තව ද අනුන්ගේ විධානයෙන් වුව ත් දෙමවුපියන්ට උපස්ථාන කිරීමෙහි යහපත හඟවන්ට එක්තරා මාලු බමුණාන කෙනකුන් ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
සැවැත් නුවර එක් බමුණාන කෙනෙක් අට ලක්‍ෂයක් පමණ වස්තු ඇත්තෝ ය. ඌ තුමූ වැඩි විය පැමිණි පුතුන් සතර දෙනකුට බමුණු කුලවලින් සරණ ත් ගෙන්වා පාවා දී ලා සතර දෙනාට සතර ලක්‍ෂයකුත් දායාද කොට දුන්හ. බැමිණිනියන් මළ පසු පුත්තු එක් ව කථා කරන්නාහු ඉදින් මුන්දෑ අනික් බැමිණිනි කෙනකුන් ගෙනා දෑ වී නම් උන් වැදූ දරුවන්ට ත් දායාද වුවමනා කලට සම්පත අපට අපවත් වෙයි.
බැමිණිනි කෙනකුන් මුන්දෑ ගෙනෙත ත් කෑමෙන් පීමෙන් අපාසු ව නිසා වේද ? කෑම පීම ඵාසු කොට ලූමෝ නම් මුන්දෑට සිතිවිලි නැත්තේ වේ ද, යන අදහසින් සංග්‍රහ කිරීමෙහි තර අදහසක් නැත ත් වස්තු ලෝභයෙන් පලදා නිසා ගසකට පැන් දෙන්නා සේ යහපත් කොට කවන්නෝ පොවන්නෝ යහපත් පිළී දෙන්නෝ නෑවීම් ඉස් සේදීම් ආදී වූ මෙහෙවරත් කරන්නෝ එක් දවසක් දාවල් නිදා පියා නැඟී සිටි කලට පුත්තු සතර බෑයෝ ම අත-පය මැඬ මැඬ හුන්නාහු වෙන වෙන ම සොයා උපයා කන කලට බත් සෙවුව මැනව. ලුණු සෙවුව මැනව. හෝනා හිඳිනා දෑ සෙවුව මැනව. වාල් සරක් සෙවුව මැනව. රන් රත්රන් ආදී වූ දෙය සෙවුව මැනව. නො සෙවු විට ම නැත. තමාගේ නැති කලට සොයා ගිය මැනව’ යනාදීන් ගිහි ගෙවල බොහෝ දුක් කියා ලා ‘අපි සතර දෙන මුඹ දිවි හිමියෙන් මේ ලෙසින් රකුම්හ. සෙසු වස්තුව ත් දී පුව මැනවැ’යි කීහ. බමුණානෝ වස්තුවෙන් වන ප්‍රයෝජන ත් මෙතෙක් ම වේ දැ’යි සිතා පුතුන් සතර දෙනාට තුබූ සාර ලක්‍ෂය ත් ලක්‍ෂය ලක්‍ෂය බැගින් දී ලා හඳිනට පොරෝනට පිළී සඟලක් විතර තමන්ට තබා ගෙන සෙසු සම්පතු ත් සතර කොටසක් කොට බෙදා දී ලූය.
කියා ලූ ලෙසට වැඩිමහලු පුතණුවෝ ද දවස් ගණනක් උපස්ථාන කළහ. එක් දවසක් ගඟට ගොසින් නා පියා එන කලට දොරටුවේ සිටි යේළණියෝ ‘හැයි, මුඹ දෑ වැඩිමාලු පුතණුවෝ ය යි දාසක් පන්සියයක් වඩා දී ලූ දෙයෙක් ඇද් ද ? දෙන දේ දී ලුවා සරියේ වුව සෙස්සනු ත් දෙලක්‍ෂ රනින් ලද. මේ ගෙට එන මඟ මුත් සෙසු පුතුන්ගේ ගෙවලට මං හඳුනන්නේ නැද්දැ’යි කිවු ය. බමුණානෝ ත් එ සේ කියා ලූ යේළණියන්ට දොඩා බැණ ගෙන අනික් පුතණු කෙනකුන්ගේ ගෙට ගියහ. ඒ ගෙයි යේළණියනු ත් කීප දවසක් විතරින් මෙලෙස ම කී කලට ලජ්ජාව ගොසින් අනික් පුතණුවන්ගේ ගෙට ගියහ.
මෙසේ පුතුන් සතර දෙනාගෙන්ම සම්පත එවා ගන්නා තෙක් මුත් ගිනි පිඹ ගෙන පෙනෙල්ල දමුවා සේ මූණ ගසා දෙඩීමෙන් නෙරනා ලදු ව සී රක්නා ව සිඟා කා ඇවිදිනෝ කල් ගිය කලට ජරා දුර්‍වල ව ගොසින් සිඟාත් ජීවත් වීම දුක් හෙයින් පිළෙක වැද හෙව නිදා පියා නැඟී සිට හුන් තැනැත්තෝ තුමූ ම තමන් බලා පියා පුතුන් ගෙන් කිසි ද රක්‍ෂාවක් නැති හෙයින් රැකෙන උපදෙසක් සිතන්නාහු ‘මහණ ගොයුම්හු කවුරුන් දුට ත් මූණු දී බැණ නැඟෙතොත් මුත් කර බානා කෙනෙක් නොවෙති. සිත් ගෙන කථා කරන සේත් දනිති. නො පදෙයි කියා ගිය කෙනකුන් නිසි ලෙසකින් රැක ලියත් හෙති. උන් කරා ගිය හොත් රැකී ගත හැක්කැ’යි දයිව[1] මතු වන වකක් හෙයින් සිතා ගෙන පවුල සකහ ගෙන මාණ පයක් හැර ගෙන සැරවිටි ගසා බුදුන් ළඟට ගියහ. ගොසිනු ත් සිටිනට බල මඳ හෙයින් වැද හුන්හ.
බුදුහු ත් අශක්ති ව වැද හුන් බමුණානන් හා සමඟ සාද සාමීචී ලෙස කථාකරන සේක් ‘බමුණ, තොපි ත් දුර්‍වල ව ගියා හින පවුල් පමණකුත් තොපටත් වඩා දුර්‍වල ය. තා රැක ලන කෙනකුන් නැති නියා දැ’යි වදාළ සේක. බමුණානෝ ද ‘භවත් ගෞතමයෙනි, මාගේ පුත්තු සතර දෙනෙක් ආදිත් සාර ලක්‍ෂයක් හැර ගෙන පසුව ත් රකුම්හ යි කියා ලා තුබූ සාර ලක්‍ෂය ත් ලදින් වුව මනා ප්‍රයෝජන විඳ නිමවා ලා තුමූ නො පෙනී අඹුවන් ලවා දොඩවා බණවා නෙරිතී’ කීහ.
බුදුහුත් ‘යම් දරු කෙනකුන්ගෙන් ප්‍රයෝජනයක් විඳිමි යි සිතා වඩා වර්ධන කෙළෙම් නම් ඌ දැන් සෙසු සම්පත් හැර රනින් ම අට අට ලක්‍ෂයක් හැරගෙන බල්ලන් ලවා ලා හූරන් ලුහුබඳවන්නා සේ තුමූ නො පෙනී අඹුවන් ලවා ලා දොඩවා නෙරිති. දුටු කල වැඩි මාලු නෑ කම් කියන පමණක් මුත් ඉතා දුර්ජනයෝ ය. රැක්ක මනා අවධියේ දී මා අත් හළුවා වූ ඔහු පුත් සැටියේ අවුත් පෙනී ගිය යක්කු ය. ඒ මාගේ අසත් පුරුෂ දරුවන් බලා ත් මේ සැරවිට දණ්ඩ ම යහපත. කුමක් නිසා ද යත් - අනින්ට ආ ගෙරි සරක් වුවත් කන්ට ආ බල්ලන් වුව ත් රඳවා ලයි. අඳුරු තැන දී පෙරාතු වෙයි. ගැඹුරු දියෙහි යන කල පිටිවහල් වෙයි. යන කල පැකිළ ගිය ත් එවා ලාසිට පිය හැක්ක’ යන ගාථා සිතාලා ‘බමුණානෙනි එ සේ වී නම් -
“යෙහි ජාතෙහි නන්‍දිස්සං - යෙසඤ්ච භවමිච්ඡියං,
තෙ මං දාරෙහි සම්මුච්ඡා – සාව වාරෙන්ති සූ කරං,
අසන්තා කිර මං ජම්මා - තාත, තාතාති භාසරෙ,
රක්ඛසා පුත්තරූපෙන – තෙ ජහන්ති වයොගතං,
දණ්ඩොව කිර මෙ සෙය්‍යො - යෙ මෙ පුත්තා අනස්සවා,
චණ්ඩම්පි ගොණං වාරෙති - අථො චණ්ඩම්පි කුක්කුරං,
අන්ධකාරෙ පුරෙ හොති – ගම්භීරෙ ගාධමෙධති,
දණ්ඩස්ස චානුභාවෙන – ඛලිත්‍වා පතිතිට්ඨති.”
යන මේ ගාථා ඉගෙන ගෙන බොහෝ දෙනා රැස් වූ තැන දී පුතුන් මධ්‍ය කොට ගෙන කියා ලව’යි වදාළ සේක.
බමුණානෝ ද බුදුන්ගෙන් ඒ ගාථා ඉගෙන ගෙන බමුණන් රැස් වන දවසෙක සව් බරණින් සැදී පුතුන් සතර දෙනා ත් අවුත් සභා මධ්‍යයෙහි බ්‍රාහ්මණවරුන් පිරිවරා ගෙන හුන් කලට මාලු බමුණු සිරක්නෝ ද ‘මේ ගාථා කිව මනා කලැ’යි සභා මධ්‍යයට වැද ලා අත උඩට ඔසවා ගෙන ‘පින්වත්නි, මම ගාථා බුදක් කියනු කැමැත්තෙමි. ඇසුව මැනැවැ’යි කියා ලා ‘කියව, කියව, බමුණානෙනි, අසම්හ’යි කී කල්හි සිටි හැම දෙන හට අස්වා කියා ලූය.
එ සමයෙහි ද වැළි ත් යම් දරු කෙනෙක් දෙමවුපියන්ගෙන් ප්‍රයෝජන විඳ පුතුන් සමර්ථ ව දෙමවුපියන් නො රකිත් නම් උන් මැරි ය යුතු ය යි මිනිසුන්ගේ පනතෙක. එ හෙයින් බමුණු සිරක්නන්ගේ පුත්තු ගාථාවල අර්ථ දැනුණු හෙයින් විචාරා තමන් නියම වුව ත් නපුරැ’යි පියාණන් වැඳ ගෙන වඩා වර්ධනය කළා සේම මේ මරණිනු ත් ගළවා පිය මැනැවැ’යි කීහ. දරුවන්ගේ තද කම කෙ සේ වුවත් දෙමවුපියන් මොළොක් හෙයින් හැම දෙනාගෙන් ගහටයක් වැද යෙතී සිතා මම නිකම් කියාපීමි. අපගේ දරුවන්ට ගහට නොකළ මැනව. ඌ අප රකිතී’ කීහ. මිනිස්සු ත් උන්ගේ පුතුන් සතර දෙනාට ‘තුලුන් තෙල ලෙස පෙරළා කියමින් සිටිය දී කුමක් කට හැකි ද? අදට ගියේ ම ය. මෙ වක් පටන් මිය යන තෙක් යහපත් ව රකුව. එ ලෙස නො කළා නම් මරම්හ’යි කිවු ය.
උයි ත් බා ගොසින් පියාණන් පුටුවෙක හිඳුවා ගෙන තුමූ ම ඔසවා ගෙන ගෙට ගෙන ගොසින් ඇඟ තෙල් මැඬ පියා ඇඟ උලා නාවා පියා බැමිණිවරුන් කැඳවා ලා ‘අද පටන් අපගේ පියාණන් වහන්සේට කළ මනා දෙයෙහි අප කිව නො කිව පමා නො වව, පමා වූ නම් මරම්හ’යි කියා ලා මධුර ආහාරයක් අනුභව කැර වූහ. බමුණානෝ ද සුවසේ කන්ට බොන්ට ඇති හෙයින් දවස් ගණනෙකින් ම ශරීර බල ත් ඇති ව ඇඟ මූණ පෑය ත් ඇති ව අනික් අත් බැවක් සේ තමන්ගේ සැටිය දැක ‘මේ සියලු ඵාසු ම මහණ ගොයුම්හු නිසා වී ය’යි පඬුරට එක පිළී සඟළක් හැර ගෙන බුදුන් ළඟට ගොසින් සිට නො වැඳ ම සාද සාමීචි කොට ලා එකත් පස් ව හිඳ ඒ පිළී සඟළ බුදුන් පා මුල තබා ලා ‘භවත් ගෞතමයෙනි, අපි බ්‍රාහ්මණ වරුම්හ. භවත් ගෞතමයන් අපට ගුරු ව සිටි හෙයින් ගුරු පූජාවක් කරණු කැමත්තම්හ. තෙල පිළී සඟළ පිළි ගත යහපතැ’යි කිවු ය. බුදුහු ත් උන්ගේ ප්‍රසාදය වඩනා නිසා පිළි පිළිගෙන ලා බණ වදාළ සේක. බණ වදාරා අන්තයෙහි බමුණානෝ සරණ සීලයෙහි පිහිටා ‘භවත් ගෞතමයෙනි, ම පුතුන් සතර දෙනා ගෙන් මට නිරන්තර ව දෙන සතර බතෙක් ඇත. ඉන් දෙ බතෙක් මට ඇත. දෙ බතෙක් ඔබට දෙමි’ කිවු ය. බුදුහු ත් “යහපත, බමුණානෙනි, අභිප්‍රාය තැනකට එන්නමෝ වේ දැ’යි වදාරා ලා බමුණානන් යවා වදාළ සේක.
බමුණානෝ ගෙට ගොසින් පුතුන් බණවා ලා ‘මහණ ගොයුම්හු මාගේ යාළණුවෝ ය. තොප සතර දෙනා දෙන බත් සතරින් බත් දෙකක් උන්ට දිනිමි. තෙපිත් තොපගේ ගෙවලට ආ කල පමා නො වව’යි කිවුය. උයිත් යහපතැ යි ගිවිස්සහ. බුදුහුත් දෙවන දවස් සිඟා වඩනා සේක් වැඩි මාලු පුතණුවන්ගේ ගෙට සිඟා වැඩි සේක. උයි ත් බුදුන් දැක පාත්‍ර ය හැරගෙන මධුරාහාරය දුන්හ. බුදුහු දෙ වන දවස් අනික් තැනැත්තන්ගේ ගෙට ය, තුන් වන දවස් අනික් තැනැත්තන් ගේ ගෙට යැයි පිළිවෙළින් සතර දෙනා ගේ ගෙවලට ම වැඩි සේක. හැම දෙන සරියේ ම සත්කාර කළහ. එක් දවසක් වැඩි මාලු පුතණුවෝ මඟුලක් එළඹ සිටි කල්හි ‘පියාණන් වහන්ස, මේ මඟුලෙහි කවුරුන්ට දන් දෙමෝ දැ’යි විචාරා ‘අනික් නිස්සෝ කවුරුද? මහණ ගොයුම්හු අපට යාළුව සිටිති. උන්ට දෙව’ යි කී කල්හි ‘එ සේ වී නම් සෙට දවසට පන්සියක් දෙනා වහන්සේ හා සමඟ පවරා ලුව මැනැවැ’යි කිවුය. බමුණානෝත් එ ලෙස ම ආරාධනා කළහ. බුදුහු දෙන දවස් සහපිරිවරින් උන්ගේ ගෙට වැඩි සේක. වැඩි මාලු පුතණුවෝ ද ගෙයි ගොම පිරිබඩ ගන්වා මඟුල් සැරහීමෙන් සරහවාලා ඒ ගෙයි බුදු පාමොක් සඞ්ඝ යා වහන්සේ වඩා හිඳුවා පැන් නුමුසු කිරි බත් හා සමඟ මධුරා භාරය වැළඳවූහ. ‘කැඳ වළඳා ලා බත් වළඳන්නාට අතුරෙහි බමුණානන්ගේ පුත්තු සතර දෙන ම බුදුන් ළඟ හිඳ ‘හවත් ගෞතමයෙනි, අපි අපගේ පියාණන් වහන්සේ යහපත් කොට ම රකුම්හ. ඊ පමාවෙක් නැත. ආදිත් සැටි ය දැක වදාළ, දැන් සැටියත් බලා වදාළ යහපතැ’යි කිවු ය.
බුදුහුත් යහපතැ’යි වදාරා ලා ‘හෙම්බා, දෙ මවුපියන්ට උපස්ථාන කිරීම පෙර නුවණැත්තෝත් කොළෝ ම වේ දැ’යි තමන් වහන්සේ ඇත් අවධියේ කළ උපස්ථාන වදාරන සේක් ‘තස්ස නා ගස්ස විප්ප වාසෙන විරූළ්හා සල්ල කී ච කුටජා ච’ යනාදීන් එ කාදශ නිපාතයෙහි මාතුපෝසක ජාතක ය විස්තර කොට වදාරන බුදුහු කසී රජ්ජුරුවන් හස්ත්‍යාචාරීවරුන් යවා ලා නා වනයෙන් ගෙන් වූ ගිලී බස්නා මද ඇති එ හෙයින් ම නවතා ලිය නො හැකි ධනපාල නම් ඇත්, ඇත් හලට ගෙන ගොසින් පට කඩ තිරයක් ඇද සුවඳ පිරිබඩ ත් ගෙන ලා පට කඩ වියනු ත් ඇති පවිත්‍ර තැනෙක සිටුවා ලා රජ දරුවන්ගේ අනුභවයටම නිසි බත ගෙන ගොසින් තබා ලූ කලත් තමා සිටිනා වෙනෙන් තමා බැඳගෙන ආ හෙයින් නා වන ය සලකුණු කොට ඒ තරම් බතත් අනුභව නොකොට තමාගේ මෑණියන් දෑ වනයෙහි හෙයිනු ත් මෑණියන්ට කරන උපස්ථාන බාධා හෙයිනු ත් නා වනයට ගියොත් මුත් ඒ කුශලය නොපිරෙන හෙයිනුත් බත් පැනටත් වඩා මාතුපට්ඨාන කුසලයෙන් පිරිහුණු නියාවම සිතීය යි බුදුහු තමන් වහන්සේගේ මේ පූර්ව චරිත ය වදාරත් හැම දෙන ම ඇසින් කඳුළු ගනිමින් මොළොක් අදහස් ඇති ව කන් යොමු කළහ. ඉක්බිත්තෙන් බුදුහු චතුස්සත්‍ය ය ප්‍රකාශ කළ සේක. දේශනා කෙළවර පුතුන් සතර දෙනා හාත්, යේළණියන් සතර දෙනා හා ත් සමඟ බමුණානෝ සෝවාන් වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් මෙ පමණක් වුවත් සිත තබා මවුපියන්ට උපස්ථාන කිරීමෙහි නො පමා ව එයින් ජනිත කුශලානුභාවයෙන් භව සැපත් වළඳා නිවන් අත් කටයුතු.
-
දෛව - දැයිව ↑