243. තමන් වහන්සේ ම අරභයා වදාළ වත

star_outline

තව ද සහනයෙහි යහපත හඟවන්ට බුදුන් තමන් වහන්සේම අරභයා වදාළ වත දක්වමු.

කෙ සේ ද යත් -

මේ කථා ව විස්තර විසින් අප්පමාද වග අටුවායෙහි ම ආ ය. අපිත් ඔබ දී ම විස්තර කොට කියුම්හ. එ තෙකුදු වුවත් මාගන්‍දි ය නම් බැමිණියගේ දෙඩීම්-බිණීම් තර හෙයින් අනඳ මහ තෙරුන් වහන්සේ අනික් නුවරකට යම්හ’යි කී කල්හි ‘ආනන්‍දයෙනි, තොප එ සේ කීවත් බැණ දොඩා පීව’යි අපි එසේ නො යම්හ’යි වදාරා බණ වදාරන සේක්- ‘හෙම්බා ආනන්‍දයෙනි, මම නම් සටන් බිමට පැමිණි යුද්ධ ක්‍ෂම වූ ඇතු ඒ ඒ තැනින් අවුත් ඇඟ වැද ගත් හී දඬු ඉවසන්නා සේ නපුරු අදහස් ඇත්තවුන් නො එක් ලෙසින් බිණු දෙයත් ඉවසමි. තව ද උයන් කෙළි ආදී කෙළි ලළු පවත්නා තැනට ත් ඇත් කෙනකුන් අස් කෙනකුන් ගෙන යෙත් නමුත් පූර්ණභද්‍ර නම් යක් සෙනෙවියන්ගේ හසු මෙන් හික්මුණු කෙනකුන් ම ගෙන යෙති.

‘රජ දරුවෝ ත් නැඟෙත් නම් එසේ වූ ඇත් වාහන – අස් වාහන වලට නැඟෙති. ඊට ත් වඩා යම් කෙනෙක් කවර තරම් ව පෝසත් ව සිටත් කවර තරම් කෙනකුනුත් දොඩා බැණ පී දෙය ඉවසත් නම් මිනිසුන්ගෙන් ඌ ම යහපත්හ. තව ද කොටළුවාට දා ව වෙළඹ කුසින් ආජානීය අශ්වයන් වුව ත් සින්ධු දේශයෙහි උපන් සෛන්ධව අශ්වයන් වුවත් කාලාවකාදි දශ කුලයෙහි ඇතුන් වුව ත් හික්මුණාහු වූ නම් ඌ ත් යහපත. ඒ හැමට ත් වඩා යම් කෙනෙක් උද්ධත ගුණ ය සියලු ලෙසින් රහත් මගින් නසා තුමූ හික්මුණාහු නම් ඒ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර අත්ලස් නිසා බිණූ පමණක් මුත් තමන් සිතා ගෙන බිණූ ගමනක් නො වන හෙයින් බැණ ඇවිද්දෝ බොහෝ සේම සෝවාන් වූහ. අනික් තුන් මඟ තුන් ඵල ය බිණූ වරදට තිබී ගියා සේ ඒ අවධියට පමා වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ශුචි අශුචි නිඃක්‍ෂෙපයට මැදහත් ව සිටිනා පොළොව මෙන් ප්‍රතිඝානුන ය දෙකට සමව සිට සෙසු ත් ගුණයෙහි පිහිටා ලොවී ලොවුතුරා ගුණ විශේෂ ය සිද්ධ කටයුතු.