තව ද යම් කෙනෙක් ලජ්ජා නැති ව කළ මනා පිනට ලජ්ජා ඇත්තෝ වූ නම් ලජ්ජා කළ මනා පවට ලජ්ජා නැත්තෝ වූ නම් හය නො කළ මනා කුශලයට භය ඇත්තෝ වූ නම් භය කළ මනා පාපයට භය නැත්තෝ වූ නම් එහි නපුර දක්වන්ට නිවටුන් ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
එක් දවසක් වහන්දෑනිවටුන් දැක කථාවක් උපදවන සේක් ‘දිය ලණුවක් විචර ත් නැති ව ඇවිදිනා ගැවියන්ට[1] වඩා පෙකණියෙන් උඩ භාගය වුවත් වසා ගෙන ඇවිදිනා මේ නිවට සගයෝම යහපත්හ. මුන් යන් තම් ලජ්ජාවක් ඇතැයි සිතම්හ’යි වදාළ සේක. නිවටෝ ඒ අසා ‘අපි ලජ්ජා නිසා අර්ධච්ඡාදක ව ඇවිදිනමෝ නො වම්හ. වැලි පස් ධූලි ආදියෙහිත් ජීවිත ය ඇත. එ හෙයින් උයි ත් සත්‍වයෝ මය. එ හෙයින් ඌ තුමූ අපගේ භික්‍ෂා භාජනවල නුහුණු වූ නම් යහපතැ යි සිතා භික්‍ෂා භාජන රක්නා නිසා වසම්හ’යි කියා වහන්දෑලා හා වාද විවාද ලෙස බොහෝ කථා කළහ. වහන්දෑ ත් බුදුන් කරා ගොසින් එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ත් ඒ මුල්ව බණ වදාරණ සේක්- ‘මහණෙනි, භික්‍ෂා භාජන කෙතෙක් වේලා සඟවා තබාත් සිඟන විට, බත් කණ විට එළවුව මනා ම හෙයින් ලජ්ජා කළ මනා දෙයෙක් නොවෙයි. ඒ සඟවා ඇවිදීම් පමණෙකින් ලජ්ජා ඇත්තා නම් නොවෙති. උයි ත් අලජ්ජීහු ය. භික්‍ෂා භාජනයට ත් වඩා ලජ්ජා ස්ථාන ය නම් අවශ්‍යයෙන් වැසු ව මනා තැන ය. ඒ නො වසන්නාහු සෙසු කො තැනක් වැසුවත් වැසු ව මනා තැන නො වසන හෙයින් අලජ්ජීහු ම ය.
වැසු ව මනා ලජ්ජා ස්ථාන නො වසා නො වැසුව මනා භික්‍ෂා භාජන වැසීම නම් විරුද්ධග්‍රාහ හෙයින් මිථ්‍යා දෘෂ්ටියේ ඇතුළත. ඒ මිථ්‍යාදෘෂ්ටි ය නිසා සත්‍වයෝ නරකාදි වූ සතර අපායට පැමිණෙති. භික්‍ෂා භාජන ය නිසා තමා ලෝභනීය දොසක් නොවන හෙයින් කෙලෙස් භයක් නැති හෙයින් ඒ වැසු ව මැනවැ’යි නැත. විරුද්ධ ලෙස සිතා ගෙන යම් කෙනෙක් ඒ වසා ඇවිදි ත් නම් භය නො කළ මනා දෙයට භය කරන්නා නම් වෙති. ගුහ්‍ය ප්‍රදේශ ය නම් නො එක් භයට කාරණ හෙයින් භයට ම හැර ලා ඒ නො වසත් නම් භය කළ මනා දෙයට භය කරන්නා නම් වෙති. භික්‍ෂා භාජන ය නො වැසීමට භයත් ලජ්ජ ස්ථාන ය නො වැසීමට භය ත් කළ මනා භයක් නොවන බැවින් මිථ්‍යා දෘෂ්ටියෙහි ඇතුළත. ඒ නපුරුවූ ලබ්ධියක් නිසා සත්‍වයෝ අපායට පැමිණ දුක් විඳු ත් නමුත් සග මොක් සාධා ගත නො හෙති’යි වදාළ සේක. දේශනා කෙළවර ඌර්ධ ව කායම වසා ඇවිදිනා නිවටවරු ලජ්ජා ඇති ව අධඃකාය ත් එක් ව වසා මහණ වූහ. හේතු සම්පන්නව එ තැනට පැමිණි කෙනෙක් නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පාපයෙහි ලජ්ජා ඇති ව පාපයෙන් දුරුව සසර දුකෙහි භය ඇතිව නිදුක් ව තිබෙන නිවනට ම තැත් පිරි ය යුතු.
-
ගැවිඹියන්ට ↑