ සුළු පියා සිතනුයේ ‘මා ගේ දියණියෝ එ සේ මෙ සේ ලාමක සත්‍ව කෙනකුන්ට කෙනෙක් නොවෙති. එක් රජ්ජුරු කෙනකුන්ට ම සුදුස්සහ’ යි සිතා ඈ කොසඹෑ නුවරට කැඳවා ගෙන ගොසින් පා මුදු-පාඩගම් ආදී වූ සියලු ආභරණයෙන් දෙවඟනක සේ සරහා මේ ස්ත්‍රී රත්න ය මුඹ වහන්සේට සුදුසු ය යි උදේනී රජ්ජුරුවන්ට පාවා දින. රජ්ජුරුවෝ ඇගේ රූපශ්‍රී බලා උපන්නා වූ ස්නේහ ඇති ව අභිෂේක කොට පන් සියයක් ස්ත්‍රීන් පරිවාර කොට දී අග මෙහෙසුන් කළහ.
මෙ සේ රජ්ජුරුවන්ට පන් සිය පන් සිය ස්ත්‍රීන් විසින් පරිවරන ලද අග මෙහෙසුන් බිසෝවරු තුන් දෙනෙක් වූහ. එ සමයෙහි ඝෝෂක සිටාණෝය, පාවාරිය සිටාණෝ ය, කුක්කුට සිටාණෝ ය යි කොසඹෑ නුවර සිටුවරු තුන් දෙනෙක් වූහ. ඔහු වස් වසන කාලය ආසන්න වූ කල්හි පන්සියයක් තාපසවරුන් හිමාලයෙන් අවුත් නුවර පිඬු සිඟා ඇවිදිනවුන් දැක පැහැද තම තමන්ගේ ගෙවලට කැඳවා ගෙන ගොස් වඩා හිඳුවා මියුරු අහර වළඳවා එහි ම වසන පරිද්දෙන් ප්‍රතිඥා කරවා ගෙන ගොස් වස් සාර මස තමන් හැම කෙරෙහි වස්වා වස් අන්තයෙහි නැවත වස් වසන සමයෙහි එන පරිද්දෙන් ප්‍රතිඥා කරවා ගෙන යැවූ හ. තාපසවරු එ තැන් පටන් අට මසක් හිමාලයෙහි වැස සාර මසක් ඔවුන් සමීපයෙහි වෙසෙති. ඔහු මෑත භාගයෙහි හිමාලයෙන් එන්නා වූ අතර මඟ එක් වල් කඩක මහත් වූ නුඟ රුකක් මුල සැතපී උන්හ.
ඔවුන් අතුරෙන් වැඩි මහලු තාපසයෝ සිතන්නාහු ‘මේ සා මහත් නුඟ ගස වසන දේවතාවා මහේශාඛ්‍ය දෙවතාවකු වූව මැනව. ඔහු දැන් අප හැම වළඳන පැනක් දුන හොත් යහපතැ’යි සිතූහ. ඔවුන් සිතූ සිත දැන දේවතාවා තාපසවරුන්ට වළඳන පැන් දින. නැවත නහන පැන් දුන හොත් යහපතැයි සිතූහ. දේවතාවා නහන පැන් ද එළවි ය. ඉක් බිති වළඳන ආහාරයක් දුන හොත් යහපතැ යි සිතූහ. දේවතාවා ආහාරය ද එළ වී ය. ඉක් බිති තාපසයෝ සිතන්නාහු ‘මේ දේවතාවා අප සිතු සිතූ සියල්ලම දෙයි. ඔහු දුටු මෝ නම් යහපතැ යි සිතූහ. එ කල්හි දේවතාවා ගස කඳ පළා ගෙන තමාගේ දිව්‍ය වේශ ය දැක්වී ය. තාපසයෝ දේවතාවා දැක ‘තොපගේ සම්පත්තිය ඉතා මහත. කවර කුශලයක් කළා දැ’යි විචාරා ‘ස්වාමීනි, මුඹ වහන්සේලාට ඉන් ප්‍රයෝජන කිම්ද? ඒ නො විචාරා තිබා පුව මැනැවැ’යි කී කල්හි “දිව්‍ය රජ්ජුරුවෙනි, තොපගේ රූප සම්පත් හා ආනුභාව දැක ඉතා පහන් සිත් ඇතියම්හ. තොප පූර්ව භාගයෙහි කළ කුශලය ද අසන්නා කැමැත්තම්හ’යි කීහ.
ඒ දේවතාවා ද තමා කළ කුශලය යන්තමක් හෙයින් ලජ්ජාවෙන් කියන්ට මැළිව නැවත නැවත තාපසයන් ගත් හැඟි ව විචාළ කල්හි එ සේ වී නම් ඇසුව මැනවැ’යි කියා තමා කළ කුශල ය පළ කොට කීය. ඒ දේවතාවා වනාහි පළමු ජාතියෙහි දිළිඳුව බැළ මේ සොයා ඇවිදිනේ අනේපිඬු සිටාණන් කරා ගොස් එ පවත් කියා සිටාණන්ට බැල මේ කොට ජීවත් වෙයි.
ඉක්බිති එක් පොහෝ දවසක් පැමිණි කල්හි අනේපිඬු සිටාණෝ විහාරයට ගොසින් අවුත් ගෙට වැද ‘එම්බා, මේ ගෙයි බැළ මේ කරණ තැනැත්තවුනට අද පොහොය බව කී කෙනෙක් ඇද්දැ’යි විචාර නැතැ යි කී කල්හි ‘එ සේ වී නම් ඔහු පමණකට රෑට බත් පිසව’යි කියා සාල් නැළියෙක බත් පිසවා තුබූහ. ඉක්බිති ඒ තෙම දිවා භාගයෙහි වල කළමනා මෙහෙවර කොට සවස අවුත් බත් ලා දුන් කල්හි බඩ සා වේ දැ යි යුහු ව බත් කා නොපියා සිතනුයේ “මෙ තෙක් දවස් මේ ගෙයි මේ වේලාවට බත් ලව, කොමු ලව, මාළු ව’යි මහා කෝලාහල කෙරෙති. අද හැම දෙන ම නිශ්ශබ්ද ව වැද හොවිති. මා එක තැනැත්තවුට බත් ලූහ. කාරණ කිම් දෝ හෝ’යි සිතා ‘මේ ගෙයි සෙස්සෝ බත් කැවුදැ’යි විචාරා නො කෑවු ය යි කී කල්හි කුමක් නිසා බත් නො කෑවු දෑ යි විචාර ‘මේ ගෙයි පොහෝ දවස් සවස බත් නො කති. සියල්ලෝ ම පෙහෙ වෙති. යටත් පිරිසෙයින් කිරි බොන දරුවන් දක්වා ත් මුඛ සෝධවා චතුමධුර මුඛයෙහි බහා පෙහෙ කරවති. සුවඳ තෙල් පහන් දැල් වූ කල්හි කුඩා මහත් බාල දරුවෝ පවා තම තමන් හෝනා ඇඳ ආදියට නැඟී හිඳ ද්වත්තිංසාකාර කමටහන පිරිවහති. අපි තොපට අද පොහෝ දවස නියාව සිහි මඳ ව නො කීම්හ. එසේ හෙයින් තොප විචරකට බත් පිසුම්හ බත් කව’යි කීහ.
එ තෙම එ වේලෙහි ‘ඉදින් දැනු ත් පෙහෙ වීම යහපත් වී නම් මමත් පෙහෙ වෙමි’ කියා ඒ යහපත-නපුර සිටාණන් වහන්සේ දන්නා සේක. අපි නො දනුම්හ’යි කී කල්හි ‘එසේ වී නම් සිටාණන් වහන්සේ අතින් විචාරව’යි කියා යවී ය. ඔහුද ගොසින් සිටාණන් අතින් එ පවත් විචාළහ. එ කල සිටාණෝ ‘දැන් බත් අනුභව නො කොට මුව ශුද්ධ කොට පෙහෙවුව හොත් අඩාළ පොහොයෙහි අනුසස් ලැබෙ`යි කීහ. එ තෙපුල් අසා එ තෙම මුඛ ය සෝදා එ වේලෙහි ම පෙහෙ වි ය. එ කල දහවල් මුළුල්ලෙහි ම මෙහෙවර කොට සයින් පීඩිත වූ ඔහුගේ ශරීරයෙහි එක පැහැර රුජා පහරන්ට වන. එ කල්හි ම එ තෙම රුජාව ඉවසිය නොහී රැහැණක් බැඳ යොත් කෙළවර අතින් අල්වා ගෙන පෙරළෙන්නට වන. අනේපිඬු සිටාණෝ එ පවත් අසා මිණි දඬු වැට පහන් අවුළුවා ගෙන, චතුමධුර ගෙන්වා ගෙන ඔහු ළඟට ගොසින් ‘දරුව, මේ කිමෙක් දැ’යි විචාරා ස්වාමීනි, ශරීරයෙහි රුජාවක් පහරන්නේ’යි කී කල්හි ‘එ සේ වී නම් නැඟී සිට මේ බෙහෙත් අනුභව කරව’යි කීහ. එ තෙපුල් අසා ඔහු ‛ස්වාමීනි, මුඹ වහන්සේ බෙහෙත් රෑ දවස අනුභව කරණ සේක් දැ’යි විචාළ කල්හි සිටාණෝ ‘අපට ශරීර අඵාසුවක් නැති වුව අප ගේ ස්වරූප නො විචාරා තෙපි බෙහෙත් කව’යි කීහ. එ තෙපුල් අසා ‘ස්වාමීනි, පෙහෙවස් රක්නා වූ මම දවස පුරා ත් පෙහෙ ව ගත නුහුණු වෙමි’ යි. යන පණ යේ නමුත් මේ අඩාල පෙහෙවසට වියවුලක් නො කෙරෙමි’යි කියා නැවත සිටාණන් කිව ද පෙහෙවසට අන්තරායෙක් වේ දෝ හෝයි යන භයින් බෙහෙත් අනුභව නො කොට දෙ වන දවස් අරුණු නැගෙන වේලෙහි මළා ගිය මල් දමක් සේ කාල ක්‍රියා කොට ඒ නුග ගස දිව්‍ය පුත්‍ර ව උපන.
එ සේ හෙයින් ඒ දිව්‍ය පුත්‍ර තෙම මේ කාරණ ය කියා ‘එකල මට පිටි වහල් වූ අනේපිඬු මහ සිටාණෝ බුද්ධරත්න ය, ධර්‍මරත්නය, සංඝරත්න ය යන තුනුරුවන්හි මමත්‍ව ය ඇතියහ. ඒ සිටාණන් නිසා රැක්කා වූ අඩාල පොහොයෙහි අනුසසින් මම මේ සම්පත් ලදිමි’යි කීහ. බුදුහු යන නම අසමින් රත්නත්‍රයෙහි භක්ති ප්‍රේමයෙන් පිරී ගියා වූ සිත් ඇති ව පන් සියක් තාපසවරු හැම දෙන ම හුනස්නෙන් පැන නැගී දේවතාවා දිසාවට නැමී දොහොත් මුඳුනෙහි තබා ගෙන ‘තොප කියන්නේ බුදුහු ය යි යන නමෙක් දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි එ පරිද්දෙන් ම තුන් විටෙක විචාරා තුන් විට ම ‘එ සේ ය, බුදුහු ලොව උපන් සේක. ධර්‍ම රත්න ය ද පහළ වී ය. ඒ වූ පරිද්දෙන් පිළිපදනා සංඝ රත්නය ද ලෝකයෙහි පහළ වී ය’යි කී කල්හි:-
‘සොසො’පි සො දුල්ලභො ලොකස්මිං,
ඝොසො’පි සො දුල්ලභො ලොකස්මිං.’
යනාදීන් තුන් විටෙක උදන් පවත්වා ‘බුද්ධ’ යන ශබ්ද ය පවා ලෝකයෙහි ඉතා දුර්ලභ ය. එ සේ වූ බුදුන් දැක්මෙක, වදාරණ බස් ඇසීමෙකැයි කී කල අතිශයින් ම දුර්ලභයහ. එ සේ හෙයින්, දේවතාවාණෙනි, තොප නිසා නො එක් කප් සුවහසෙකිනු ත් ඇසි ය නො හැකි ඉතා අපූර්‍ව වූ තුනුරුවනැ යි යන ශබ්දයක් ඇසුම්හ’යි කීහ.
ඉක්බිති අත වැසි තාපසවරු වැඩි මහලු තාපසයන්ට කියන් නාහු ‘මෙ බඳු වූ ඉතා දුර්ලභ වූ තුනුරුවන් ලෝකයෙහි පහළ වූ බව අස අසා ප්‍රමාද වීම යුක්ත නොවෙ යි. දැන් ම වහා බුදුන් දකින්ට යම්හ’යි කීහ. එ තෙපුල් අසා වැඩි මහලු තාපසයෝ හෙම්බා දරුවෙනි, කොසඹෑ නුවර සිටුවරුන් තුන් දෙන අපට බොහෝ උපකාරයහ. සෙට ඔවුන්ගේ ගෙයි දී වළඳා ලොව තුනුරුවන් පහළ වූ බව ඒ සිටුවරුන් තුන් දෙනාට ත් කියා ගෙන යම්හ. ඒ තාක් ඉවසව’යි කියා අත වැසි තාපසවරුන් ගිවිස්වා ගෙන එ දවස් රැඳුනාහ. දෙ වන දවස් සිටුවරුන් තුන් දෙන කැඳ-බත් පිළියෙළ කරවා, හිඳිනා අසුන් පනවා අද අපගේ තාපසවරුන් වහන්සේ වඩනා දවස යයි නියම දැන පෙර ගමන් කොට ගොසින් තාපසවරුන් දැක වැඳ කැඳවා ගෙන තම තමන්ගේ ගෙවලට ගොසින් පනවන ලද ආසනවල්හි වඩා හිඳුවා අහර වැළඳවූහ. ඒ තාපසවරු අහර වළඳා ඉක්බිති ‘අපි යම්හ’යි සිටුවරුනට කීහ. සිටුවරුන් තුන් දෙනා ‘ස්වාමීනි, වැසි සාර මස මෙහි ම වස් වසන ලෙස අපි හැම දෙනා වහන්සේ ගෙන් ප්‍රතිඥා ගතුමෝ වේ ද? දැන් කොයි වඩනා සේක් දැ’යි විචාළහ. එ කල්හි තාපසවරු කියන්නාහු “බුද්ධ රත්න ය, ධර්‍ම රත්න ය, සංඝ රත්න ය යන ත්‍රිවිධරත්න ය ලෝකයෙහි පහළ වි ය. එ සේ හෙයින් බුදුන් දකින්ට යම්හ’යි කීහ.
එබස් අසා සිටුවරු ‛ස්වාමීනි, මුඹ වහන්සේලා බුදුන් දකින්ට යන ගමනෙක් වී නම් අපිත් ඒ බුදුන් දකින්ට යම්හ’ යි කීහ. එ කල තාපසවරු ‘එම්බා උපාසකවරීනි, තොප හැම ගමනට සැරසී නික්මෙන කල කල් යෙයි. අපි පළමු ව ගොස් බුදුන් දකුම්හ. තෙපි හැම පස්සෙහි එව’යි කියා තුමූ හැම පළමු කොට ගොස් බුදුන් දැක මහත් වූ ප්‍රීති ප්‍රසාදයෙන් ස්තුති කොට රත් මලසුන් පෙළෙක රත් නෙළුඹු කැකුළු පුදනු වන් සේ දොහොත් මුඳුනෙහි තබා වැඳ එකත් පස් ව උන්හ. ඉක්බිති බුදුහු ඔවුන්ගේ අදහස් බලා චරිතානුකූල පරිද්දෙන් දාන කථා ය, සීල කථා ය යනාදී වූ අනුපූර්ව කථා දක්වා බණ වදාළ සේක. ඒ ධර්‍ම දේශනාව කෙළවර ඇම දෙන ම සිවුපිළිසිඹියාපත් රහත් ව බුදුන් සමීපයෙහි පැවිදි ඉල්වා ඉක් බිති බුදුන් විසින් දකුණත දිගු කොට ‘මෙ සේ එව, මහණෙනි, වදාළ බස හා සමඟ ඍද්ධිමය පා සිවුරු ධරව ඒහි භික්ෂු භාවයෙන් මහණ ව බුදු සසුන් බැබළවූහ.
ඉක් බිති කොසඹෑ නුවර සිටුවරුන් තුන් දෙන ද පන් සියයක් ගැල් පුරා ගිතෙල්, මී, සකුරු, බත්, සාල්, පිළි ආදීවූ දානෝපකරණ ගෙන්වා ගෙන සැවැත් නුවරට අවුත් බුදුන් දැක වැඳ බණ අසා තුන් දෙන සෝවාන් පෙලෙහි පිහිටා ගෙන්වා ගෙන ගිය දානෝපකරණයෙන් දන් දෙමින් අඩ මසක් පමණ කල් බුදුන් කෙරෙහි වැස කොසඹෑ නුවරට වඩනා පරිද්දෙන් බුදුන්ට ආරාධනා කොට ඉක් බිති බුදුන් විසින් ‘හෙම්බා ගෘහපතීනි! ශූන්‍යාගාරයෙහි සර්‍වඥවරයෝ සිත් අලවතී’ වදාළ කල්හි ‛ස්වාමීනි, වදාළ අභිප්‍රාය හැඟින. වඩනට ආරාධනා කොට එවු කල වැඩිය මැනැවැ’යි සැළ කොට පෙරළා කොසඹෑ නුවරට ගොස් ඝෝෂක සිටාණෝ ඝෝෂකාරාමය කැරවූ ය. කුක්කුට සිටාණෝ කුක්කුටාරාමය කැරවූ ය. පාවාරිය සිටාණෝ පාවාරිකාරාමය කැරවූ ය යි මෙසේ සිටුවරුන් තුන් දෙන තුන් මහා විහාරයක් කරවා බුදුන් වඩනට අසුන් යවූහ. බුදුහු ඒ අසුන් අසා ඔවුන් කෙරෙහි කරුණාවෙන් කොසඹෑ නුවරට වැඩි සේක. ඉක් බිති සිටුවරු තුන් දෙන බුදුන් වැඩි පවත් අසා මහත් වූ පූජා සත්කාර කෙරෙමින් පෙර ගමන් කොට විහාරයට වඩා ගෙන ගොස් වෙන වෙන මුර සලවා ගෙන බුදුන්ට උපස්ථාන කෙරෙති. බුදුහු ත් ඔවුන් කෙරෙහි කරුණාවෙන් එ කි එ කී දවස් එකි එ කී විහාරයෙහි වසන සේක් උන් උන්ගේ විහාරයෙහි ලැගි දවස් උන් උන්ගේ ගෙට ම වඩනා සේක.
ඒ සිටුවරුන් තුන් දෙනාට උපස්ථාන කරන්නා වූ සුමන නම් මාලා කාරයෙක් සිටුවරුන් කරා එළඹ ‘ස්වාමීනි, මම බොහෝ කලක පටන් මුඹ තුන් දෙනා වහන්සේට උපස්ථාන කොට සිටියෙමි. ඊට මට අනික් ප්‍රත්‍යුපකාරයක් නොකළ මැනව, එක දවසක් දන් දී ගන්නා පරිද්දෙන් බුදුන් වහන්සේ මට අළ මැනව. එසේ කළ සේක් වී නම් ඊට වඩා උපකාර නැතැ’යි කීහ. සිටුවරු තුන් දෙන ඔහුගේ බස් අසා ‘එ සේ වී නම් සෙට එක දවසට අවසර දෙම්හ. දන් දෙව’යි කීහ. එ තෙපුල් අසා මාලා කාරයා සක් රුවන ලද සක්විති රජකු සේ මහත් වූ සන්තොෂයෙන් පිනා යහපතැ යි ගිවිස බුදුන්ට ආරාධනා කොට දානෝපකරණ සැපයී ය.
-
කියටියක්. ↑