තව ද නි වරද වරද ලෙස හා වරද නිවරද ලෙස සිතා විරුද්ධ ලෙස පිළිපැදීමෙහි නපුර හඟවන්ට නිවට සවුවන් ගේ වත දක්වමු.
කෙ සේද යත් -
එක් සමයෙක නිවටුන්ගේ නිවට ගුණ ඇති උපාසකවරු තමන්ගේ දරුවන් ශාසන භක්ති ඇති වීමෙන් සැදෑ උපාසක වරුන්ගේ දරුවන් හා එක්ව පියා කෙළනවුන් දැක කෙළ පියා
ගෙට ගියවුන් ලවා වහන්දෑ නොවඳින ලෙසට ත් විහාරවලට නොයන ලෙසට ත් දිවුරුවා පූ ය. ඌ හැම එක් දවසක් දෙව්රම් වෙහෙර දොරටුවට පිටත හැම එක් ව පියා කෙළනාහු පිපාසා ඇති ව ශාසන භක්තික උපාසක කෙනකුන්ගේ පුතණු කෙනකුන්ට ‘තොපි තෙල විහාර ය ඇතුළට ගොසින් පැන් බී පියා සපථයක් කළ හෙයින් අප ඇතුළු විහාරයට යන්ට බැරිය. අපට ත් පැන් ගෙනෙව’යි කියා ලා විහාරයට යවු ය.
උයි ත් විහාරයට ගොසින් පැන් බීලා බුදුන් වැඳලා එ පවත දැන්වූ ය. බුදුහු ‘තොප බොන පැන් බීලා සෙස්සන් පැන් බොන්ට මුඛ එවව’යි වදාළ සේක. උයිත් සපථයට වඩා බුද්ධානුභාව ය බලවත් හෙයින් ගොසින් පැන් පූහ. බුදුහු ත් උන් කැඳවා ලා පැන් පීමෙන් පිපාසා සන්හිඳෙත් මුත් කෙලෙස් ගිම් නිවෙන්ට නැති හෙයින් කෙලෙස් ගිම් නිවනු නිසා චරිතානුකූල කොට බණ වදාරා සෝවාන් කරවා වදාළ සේක.
කුමාරවරු තම තමන්ගේ ගෙවලට ගොසින් එ පවත් දෙමවුපියන්ට කිවුය. දෙමවුපියෝ ‘අපගේ දරුවෝ දෘෂ්ටි ගත්හ’ යි කියා මුසුප්පු ව ගෙන හැඬු ය. ඉක්බිති ගෙවල සැදෑ ඇති මිනිස්සු අවුත් මුසුප්පු හරවනු නිසා බණ කථා කීහ. උන්ගේ කථා අසා ‘මේ දරුවන් මහණ ගොයුම්හු හා එක් වූ බැවින් ඕ හට ම පාවා දෙම්හ’යි නෑ සියෝ හැම විහාරයට ගෙන ගියහ. බුදුහු ත් උන්ගේ අදහස් බලා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් සග මොක් දෙකට කාරණ වූ කුශල ය වරද ය’යි ගෙන අපා ය මාර්‍ග වූ අකුශල ය නි වරද ය’යි ගනිත් නම් ඒ විරුද්ධ ග්‍රාහ ය නිසා රත්රනැ’යි සිතා ගිනි හිණ ලන්නවුන් මෙන්, සඳුනැ’යි සිතා අමෙධ්‍ය ය ඇඟ ගාන්නවුන් මෙන් බොහෝ මුළාවට පැමිණෙති. එහෙයින් යම් කෙනෙක් කුසල් කුසල් සේ ගෙන අකුසල් අකුසල් සේ ගෙන අකුසලින් දුරු ව කුසල්හි නො වරදවත් නම් උන්ට සග මොක් දෙක ම නො වරද්දි’යි වදාළ සේක. දේශනා කෙළවර හැම දෙන ම සරණ ශීලයෙහි පිහිටා නිරන්තර ව බණ අසන්නාහු සෝවාන් වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සම්‍යක් දෘෂ්ටික වීම නම් නිවනට ඉඳුරා මඟක් හෙයින් ලබ්ධි ය යහපත් කොට ගෙන භවක්‍ෂයට ම උත්සාහ කටයුතු.