තව ද වත් පිළිවෙත් සරු වීමෙහි අනුසස් දක්වන්ට සානු සාමණෙර වත කියමු.
කෙසේ ද යත් -
ඒ සානු සාමණේරයන් දෑ ද සැවැත් නුවර එක් කුල දුවණි කෙනෙක් මුන්දෑ බාල කල ම මහණ කරවා ලූ ය. මහණ වූ වක් පටන් ශික්‍ෂා ගෞරවයත් ඇති දෑ ය. වත් පිළිවෙත් සරු දෑ ය. මසකට අට දවසක් උදාසන ම නැඟී සිට පැන් පරහා ගෙනවු ත් පැන් මළුවේ තබා ලා මළු මං පෙත් හැම ද පියා සවස පානුත් දල් වා ලා මියුරු වූ කට හඬින් බණට හඬ ගානා දෑ ය. වහන්දෑ ද අවුත් උන්දෑ බණ කියන්ට බල ඇති නියාව දැන ‘බණ කියව, හෙරණිනි’ උන්දෑට ම ආරාධනා කරන සේක. උන්දෑ ත් බණ අස්නට පැන නැඟී ලා හිමවු පියසින් ආකාශ ගඞ්ගාව එ තැනට කරන්නා සේ දහම් වතුරු හඬවා බණ කියා නිමවන විට ‘මේ බණෙහි පින් මාගේ දෙමවුපියන්ට දෙමී’ කියන දෑ ය. උන් දෑ ගේ මිනිස් දෙමවුපියෝ පින් දුන් නියාව නො දනිති. දෙවන ජාතියේ මවු කෙනෙක් යකිනී ව උපන. ඔයි ත් දෙවියන් හා සමඟ අවුත් බණ අසා පියා හෙරණුන් දෑ දුන් පින් තමනු ත් මෑණි කෙනකුන් හෙයින් ‘පුතණ්ඩ, අනුමෝ වීමී’ කියති.
සිල්වතුන්ට නම් දෙවි මිනිස්සු ඉතා පැහැද හිඳිති. ඒ හෙරණුන්දෑ කෙරෙහි මිනිසුන් තබා දෙවියෝ ත් ආදර ඇති ව මහ බඹාණ කෙනකුන් මෙන් ද ගිනි කඳක් මෙන් ද සිතති. හෙරණුන්දෑ කෙරෙහි ගෞරවයෙන් ඒ යකින්නැණියනු ත් උසස් කොට දකිති. දේවතා සමාගම ආදියෙහි දී ත් යකින්නැණියන්ට සානු මාතාවෝ ය යි කියා ලා හිඳිනා ආසන ත් යහපත් දෙයක් ම දෙති. අග්‍රෝදක ය හා අග්‍රපිණ්ඩය දෙති. මහේශාඛ්‍ය දෙවියෝ ත් උන් දුටු කල අවසර පෑ ලා මඟින් තුමූ ඉවත් වෙති. දුටු කල හුනස්නෙන් නැඟෙති.
ඒ හෙරණුන්දෑ වැඩී වර්ධන ව සස්නේ උකටලී ව උපන් උකටලිය හැර ගත නො හී හිස කේ හා නිය ත් දික් ව සිවුරු ත් කොළ ව ගොසින් යන නියාව කිසි කෙනකුන්ට ත් නො කියා පා සිවුරු හැර ගෙන ලමන්දු උපාසිකාවන් ගෙට ගියදෑ ය. උපාසිකාවෝ ද පුතණුවන්දෑ දැක වැඳ ලා ‘පුතණ්ඩ මුඹ පෙර එන කල ඇදුරු වත් තෙරුන් වහන්සේ ලා කැටි ව හෝ හෙරණ වහන්දෑ ලා කැටි ව හෝ එන සේක. තනි ව ඊ ම යහපත් නො වත් එක නමක් වුව ත් කැඳවා නො ගෙන බැලුවන්ට ත් රිසි යෙන තරමේ නැඟී ආයේ හැයිදැ’යි කිවුය. තමන් දෑ සස්නේ උකටලී නියාව කී දෑ ය. සැදෑ ඇති ලමන්දු උපාසිකාචෝ නො එක් ලෙසින් ගිහි ගෙවල අවුල් වියවුල් කියා ත් පුතණුවන්දෑ ගිවිස්වා ගත නොහී තමන්දෑ ම සිතා ලා රඳා පියන දෑ වී නමුත් ය යි ‘එ සේවී නම් රඳා හුන මැනව. කැඳත් බතුත් වළඳවා ලා පිළි ගෙනවු ත් දී ලමී කියා ලා හස්නක් පනවා දී ලූ ය. හෙරණුන්දෑ හුන් දෑ ය. උපාසිකාවෝ හැසිල්ලෙකින් කැඳ අවුළු පත් ඉදි කොට දුන්හ. කැඳ අවුළු පත් වැළඳූ කලට බත් ඉදි කරණු නිසා නුදුරු තැනෙක හිඳ සාල් දොවුන් ගනිති.
ඒ වේලාට යකිනී ද හෙරණුන් දෑ කොයි දෝ, බත් ලබන සේක් දෝ හෝ යි විමසන්නාහු සිවුරු හරනට හුන් නියාව දැක මුන් වහන්සේ සිවුරු හළ සේක් නම් ලජ්ජාවෙන් දෙවියන් මූණ බලන්ට මට ත් බැරි ය. ප්‍රසිද්ධ ව මුන් වහන්සේ වසඟ ත් නියාවට මුන් වහන්සේ තකන්නෝ ත් නැත. නිකම් නිස්සාර කට යුත්තක් නිසා සීලාදි ගුණ සාරයෙනු ත් පිරිහෙන සේක. ‘සිවුරු හරිමී’ සිතන සිතිවිල්ලට බාධා කෙරෙමී “අවුත් ඇඟ ආවිෂ්ට ව ලානො මියන ලෙසට කර අඹරා මූණ පිටි කර දසාවට තබා ලා බිම හෙළා ලුව. කටින් කෙළ දාරා වැගිරෙයි. සාල් ගරමින් හුන් උපාසිකාවෝ පුතණුවන්දෑට වූ ගහට ය දැක වහා අවුත් ආපදාව සලකා පුතණුවන්දෑ ඔර වතුරුවා ගෙන වැද හුන්හ. ගම මුළුල්ලේ ඇත්තෝ අවුත් බොහෝ ප්‍රතිකාර කළහ. උපාසිකාවෝ ද ‘‘යම් කෙනෙක් මසක් මසක් පතා තුදුස් වක මධ්‍ය කරන්ට තෙළෙස් වක තුදුස් වක පසළොස් වක ත් පසළොස් වක මධ්‍ය කරන්ට තුදුස්වක පසළොස්වක පෑළවිය ත් අටවක මධ්‍ය කරන්ට සත වක අට වක නව වක ත් පේ වෙත් ද සෙසු ත් පින් කම පිළිවන් ලෙසක යෙදී වෙසෙත්ද, උන් හා යකුන් නො කෙළෙතී රහතන් ගෙන් අසම්හ. ඒ කෙ සේ වදාළ ත් සානු සාමණේරයන් දෑ ලා යකුන් කෙළන නියාව දුටුම්හ”යි හඟවන්ට -
චාතුද්දසිං පඤ්චදසිං - යාව පක්ඛස්ස අට්ඨමී,
පාටිහාරියපක්ඛං ච - අට්ඨඞ්ගසුසමාගතං.
උපොසථං උපවසන්ති - බ්‍රහ්මචරියං චරන්ති යෙ,
න තෙහි යක්ඛා කීළන්ති - ඉති මෙ අරහතං සුතං,
සා දානි අජ්ජ සස්සාමි – යක්ඛා කීළන්ති සානුනා.
යන මේ ගාථාව කීහ. යකින්නැණියෝ ඒ අසා ‘පින් කම හැසිර හිඳිනවුන් හා යකුන් නො කෙළෙතී වේ ද, තොප රහතන් ගෙන් ඇසූයේ. තොප හා කෙළින කෙනෙක් ඇත් නම් වේ ද රහතන්ගේ බස් නො සරි. ශාසනයෙන් පිරිහී පාපයෙහි හැසිරෙන්ට නිල වුවන් හා කෙළියෙන් කිම්ද? අපි සානුන් හා කෙළුම්හ. ශාසනයෙන් නො පිරිහුණු වූ නම් අරුම්හ. පිරිහුණු වූ නම් අහසින් යතත් අප ගෙන් මිදීමෙක් නැත්තේ වේ ද’ යනු හඟවා -
“යං චෙව පාපකං කම්මං – කරිස්සති කරොති වා,
න තෙ දුක්ඛා පමොක්ඛන්ති - ආකාසා‘පි පලායතො’ යි.
යකින්න කියා ලා ඒ යකිනී හෙරණුන් දෑ ඇඟින් පහ වුව. හෙරණුන්දෑ ත් ඇස දල්වා බලා පියා ලමන්දුන් හඬන නියාව ද, ගම මුළුල්ලේ ඇත්තවුන් රැස් වූ නියාව ද දැන තමන්දෑට යක් විකාර ඇති වූ බව නොදැන ‘මම ආදි පුටුවක් පිට හුන්නෙමි. ලමන් දූත් නුදුරු තැනෙක සාල් ගර ගරා හුන්න. දැන් මම බිම වැටී පියා හොත්තෙමි. මේ කිම් දෝ හෝ” යි.
“මතං වා අම්ම රොදන්ති - යො වා ජීවං න දිස්සති,
ජීවන්තා අම්ම පස්සන්ති - කස්මා ත්‍වං අම්ම රොදසි.”
යනු හෙයින් ‘මළ කෙනකුන්ට හෝ හඬති. ජීවත් වුව ත් නො දැක හෝ හඬති. මා මළ ත් නැත. නො දක්නා ලෙසට දුර ගිය ත් නැත. හඬන්නේ හැයි දැ’ යි විචාළ දෑ ය. ලමන්දු ත් සම්පත් හැර මහණ වූවන් පෙරළා සිවුරු හැරීමෙහි නපුර දක්වනු නිසා-
“මතං වා පුත්ත රොදන්ති - යො වා ජීවං න දිස්සති,
යො ච කාමෙ චජිත්‍වාන – පුනරාවත්තතෙ ඉධ;
තං වා පි පුත්ත රොදන්ති - පුන ජීවං මතො හි සො”
‘මළවුන් ගියවුන්ට ත් හඬති. සැපත් හැර මහණ ව මඳානු භවයක් මෙන් යම් කෙනෙක් සිවුරු හරිත් නම් නො මළේ ත් කිම් ද? ශාසනයෙන් මළ හෙයින් මළා හා ම සරි බැවින් ඊට ත් හඬතී’ කියා ලා ගිහි ගෙය නම් ගිනි අඟුරු වැනි නියා ත් නරක වැනි නියා ත් ශාසනය නම් නො එක් ලෙසින් නිරුපද්‍රව තැන් නියා ත් කියන්නෝ -
“කුක්කුළා උබ්හතො තාත – කුක්කුළං පතිතුමිච්ඡසි,
නරකා උබ්බතො තාත - නරකං පතිතුමිච්ඡසි”
යනු කියාලා ‘පුතණ්ඩ; මුඹට වැඩෙක් වේවයි ගිනි ගත් ගෙයකින් වුව මනා දෙයක් පෙරාතු කොට පිට ත් කරන්නා සේ බුදුසස්නෙහි මහණ කරවා ලුම්හ. පිට ත් කළ ගමනේ පෙරළා ගිනි ගත් ගෙට ම යන්නා සේ එක් කෙනකුන් ගෙන් පැරැත්තයක් නැති ව මුඹ ම සිවුරු හරින්ට සැලෙන කල කරන්නේ කිම් දැ’ යි හඟවා -
“අහිධාවත භද්දන්තෙ - කස්ස උජ්ඣාපයාමසෙ,
ආදිත්තා නිහටං භණ්ඩං පුනඩය්හතුමිච්ඡසි”
යනු කිවු ය. උන්දෑ ද ලමන්දුන් කියන අවවාද අසා කාරණ සලකා පියා ‘මට ගිහි වීමෙන් කම් නැතැ’ යි කී දෑ ය.
මෑණියන්දෑ ත් සතුටු ව ගොසින් ප්‍රණීතාහාර ය වළඳවා ලා ‘පුතණ්ඩ, කී හැවිරිදි දැ’ යි විචාරා ‘විසි හැවිරිද්දෙමි’ කී කල්හි තමන් ශාසන සරුප දන්නා හෙයින් ඒ අඩු කලට මාලු පැවිද්ද බැරි හෙයින් තුන් සිවුරු පාත්‍ර සපයා දුන්හ. උන්දෑ ත් පාත්‍ර සිවුරු සපයා ගෙන ගොසින් මාලු පැවිදි වූ සේක. මාලු පැවිදි වූ බවට අවවාද කරන බුදුහු “මේ සිත නම් පෙර හික්මවීම නැති අවස්ථාවෙහි රූපාදි වූ අරමුණෙහි ඇලීම් ඝැටීම් ආදි විසින් යම් ලෙසක කැමැත්තොත් එ ලෙස හැසිරීමෙන් බොහෝ කලක් පැවත පී ය.
‘එ සේ වූ සිත දැන් ඇතරුවකු හකුස්සෙකින් මද නැඟි ඇතකු රඳවන්නාක් මෙන් භාවනා බලයෙන් නිගනිමි. මෙ තෙක් කල් සේ විය නොදෙමි’ උත්සාහ කළ මනා වේ දැ’ යි වදාළ සේක. දේශනා කෙළවර සානු නම් භික්ෂූන් වහන්සේ රහත් වූ සේක. රැස් වූ බොහෝ දෙන ත් නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් දවස දවස පන් සිල් පොහොය අට සිල් වීර්‍ය්‍ය ඇත දස සිලු ත් ගිහිව සිට රැක ශාසනික වුව හොත් ශාසනික වූ තැන් පටන් අනුශීලී ව ශීල සංරක්‍ෂණ ය කරත් මුත් සස්නෙහි උකටලී වී මෙන් ලඝුත්‍ව ය නො හඟවා ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හැසිරිය යුතු.