246. පසේනදි කොසොල් රජ්ජුරුවන් ගේ වස්තුව

star_outline

තව ද භොජනයෙහි පමණ දැන්මෙහි යහපත දක්වන්ට පසේනදි කොසොල් රජ්ජුරුවන් ගේ වස්තුව කියමු. කෙසේද යත් -

එක් සමයෙක කොසොල් රජ්ජුරුවෝ මගධ නැළියෙන් සාල් සොළොස් නැළියෙක බත් ඊට සෑහෙන තරම් මාළුවෙන් කති. එක් දවසක් ඌ තුමූ බත් කා ලා භුක්තාලස්‍යය ත් යවා නො පියා ම බුදුන් ළඟට ගොසින් පමණක් නැති ව කා පී බත් හෙයින් බඩත් බර වන්නා ඈත මෑත නැමි නැමී හිඳිති, නිඳාත් හෙති.

බුදුහු ඒ දැක ‘කුමක් ද, මහ රජ මඳක් සැත පී නොගෙන අවුදැ’යි විචාරා ‘එ සේය, ස්වාමීනි’යි කී කල්හි ‘මහ රජ, පමණ නොදැන බොහෝ කොට කෑම නිසා තෙල ලෙස වන්නේ වේ දැ’ යි වදාරා පමණ දැන බත් කනු නිසා බණ වදාරණ සේක් ‘යම් කෙනෙක් බොහෝ කොට කෑම නිසා අභ්‍යාස හෙයින් ඒ කෑමට මුත් සෙස්සකට නිසි නොව හැම වේලේ ම නිඳත් ද, නිඳන විටත් බඩ බර හෙයින් සැලී පෙරැළී හිඳිත් ද, ඌ තුමූ වඩන හූරකු කුඩු ආදි ය කා මහත් ව ගොසින් ඈත මෑත යා නො දී සුස්ම සුස්මා ගොරව ගොරවා ඇවිදුත් මුත්ති ලකුණු පමණකුත් මෙනෙහි නො කෙරෙති. ඒ මෙනෙහි නො කිරීමෙන් බඩ වඩා ගන්නා සේ ම සසර දුකුත් වඩන්නේ ය’යි වදාළ සේක.

ඒ බණ අසා රජ්ජුරුවෝ භුක්තානුභව ය පිරිහෙළන ලෙස බුදුන්ගෙන් උගත් උත්තර මානවකයන් ගෙන් දැන දවස ආලොපයක් බැගින් පිරිහෙළන්නෝ නැළියක බත් පමණ වූ කල්හි ලඝු වූ ශරීර ඇති ව බුදුන් කෙරෙහි ගෞරවයෙන් බර වූ සිත් ඇතිව සතියක් මුළුල්ලෙහි මහ දන් දුන්හ. ඒ දන් බලන්ට රැස් වූ බොහෝ දෙන ත් ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කළහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කුක්ෂි පෝෂණ ය ජීවත් වීම විතරකට එක් තරමෙක කොට සුචරිතයේ පෝෂණ යම බලවත් කොට ස්වර්‍ගමොක්‍ෂ පෝෂණ ය කටයුතු.

_________