තව ද තමා නො හික්ම සිට අනුන් හික්මවීමෙහි නපුර දක්වන්ට මහණ වීමට පෙරාතු හස්ති ශිල්පයෙහි දක්‍ෂ කෙනකුන් වහන්සේ ගේ වස්තුව කියමු.
කෙසේද යත් -
උන් වහන්සේ එක් දවසක් අචිරවතී නම් ගං බඩ දී එක් හස්ත්‍යාචාරියකු ඇතු තමා අභිප්‍රාය ලෙසට හික්මවා ගත නො හෙන නියාව දැක ළඟ සිටි වහන්දෑ බණවා ලා ‘ඇවැත්නි, තෙල හස්ත්‍යචාරියා ඇත් කෝල බලා තෙල ඇතු අසවල් තැන කොටා ලී නම් වහා ම ඌගේ අභිප්‍රාය ලෙසට නැමෙ’යි කී සේක. හස්ත්‍යාචාරියාත් ඒ අසා ලා උන් වහන්සේ වදාළ ලෙස ම කොට හික්මවා ගත. වහන්දෑ ද ඒ පවත් බුදුන්ට දැන්වූ සේක.
බුදුහු ත් ඒ භික්ෂූන් වහන්සේ බණවා ලා ‘සැබෑ දැ’යි විචාරා ‘සැබැවැ’ යි කී කල්හි ‘වළත්තෙන්[1] තට ප්‍රයෝජන කවරේ ද? යනාදීන් නො එක් ලෙසින් දොඩා වදාරා එ තැනට පැමිණි තැනට වුවත් ප්‍රයෝජන නිසා බණ වදාරන සේක් - ‘හෙම්බා, පූර්ව භාගයෙහි විදර්ශනා බලයෙන් හා පසුව ආර්‍ය්‍ය ජාතියට පැමිණෙන කළ මාර්‍ග භාවනා බලයෙන් තුමූ දැමුණු කෙනෙක් ඇත් වාහන ආදියට නැඟීත් කිසි කෙනකුන් සීනෙනු ත් නො ගිය විරූ නිවනට තුමූ ම ද පැමිණෙති. එ හෙයින් හික්ම වන සැටි උගැන්වීමටත් වඩා තමා හික්මවනු මැනැවැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් සත් පුරුෂයන් විසින් අනුන් හික්මවත ත් තම තමා පෙරාතු හික්ම සිට හික්ම ගත් ලෙසට තුන් දුසිරින් දුරුව තුන් සුසිරි පුරා ලොවී ලොවුතුරා ගුණ විශේෂයට පිහිට විය යුතු.
-
වළතත්තෙන් - වළමිත්තෙන් ↑