තව ද ජීවිත පෝෂණයට ත් වඩා කුශල පෝෂණ ය. අවශ්‍යයෙන් කටයුතු වූ නියාව දක්වන්ට ආගන්තුකවූ බොහෝ වහන්දෑ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
වහන්දෑ පසල් රටක වස් වැස ලා පළමු මස සුවයෙන් විසූ සේක. දෙ වන මස සොරු අවුත් ඒ වහන්දෑගේ ගොදුරු ගම් පැහැර පියා කොල්ල හැර ගෙන නැඟී ගියහ. එතැන් පටන් මිනිස්සු සොරුන් නවතන නිසා ඒ පසල් නුවර තරපාරු කොට කරන්නාහු ඒ වහන්දෑට උපස්ථානයක් කොට ගත නුහුණු වූ ය. වස් තුබූ අඩුවෙහි බොහෝ දුක් විඳ ත් වස් වැස නිමවා ලා බුදුන් දක්නා පිණිස සැවැත් නුවරට ගොසින් බුදුන් වැඳලා එකත් පස් ව හුන් සේක. බුදුහු ත් ඒ වහන්දෑ අතින් ‘මහණෙනි, වස් සුවසේ විසූ දැ’ යි වදාරා ‘ස්වාමීනි, අපි පළමු මස සුව සේ විසුම්හ. දෙ වන මස සොරු ගම් පැහැර පූ ය. එ වක් පටන් මිනිස්සු කර්‍මාන්තයෙහි හී ගෙන උපස්ථානයක් කොට ගත නුහුණු වු ය.
එ හෙයින් බොහෝ දුක් වුනුම්භ’යි කී කල්හි ‘මහණෙනි, ඒ නිසා මුසුප්පු නො වව’යි වදාරා බණ වදාරන බුදුහු ‘මහණෙනි, යම් සේ මිනිස්සු ඒ පසල් නුවර පිටත දිසාවෙන් අගල පවුරු වාසල් අට්ටාල ආදියෙන් තර කෙරෙත් ද, එ පරිද්දෙන් ‘මහණෙනි, තෙපි ද රූපා දී ෂඩාලම්බන නමැති වාසල්හි ඇලී වසන්නාවූ ලෝභ දෝෂාදී කෙලෙස් සොරුන් චක්ෂුරාදී ස දොරින් වැදලා ශීල සමෘද්ධ්‍යාදී ගුණ බඩු පැහැර නොගන්නා ලෙසට චක්ෂුරාදී වූ සදොර සිහි නමැති දොර පියා සිත් සතන් නමැති නුවර රැක ගනුව. එ සේ නො කළා නම් අෂ්ට දුෂ්ට ක්‍ෂණයෙන් විනිර්මුක්ත වූ නව වැනි බුද්ධෝත්පාද කාලයක් තොප හැමට වැරැද්දී. එසේ වැරද ගිය නම් සසර නමැති මුහුද හී පියා නිවන් පරතෙර කවර කලෙක දැක්ක හෙවු දැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ වහන්දෑ ද නිවනෙහි ඇල්ම නිසා සසර ඇල්ම හැර රහත් ව වදාළ සේක.
එහෙයින් නුවණැත්තවුන් විසින් මෙලොව විඳිනා දුකට වඩා පරලොව විඳිනා දුක් ම දුක් කොට සිතා ගෙන ඒ දුකින් මිඳෙන්ට උත්සාහ කටයුතු.