239. එක්තරා ස්ත්‍රියකගේ වස්තුව

star_outline

තව ද ඊර්ෂ්‍යාවෙහි නපුර දක්වන්ට එක්තරා ස්ත්‍රියකගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

ඒ ස්ත්‍රියගේ සමණෝ තමන්ගේ ගෙයි ම කෙල්ලක හා බැඳී ගෙන වෙසෙති. ඕ තොමෝ ඒ කෙල්ල කෙරෙහි ඊර්ෂ්‍යා ඇති ව ඈ බැඳ සිටුවා ලා කන් නාසා කපා පියා එක් මුලු ව තිබෙන ගබඩාවෙක ලා දොර පියා ලා තමන් කළ කටයුත්ත සඟවනු නිසා විහාරයට ගොසින් බණ අසම්හ යි සමණන් කැඳවා ගෙන විහාරයට ගොසින් බණ අස අසා හුන්හ. ඉක් බිත්තෙන් ඒ උපාසිකාවන්ගේ නෑ කෙනෙක් ගෙට අවුත් දොර හැර පියා කෙල්ලට කළ මුළා දැක කෙල්ල උනා හළවු ය. ඔයි ත් විහාරයට ගොසින් සිවුවනක් පිරිස් මැද සිට තමාට කළ ගහට ය බුදුන්ට දැන්වූහ. බුදුහු ද ඒ අසා බණ වදාරන සේක් ‘පාපය නම් අනුන්ට නොහඟවා කිරීමට ත් වඩා බොහෝ දෙනාට හඟවා කිරීම යහපත. කුමක් නිසා ද යත හොත් අනුන් නොදත් වුව පසු තැවිලි වන්ට බාධා නැත. එ හෙයින් යමක් කළ කල සත්‍වයන්ට පසු තැවිලි නැත්නම් එසේ වූ කුශලය අනුන්ට හඟවා වුව ත් නො හඟවා වුවත් කිරීම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර කෙල්ල හා බැඳී විසූ උපාසකයෝ සෝවාන් වූහ. කෙල්ලට ගහට කළ ගෑනි ද පුරා කෘත කුශල කර්‍ම ය බළී හෙයින් සෝවාන් වුව. ඒ කෙල්ල ද එතැන දී ම නිදහස් කළහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් ඊර්ෂ්‍යාව නම් විෂ ඝොර සර්‍පයන් කොට සිතා එයින් දුරු වන්ට උත්සාහ කටයුතු.